හිඟුරක්ගොඩ පුලතිසි තාරුකා මණ්ඩප ශ්‍රවණාගාරය ඉදිරිපිට අද (29) පැවැති එන්නත්කරණ වැඩසටහනට විශාල පිරිසක් පැමිණ තිබුණි.
රාජ්‍ය නිලධාරීන් සඳහා පමණක් අද දිනයේ සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදීමට මෙහිදී සෞඛ්‍ය අංශ සැලසුම් කර තිබුණද සාමාන්‍ය ජනතාවද එන්නත් ලබාගැනීමට පැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇත.
පැමිණ සිටි පිරිස් ප්‍රධාන දොරටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ ගැනීමත් සමග සෞඛ්‍ය අංශවලටද පාලනය කරගත නොහැකි ආකාරයේ තදබදයක් ඇති වුණි.
මේ අතර අනුරාධපුර යුද හමුදා රෝහලේ පැවැති එන්නත්කරණ වැඩසටහනට ද එන්නත ලබාගැනීමට අද දිනයේ විශාල පිරිසක් පැමිණ තිබේ.
මේ අතර මේ දක්වා මෙරටින් වාර්තා වු සමස්ත කොවිඩ් මරණ අතරින් සියයට 93 ක්ම අයත් වන්නේ පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා වර්ධනය වූ කොවිඩ් තුන්වන රැල්ලටය.
මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව අඛණ්ඩව 3 වන දිනටත් 200 සීමාව ඉක්මවා යමින් අගෝස්තු 27 වනදා සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 212 ක් රජය ඊයේ නිවේදනය කළේය.
මෙම මරණ 212ත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,583ක් දක්වා ඉහළ ගියේය.
පළමු කොවිඩ් රැල්ලේ වාර්තා වුයේ මරණ 13 ක් පමණි.
එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 0.15කි.
දෙවන කොවිඩ් රැල්ලෙන් මරණ 591 ක් වාර්තා වූ අතර එහි ප්‍රතිශතය සියයට 6.89කි.
නමුත් අප්‍රේල් මාසයේ ආරම්භ වූ තුන්වන කොවිඩ් රැල්ලෙන් මේ දක්වා මරණ 7,979 ක් වාර්තා වී තිබේ.
එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 92.96ක් වැනි ඉතා විශාල අගයකි.
මේ අනුව අප්‍රේල් හා මැයි මාසවල ඇල්ෆා හෙවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයත් ජූනි, ජූලි හා අගෝස්තු මාසවල ඩෙල්ටා හෙවත් ඉන්දියානු කොවිඩ් ප්‍රභේදයත් මෙරට මනුෂ්‍ය ජීවිතවලට සිදුකළ හානිය අතිමහත්ය.
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 4,596 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙන අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 4,000 ඉක්මවා ඇත්තේ අඛණ්ඩව 9 වන දිනටය.






















