ආන්දෝලනයක් වූ යාපනය මහනගර සභාවේ සේවකයින් 5දෙනා
එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය සඳහා අනුබල දුන් බවට චෝදනාකර යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අද (09) පොලීසිය විසින් අත්අඩංගුවට ගැණිනි.
යාපනය මහනගර සභාවේ පරිසර ආරක්ෂණ රාජකාරී සඳහා බඳවාගත් බව පැවසෙන සේවකයන්ට ලබාදී තිබූ නිල ඇඳුමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ බවට නගරාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
යාපනය මහනගර සභාව මීට දින කිහිපයකට පෙර පුද්ගලයන් පස් දෙනෙකු තාවකාලික පදනම මත සේවයට බඳවාගෙන තිබුණි.
ඔවුන්ට විශේෂ නිල ඇඳුමක් ද ලබාදී තිබුණි.
නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණේ යාපනය නගරය අලංකාරව හා පිරිසිදුව තබාගැනීම හා ඒ පිළිබඳ රජකාරී සඳහා මොවුන් බඳවා ගත් බවය.
එහිද ඔහු පැවසුවේ වැඩිදුරටත් පැවසුවේ, “යාපනය නගරය අලංකාරව හා පිරිසිඳුව රැකගන්න අපේ නගර සභාවේ සේවකයන් යොදාගන්නවා. මහ නගර සභාවේ වැඩකරන සේවකයන් පස් දෙනෙකු මේ සඳහා යොදාගත්තා. එයාලාව අඳුනගන්න විශේෂ ඇඳුමක් යොදාගන්නවා.”
ඒ අනුව දෙදිනකට පමණ පෙර මොවුන් රාජකාරී සඳහා අනුයුක්ත කෙරිණි.
පරිසර රාජකාරී සඳහා මොවුන් සේවයට බඳවාගත් බව නගරාධිපතිවරයා පැවසුව ද එම පිරිස නගරයේ රථ වාහන හසුරුවන ආකාරය ද දැක ගැනීමට හැකිවිය.
මේ පිළිබඳ අප කළ විමසීමකදී පොලීසිය පැවසුවේ පොලිස් නිලධාරීන්ට හැර වෙනත් කිසිවෙකුටත් රථ වාහන හැසිරවීමට බලයක් නොමැති බවය.
එල්ල වූ තවත් චෝදනාවක් වන්නේ මෙම නව සේවකයන්ගේ නිල ඇඳුම එවක එල්.ටී.ටී.ඊ. පොලීසිය භාවිත කළ නිල ඇඳුමට සමාන බවය.
නමුත් මෙම නිල ඇඳුම සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නගරාධිපතිවරයා පවසුවේ,
“මේක කොළඹ මහනගර සභාවේ තියෙන ඇඳුම වගේ තමයි හදාගත්තේ. මේක කිසිම යටි අරමුණක් නෑ. සමහරු කියනවා එල්.ටී.ටී.ඊ. පොලිස් ඇඳුමට සමානයි කියලා. මගේ මතය එහෙම එකක් නෑ. සමහර තැන්වල ඒවගේ තියෙන්න පුළුවන්. හැබැයි කොළඹ මහනගර සභාවේ ඇඳුමට සමාන ඇඳුමක් අපි හදලා තියෙන්නේ,” යනුවෙනි.
කෙසේ වෙතත් මෙම නිල ඇඳුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යාපනය පොලීසිය යාපනය නාගරික කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ ද සටහන්කර ගත්තේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපනය නගරාධිපතිවරයා අද අලුයම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.
ඒ, එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් හා ලාංඡන ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මතය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සේවකයන් පස්දෙනාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය පැවසුවේය.






















