ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස්
ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් වෙනුවට සංකෝචනයක් සිදුවෙමින් තිබෙනවා. 2025 දෙවැනි කාර්තුවේ පැවැති 5.8%ක සංවර්ධනය 2026 දෙවන කාර්තුව වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා පමණක් නොව, 2008 වසරේ පැවැති ආර්ථික ප්‍රමාණයට වඩා 2%ක අඩුවීමක් අද වන විට පෙන්නුම් කරනවා.
ඊට අමතරව මාසයෙන් මාසය ඉහළ යන උද්ධමනය හමුවේ ජනතාවගේ ඉතිරි කිරීමේ හැකියාව මෙන්ම මුදල්වල වටිනාකමද ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතිනවා. ජූනි මාසයේ 6.3%ක් ලෙස පැවැති උද්ධමනය අගෝස්තු වන විට 8% දක්වාත්, ආහාර උද්ධමනය 8.5% දක්වාත් ඉහළ ගොස් තිබේ. උද්ධමනයේ දරුණු බව නිසා අවුරුදු 9ක් ගතවන විට ජනතාවගේ වත්කම්වලින් 50%ක් (අඩක්ම) අඩුවී යාමට නිමයිතයි.
වත්මන් රජය බලයට පත්වන විට 2024 ඔක්තෝබර් මාසයේදී රුපියල් 293ක් ලෙස පැවැති ඩොලරයක වටිනාකම අද වන විට රුපියල් 337 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් 45ක පමණ පහත වැටීමකි. මේ හේතුවෙන් ඉන්ධන, පරිප්පු, ලූණු, සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෑම ඩොලරයකටම අමතරව රුපියල් 45ක් වැය කිරීමට සිදුව තිබේ. එමෙන්ම, මෙරට විදේශ ණය ගණනය කිරීමේදී ද මේ වැඩිවීම දැඩි ලෙස බලපායි.
ආර්ථිකය කුඩා වීම, උද්ධමනය සහ විදේශ විනිමය අර්බුදය හමුවේ නව රැකියා උත්පාදනය අහිරී ඇති අතර පවතින රැකියා රැකගැනීමද දුෂ්කර වී තිබෙනවා. අධ්‍යාපනය ලැබූ උගත් තරුණ පිරිස අතර විරැකියාව 43%ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය ආසියාවේ ඉහළම තරුණ විරැකියා අනුපාතය ලෙස සටහන් වෙනවා. මෙරට වයස අවුරුදු 10-24 අතර පිරිස ලක්ෂ 50ක් වන අතර, රැකියා නොමැති උපාධිධාරීන්ගෙන් 50%ක් පමණ රට අත්හැර යාමට අපේක්ෂා කළද බටහිර රටවල සංක්‍රමණික සීමා නිසා එයද අද අඩපණ වී තිබේ.
පසුගිය වසර දෙක තුළ මෙරටට කිසිදු මහා පරිමාණ විදේශ ආයෝජනයක් පැමිණ නැත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව, ආයතන අතර සම්බන්ධීකරණය දුර්වල වීම, නිතර වෙනස් වන අපැහැදිලි ප්‍රතිපත්ති සහ අශුභවාදී බදු ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාව ආයෝජන සඳහා අහිතකර පරිසරයක් ලෙස හඳුන්වා දී තිබේ.
ගිය වසරෙ ඉදිරිපත් කළ අයවැයෙන් වෙන් කළ මුදල්වලින් මේ වසරේ මැද වන විට වියදම් කර ඇත්තේ 16.7%ක් පමණක් වන අතර සැප්තැම්බර් වන විට වියදම් කර ඇත්තේ 28%ක් එනම් හතරෙන් පංගුවක් පමණි.
එසේම, ‘දිට්වා’ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වෙන් කළ රුපියල් බිලියන 500ක මුදලින් මෙතෙක් වියදම් කර ඇත්තේ 8%ක් වැනි කුඩා ප්රතිශතයකි. මෙයයට බලපාන ප්‍රධානම සාධකය වී ඇත්තේ මුදල් හිඟයකට වඩා අදාළ ආයතනවල පවතින අකාර්යක්ෂමතාව සහ දුර්වලතාවයයි.
ගම් මට්ටමේ කුඩා ව්‍යාපෘති 100ක් පමණ හඳුනාගෙන ජන ජීවිතයට සෘජුව බලපාන ක්ෂේත්‍ර සඳහා මුදල් වෙන් කරනවා වෙනුවට, රජය මහාමාර්ග සංවර්ධනය සඳහා වසර 3කට රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කර තිබෙනවා. ටයිල්, වාහන, සිමෙන්ති වැනි දේ සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් වැය කර ඇති අතර, ඉන් පොදු ජනතාවට කිසිඳු සහනයක් ලැබෙන්නේ නැත. මෙයින් ප්රතිලාභ හිමිවන්නේ මහා පරිමාණ සමාගම් කිහිපයකට පමණයි.
ඉදිකිරීම් ක්ෂේත්රය 14%කින් සහ පතල් ක්ෂේත්රය 17%කින් වර්ධනය වී තිබුණද, සාමාන්‍ය ජනතාවට බලපාන ක්ෂේත්‍ර ගණනාවක් පහත වැටී ඇත. වී ගොවිතැන 15%ක අඩුවීමක් දක්නට ඇත. ඇඟලුම් කර්මාන්තය: 1.4% කින් අඩුවී ඇත. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය 61%කින් අඩුවී ඇත. සමුද්‍ර ධීවර කර්මාන්තය 10%ක අඩුවීමක් ඇත. තේ කර්මාන්තය 2%කින් අඩුවී තිබෙනවා. මෙය රටේ ආර්ථිකයට පෙන්නුම් කරන දැඩි අවධානම් තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය.
ලෝක බැංකු වාර්තාවලට අනුව ලංකාවේ දැඩි දරිද්‍රතාවය 30% දක්වා ඉහළ ගොස් ඇති අතර, ලෝක ආහාර වැඩසටහනට අනුව මෙරට මිලියන 6ක ජනගහනයකට දවසට එක් පෝෂණදායී ආහාර වේලක් පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් වර්තමානයේ උද්ගතව තිබේ. 18%ක වැට් (VAT) බද්ද වැනි වක්‍ර බදු නිසා දුප්පත් පොහොසත් සියලුදෙනා එක ලෙස පීඩාවට පත්ව සිටිනවා.
2020 වසරේ සිට 2025 ජනවාරි මාසය දක්වා වාහන ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරලා තිබුණා. නමුත් 2025 වසරේදී කිසිඳු සැලැස්මක් නොමැතිව සුනාමියක් වගේ නැවත එය විවෘත කළා. ලෝකයේ අති සුඛෝපභෝගී වාහන, එනම් බ්‍රිතාන්‍ය මහ රැජිණ භාවිතා කරන රෝල්ස් රොයිස් වර්ගයේ වාහන පවා කිසිදු තහනමකින් තොරව මෙරටට ගෙන ඒමට අවස්ථාව ලබාදුන්නා. රජය මින් විශාල බදු ප්‍රමාණයක් අපේක්ෂා කළත් අපෙක්ෂිත වාහන ලියාපදිංචියක් සිදුනොවුණු නිසා රජයට මින් දැඩි පාඩුවක් සිදුවුණා. එපමණක් නොව අපේ රට සතුව තිබු විශාල විදේශ සංචිත ප්‍රමාණයක් විදෙස් රටවලට ඇදී ගියා. මින් රට සතුව තිබු විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අපට අහිමි වුණා.
මොනවද මේ විදේශ විනිමය? අපේ රටේ විදේශ සංචිත ගොඩනැගීමට තිබිච්ච මුදල්, මේ මුදල් වලින් තමයි අපේ සංචිත වැඩි කරගන්නේ. අවුරුද්දේ අවසානය වනවිට අපට විදේශ ණය ගෙවීම සඳහා මේ විදේශ සංචිත අවශ්‍ය වෙනවා. ඩොලර් ඉතිරි කර ගැනීමට තිබුණු ප්‍රධාන ක්‍රමය තමයි මේක. ඒ සියල්ල නැති වුණා.
දැන් ඒ ආදායම අඩු වෙනවා, ඒ කියන්නේ සදාකල් යැපෙන්න බැහැ. එය නිශ්චිත ස්ථිර ආදායම් මාර්ගයක් නෙමෙයි. 2025 මේ වාහන ආනයනෙන් රේගුවට ලැබුණු ආදායම තමයි රුපියල් බිලියන 2551ක්. නමුත් 2026 සැප්තැම්බර් වනවිට එය 2000 දක්වා අඩු වෙනවා. එන අවුරුද්දේ ඊටත් වඩා අඩු වෙනවා. ඇයි? ඒ අලුත් වාහන ලියාපදිංචි කිරීම 15කින් අඩුවෙලා නිසා.
කොහොම නමුත් මෙවැනි තත්ත්වය උඩ රට දැවැන් ආර්ථික අර්බුධයක් කරා ගමන් කරන වාතාවරණයක් තුළ නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනය තුළින් මේ දැවෙන ප්‍රායෝගික ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා.






















