ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත් කළ මිලින්ද මොරගොඩ මහතා අද (22) නවදිල්ලි නුවරදී ඉන්දියානු ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා වෙත ස්වකීය අක්තපත්‍ර පිරිනැමීය.
කෝවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම අක්ත්‍රපත්‍ර පිරිනැමීමේ උත්සවය ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පැවැත්විණි.
ඉන්දියාවේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී තනතුරට පත්කෙරුණු 26වැන්නා මිලින්ද මොරගොඩ මහතා වේ.
අක්තපත්‍ර පිරිනැමීමෙන් අනතුරුව, මහකොමසාරිස් මොරගොඩ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උණුසුම් සුභාශිංසන ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා වෙත පළකළේය.
තවද මහකොමසාරිස් මොරගොඩ මහතා පැවසුවේ ඉන්දියාවේ ස්වකීය දූත මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර දැනට පවතින සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කොට, ඒ් සම්බන්ධතාව විශේෂ මට්ටමකට ඉහළනැංවීම බවය.
සිය දූත මෙහෙවරෙහි මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කර ගැනීමටත්, දෙරට අතර ඇති ඉපැරණි, බහු මානීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් ඉන්දියානු ජනාධිපතිවරයාගේ හා රජයේ සහයෝගය මහකොමසාරිස් මොරගොඩ මහතා ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු වශයෙන් අදහස් දැක්වූ ජනාධිපති කෝවින්ද් මහතා පැවසුවේ ඉන්දියාවේ ‘අසල්වැසි රාජ්‍ය පළමුවෙන්’ හා ‘සාගර්’ යන ප්‍රතිපත්ති තුළ ශ්‍රී ලංකාවට ඉතා විශේෂ ස්ථානයක් හිමිවන බවය.
දෙරට අතර පවතින අතිශය මිත්‍රශීලී, ඓතිහාසික, සහ බහුමානීය සබඳතා මෙන්ම ඉතා සවිමත් ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතාව ගැනද ඉන්දියානු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
දෙරට අතර පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇති බවට බලාපොරොත්තු පළ කළ ඉන්දියානු ජනාධිපතිවරයා සිය උණුසුම් සුභාශිංසන ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලෙසද මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.






















