කටාර්රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුල්තාන් සාද් අල් මොරෙයිකි මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමු වී විශේෂ සාකච්ඡාවක අද (21) නිරත වූවේ ය. දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය සහයෝගීතාව වැඩිකරගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණි.නව රජය අත්කරගනිමින් සිටින සාර්ථකත්වය කටාර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුල්තාන් සාද් අල් මොරෙයිකි මහතාගේ පැසසුමට ලක් විය. නව රජය පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් ඇතැයි ද සිය විශ්වාසය පළ කළේ ය. ශ්‍රී ලංකාවේ වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍ර තවදුරටත් පුළුල් කළ හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සුල්තාන් සාද් අල් මොරෙයිකි මහතා එරට ආර්ථිකයට දායක වන 135000කට අධික ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තුතිය පළ කළේ ය.පසුගිය කාලයේ සිදු වූ ආර්ථික කඩාවැටීමෙන් අනතුරුව පත් වූ නව රජය යටතේ රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ ය. රජය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන කිලිනොච්චි, පරන්තන් ප්‍රදේශවල BOI නව ආයෝජන කලාපවල සහ පෝට් සිටිහි ආයෝජන කිරීම සඳහා කටාර් රාජ්‍යයේ ආයෝජකයන්ට අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළේ ය. කටාර් සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ලෙසත් ආරාධනා කළ අමාත්‍යවරයා කටාර් රාජ්‍යයේ පුහුණු ශ්‍රමික රැකියා අවස්ථා තවදුරටත් විවෘත කිරීමට සලකා බලන ද ඉල්ලා සිටියේ ය.ශ්‍රී ලංකාව දියත් කර ඇති ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් වූ අතර දෙරට අතර පවත්නා සබඳතාව තවදුරටත් වර්ධනය කරගැනීමට දෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ අතර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටත් එකඟතාව පළ විය.මෙම සාකච්ඡාවට කටාර් රාජ්‍යයේ තානාපති ජාසිම් බින් ජාබිර් අල් සුරූර්, කටාර් විදේශ කටයුතු අමාත්‍යංශයේ අබ්දුල් අසීස් මොහොමද් අල් හමදි, දෙවන ලේකම් ෆාතිමා මොහ්ද් අල් බාකිර් සහ කාලිද් මොහමද් යන පිරිස සහභාගී වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශ ලේකම් අරුණි රණරාජා, අතිරේක ලේකම් යසෝජා ගුණසේකර, අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ යෝගනාදන්, සහාය අධ්‍යක්ෂ සංජු දසනායක සහභාගී වූවාය. කටාර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුල්තාන් සාද් අල් මොරෙයිකි ඇතුළු පිරිස අද කොළඹ වරාය නගරයේ සංචාරයක ද නිරත වූහ. සකීෆ් සාම්මාධ්‍ය ලේකම්.






















