ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන විපක්ෂය වශයෙන් සමගි ජන බලවේගය ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන වර්ධනයන් දෙස දැඩි කනස්සල්ලෙන් යුතුව අවධානය යොමුකර සිටී.
ඇෆ්ගනිස්ථානය තුළ ශ්‍රී ලංකාවේ ජාතික අභිලාශයන් සුරක්‍ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග වහාම ගන්නා ලෙස සමගි ජන බලවේගය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ඇෆ්ගනිස්ථානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීම සහ අපේ තානාපති කාර්යාලයේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සහතික කිරීම එවැනි ක්‍රියාමාර්ගයනට ඇතුළත් ය.
ඇෆ්ගනිස්ථානය දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) හවුල්කාර සාමාජිකයෙකු බැවින්, මෙම කාලය තුළ සාර්ක් ජාතිකයින්ගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම සඳහා ඔහුගේ නිල බලතල භාවිතා කරන ලෙසද අතිරේක වශයෙන් සමගි ජන බලවේගය සාර්ක් සංවිධානයේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටී.
සමගි ජන බලවේගය විසින් මෙබඳු අර්බුදයකදී ශ්‍රී ලංකා රජයට සිය ජාත්‍යන්තර බැඳීම් පිළිබඳවද සිහිපත් කර සිටියි. සරණාගතයින්ට හිංසා කිරීමේ තර්ජනයක් ඇති විය හැකි රටකට නැවත පැමිණීම තහනම් කරන්නාවූ, නැවත එම රට වෙත හරවා නොයැවීමේ වගකීමට ගරු කරන ලෙස සමගි ජන බලවේගය විශේෂයෙන් රජයෙන් ඉල්ලා සිටී. මෙම සන්දර්භය තුළ, දැනට ලංකාවේ පදිංචි වී සිටින හෝ අනාගතයේ දී ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි ඇෆ්ගන් රැකවරණ පතන්නන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට රජයට නිශ්චිත වගකීමක් ඇත. මෙවන් දේශපාලන අර්බුදවලදී විශේෂයෙන් අවදානමට ලක්වීමේ හැකියාවක් සහිත කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අයිතිවාසිකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙත සමගි ජන බලවේගය සිය සහයෝගය ප්‍රකාශ කරයි. මානව හිමිකම්වලට ගරු කරන ලෙසත් ජනතාවගේ කැමැත්ත මත ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කඩිනමින් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසත් එය තලේබාන් පාලනාධිකාරයෙන් ඉල්ලා සිටී.
සජිත්ප්‍රේමදාස
විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක






















