Monday, November 9, 2026
HomeNEWSකොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා...

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා

මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය වැසි සමයත් සමඟ කොළඹ, මහනුවර හා අවිස්සාවේල්ල ආදී ස්ථානවල ඇති වුණු ජල ගැලීම් පිළිබඳවයි.

පළමුවම කියන්න ඕනේ මේ ඇතිවුණු වැසි නිසා, කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් හෝ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් හෝ නිසා කිසිදු ගං වතුර තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ මහවැලි අධිකාරියට චෝදනා කරන්න අවශ්‍ය නැහැ.

කොළඹ නගරය ගත්තම කොළඹ නගරයේ තිබෙන ප්‍රධාන ඇල මාර්ග වන ශාන්ත සෙබස්තියන් ඇල මාර්ගය, වැල්ලවත්ත ඇල මාර්ගය, කටු ඇල ආදී ඇල මාර්ග පාලනය කරන්නේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින්. මේ කිසිදු ඇල මාර්ගයක කිසිදු පිටාර යාමක් මේ පසුගිය දිනවල ඇතිවුණු වර්ෂාව හේතුවෙන් සිදුවෙලා නැහැ. ඒ කියන්නේ ඉඩම් සංවර්ධන සංස්ථාවට අදාළ ඇළ මාර්ග පිළිබඳව කිසිදු ගැටලුවක් සිදුව නැහැ.

එසේනම් මොකක්ද සිදුවෙලා තිබෙන්නේ? සිදුවෙලා තිබෙන්නේ කොළඹ මහනගර සභාව විසින් නඩත්තු කරන, කොළඹ මහනගර සභාව විසින් සංවර්ධනය කළ යුතු කාණු පද්ධති සම්පූර්ණයෙන්ම අවහිර වීම හා ඉතා අපහසුවෙන් ගොඩනගන ලද නව කාණු පද්ධති, පදික වේදිකා ආදී දේවල් ඉතාම බරපතල විදිහට පසුගිය වසර දෙකක කාලය තුළ අවහිර වීමයි.

මුලදී ආණ්ඩුවේ ප්‍රතිචාරය වුණේ මිලිමීටර් 129ක ඉතා අධික වර්ෂාවක් වැටුණා කියලායි. නමුත් අතීත දත්ත බැලූවම 1992 දී මිලිමීටර් 396ක් වැස්සා. මට මතකයි ඒ කාලේ මහා ඇමති සුසිල් මුණසිංහ මහත්තයාගේ ගෙදරත් යට වුණා. ඒ කාලේ නාගරික සංවර්ධනය සඳහා හිටපු සිරිසේන කුරේ මහත්තයාගේ ගෙදරත් යට වුණා. එහෙම මහා වර්ෂාවක් අතීතයේ වැස්සා.

2010 දීත් මිලිමීටර් 376ක වර්ෂාවක් ඇද වැටී පාර්ලිමේන්තුව පවා යට වුණා. ඒ අනුව ඉතිහාසයේ අවස්ථා ගණනාවකම මීට වඩා වැඩි වර්ෂාපතනයන් ඇද වැටී තිබෙනවා.

නගරාධිපතිතුමිය කිව්වා මිලිමීටර් 30කට වඩා වැස්ස වැටෙන එක ඔරොත්තු දෙන්නේ නැහැ කියලා කොළඹට. නමුත් කොළඹ සියලුම ඇල මාර්ග සංවර්ධනය කර තිබෙන්නේ පැයකට මිලිමීටර් 120 ක වර්ෂාපතනයකට මුහුණදීමටයි, එතුමිය කිව්වා වගේ හතර ගුණයකට ඔරොත්තු දෙන විදිහට. ඒ වගේම දිනකට මිලිමීටර් 476කට ඔරොත්තු දෙන විදිහට. එවැනි වැස්සක් මේ පසුගිය කාලවකවානුවේ ඇති වුණේ නැහැ. එහෙමනම් ඉතාම පැහැදිලියි නගර සභාවේ වගකීම සහ ජනාධිපතිවරයාගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘති වචනයට සහ සමාජ මාධ්‍යයට පමණක් සීමාවෙලා තිබෙන බව.

නගරාධිපතිතුමිය ඊයේ පෙරේදා කියනවා හැට පොළක් හොයාගත්තලු අවහිර වුණු ස්ථාන. කාගෙද වැරැද්ද? වැරැද්ද ඒ නගර සභාවේ. එක පැත්තකින් නාගරික කොමසාරිස් ඇතුළු අදාළ පිරිස, අනිත් පැත්තෙන් ආණ්ඩු පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ, මාලිමාවේ අය. ඒ අය පිළිගන්නවා නම් හැට තැනක් අවහිර වෙලා කියලා. ඒවා සුද්ද නොකරපුවගේ වගකීමත් එයාලම බාරගන්න ඕන.

මේකටත් 76 වසරක ඉතිහාසයට බැනලා වැඩක් නැහැ. දැන් මේ අය රට බාරගෙන අවුරුදු 2 කට ආසන්නයි. මේවාට සම්පූර්ණයෙන්ම වර්තමාන ආණ්ඩුව වගකිව යුතුව තිබෙනවා. ව්‍යාපාර අතිවිශාල ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවා. වාහන අතිවිශාල ප්‍රමාණයක් විනාශ වෙලා. පුද්ගලික දේපළ අතිවිශාල ප්‍රමාණයකට හානි වෙලා. එහි වගකීම මේ නගර සභාව භාර අරගෙන ඒ සියලු දෙනාටම වහාම වන්දි ලබා දිය යුතුයි. බොරුවට තමන්ගේ වැරදි වහගන්න අතීතයට බැනලා වැඩක් නැහැ.

2010 පාර්ලිමේන්තුව යට වුණා. අපි සියලු දෙනාටම මතකයි පාර්ලිමේන්තුව යට වෙලා විශාල විනාශයක් වුණා. ඊට පස්සේ ලෝක බැංකුව මැදිහත් වෙලා 2011 දී මේ ගංවතුර පාලනය පිළිබඳ සියලුම ආයතන එකතු කරගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් සභාව, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නගර සභා මේ සියල්ල ඒකට එකතු කරගෙන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘතියක් දියත් කළා.

මම මේ ටික කියන්නේ මොකද මේ අය අද කතා කරන්නේ කිසිම දෙයක් පෙර ආණ්ඩු යටතේ කරලා නැහැ වගෙයි. කොළඹ මහනගර සභා බලප්‍රදේශය සඳහා මෙට්‍රෝ කොළඹ අර්බන් ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් (Metro Colombo Urban Development Project) එක යටතේ විශේෂ ක්‍රියාවලියක් දියත් කළා. ඒ දියත් කල ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ යම් ප්‍රමාණයකට කළා, විශේෂයෙන්ම මේ ඩුප්ලිකේෂන් පාරේ.

නමුත් අමාරු ව්‍යාපෘති සියල්ලම සිදුවුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාලන කාලයේදීයි, ඒක අපේ අමාත්‍යාංශයෙන් තමයි කළේ.

මොනවද අපි කළේ? පළවෙනි දේ තමයි නාගලම් වීදියේ සහ ඒ අවට කලාපයේ ගංවතුර පාලනය සඳහා ඇළ මාර්ගය සම්පූර්ණයෙන් පිළිසකර කළා, ඇළ මාර්ගයේ දෙපස සිටි පැල්පත් වාසී සියලු දෙනාටම නිවාස ඉදි කළා, පොම්පාගාරයක් ඇති කළා.

පසුගිය දිට්වා සුළි කුණාටු වෙලාවේ මම එහෙ ගියා. පොම්පාගාරයේ කිසිම ඉංජිනේරුවෙක් හිටියේ නැහැ. බැලලියක් පැටව් දාලා හිටියා දහයක් පහළොවක් විර. එහි වැඩ කරන ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට කන්න දෙමින් හිටියා. කෙටි පණිවිඩ මගින් තමයි මෙච්චර බරපතල විදිහට කොළඹ නගරය ගලවාගන්න තියෙන නාගලම් වීදියේ පොම්පාගාරය ක්‍රියාත්මක කළේ ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා.

ඊළඟට මම ආවා අපි ඉදි කළ තවත් පොම්පාගාරයක් වුණු ශාන්ත සෙබස්තියන් ඇලේ පොම්පාගාරයට. එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියාට උපදෙස් දීලා තිබුණා මෙය ඔටෝ ඔපරේෂන් (Auto operation) එකට දාන්න කියලා. ඒ අනුව ඔහු ඔටෝ ඔපරේෂන් එකට දාලා එළියට වෙලා හිටියා. කිසිදු නිලධාරියෙක් එහි හිටියේ නැහැ. මම මේ කියන්නේ ගරු අනුර කුමාර දිසානායක මහත්මයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ අයගේ කතාවල තත්ත්වය. මේ දිට්වා සුළිකුනාටු අවස්ථාවේ තත්ත්වය.

ඒ වගේම අඹතලේ බලාගාරයට, අඹතලේ පොම්පාගාරයට ඩීසල් දීලා තිබුණේ නැහැ. ඒ නිසා ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා, මොකද විදුලි පද්ධති යට වෙලා තිබුණු නිසා. මෙන්න මේ වගේ නොසැලකිල්ල, මෙන්න මේ වගේ කාලකණ්ණි අතපසු වීම්, මෙන්න මේ වගේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ වගේ අපරාධ වැරදි රැසක් ඒ අවස්ථාවේ සිද්ධ වුණා.

ඒ වගේම තවත් විශාල පොම්පාගාරයක් ඉදිකර තියෙනවා ඔළුවුල්ලේ. කාටත් ගිහින් බලන්න පුළුවන් පෑලියගොඩ. එතැනට විශාල සංවර්ධනයක් කරලා ඔළුවුල්ලේ පොම්පාගාරය හදලා තියෙනවා. දැන් කිසිසේත්ම කිරිබත්ගොඩ නගරය, පෑලියගොඩ ගංවතුරට යටවන්නේ නැහැ. අද ආණ්ඩු කරන අය ඒ කාලේ ඕවට විරුද්ධව පෙළපාලි ගියා.

ඒ වගේම කොළොන්නාවේ තවත් පොම්පාගාරයක් හදලා තියෙනවා. මෙන්න මේ විදියට ඉතාම බරපතල වැඩ කොටසක් අපි කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි උමන් මාර්ග ගණනාවක් අපි හැදුවා.

විශේෂයෙන්ම නොරිස් කැනල් (Norris Canal) එක හරහා ගිහිල්ලා උතුරු කොළඹට වැටෙන ඉතාම අපහසු උමන් මාර්ගයක් හැදුවා ඕලන්ද යුගයෙන් පස්සේ. ඊළඟට විශේෂයෙන්ම නිදහස් චතුරශ්‍රයේ ඉඳන් බෞද්ධාලෝක මාවත දිගේ තවත් උමන් මාර්ගයක් හැදුවා බම්බලපිටියෙන් මුහුදට වැටෙන්න.

තව උමන් මාර්ගයක් අපේ හිටපු කථානායක එම්. එච්. මොහොමඩ් මහත්මයාගේ, නිවාස පද්ධතියේ ඉඳන් ගිහිල්ලා දේවි බාලිකා විද්‍යාලය හරහා කටුවැල්ලට දැම්මා. තවත් උමන් මාර්ගයක් කින්සි පාර ඔස්සේ අරන් ඇවිල්ලා ඩී. එස්. සේනානායක විද්‍යාලය හරහා එතැන ඇල මාර්ගයට එකතු කළා.

ඒ අවස්ථා හැම එකකදීම අපි කොළඹ නගර සභාවට කිව්වා මේ පොඩි පහේ උමන් නෙවෙයි මෝටර් රථයක් ඇතුලෙන් යන්න පුළුවන් ප්‍රමාණයේ ඒවා. ඒ නිසා මේවට එකතු වෙන කාණු පද්ධති නිසි ආකාරයෙන් නඩත්තු කළ යුතුයි කියලා.

නමුත් අද වනවිට ඒ කිසිවක් නඩත්තු නොවී ඇති බව කින්සි පාර ඇතුළු ඒ කලාපයේ සිදු වෙච්ච ජලගැලීම් වලින් අපිට මනාව පැහැදිලි වුණා. ඉතින් ඒ නිසා කිසිසේත්ම මේකට කිසිම ආකාරයකට ඉඩම් සංවර්ධන සංස්ථාව වග කිවයුතු නෑ. ව්‍යාපෘති 26ක් අනුමත ගත්තා, 11ක් ක්‍රියාත්මක කළා, අනෙක්වා කිසිවක් මේ අවුරුදු දෙකේ ක්‍රියාත්මක කරලා නැහැ.

ඒ වගේම මේ ගංවතුර තත්ත්වය නීරීක්ෂණය කරන්න අපි ඩේටා සෙන්ටර් (Data Center) එකක් දැම්මා. අලුත් පාරක් හැදුවා අපි. ඒ කියන්නේ පාර්ලිමේන්තු පාරයි කිරිමණ්ඩල පාරයි යා වෙන, කාටත් ඒක හරහා යන්න පුළුවන්, අද විශාල වශයෙන් ට්‍රැෆික් තියෙන පාරක්. එතැන හැදුවා ඩේටා සෙන්ටර් එකක්. අද ඒ ඩේටා සෙන්ටර් එක මැණික් හා ස්වර්ණාභරණ ආයතනයට කුලියට දීලා තියෙන්නේ කීයක් හරි හොයාගන්න.

මේ වගේ කොළඹ නගරයේ ගංවතුර හා ජලය පාලනය කිරීමට තට්ටු දොළහක් හදන්න සැලසුම් කරලා හතරක් හදලා තිබුණු මේ මධ්‍යස්ථානයට මොකද වුණේ කියලා අපි අනුර කුමාර දිසානායකගෙන් අහනවා.

ඒ වගේම මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය වටහා ගන්න ඔය අවුරුදු 40-50 අතීතයට යන්න ඕනේ නැහැ. ඔබතුමාලා සියලු දෙනාම බේස්ලයින් පාරේ උදේ හතට යන්න, දවල් එකට යන්න, හවස හතරට යන්න. මොකක්ද අනුර කුමාර දිසානායක කරලා තියෙන්නේ කියලා බලාගන්න පුලුවන්? මාස නමයක් වෙනවා පාර හාරලා. ඊළඟට අනිත් පැත්තෙන් නාවල විවෘත විශ්වවිද්‍යාලය පැත්තට යන්න බැහැ. රොබට් ගුණවර්ධන මාවතේ මේ ඔක්කොම හාරලා. හාරලා අත ඇරලා ගිහින් තියෙනවා.

හවසට වහිනවා, වලවල් පිරෙනවා, උදේට හැමදාම වතුර හින්දනවා. මේ තමයි අනුර කුමාරගේ සංවර්ධනය. මේ මලාපවහන පද්ධතියක් දාන්න ගිහින් වෙලා තියෙන්නේ.

මේ මලාපවහන පද්ධතිය දාන්න ඔයිට කලින් උත්සාහ කළා මයික්‍රෝ ටනලින් (Microtunnelling) කියල එකක් කරන්න ගියා. සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා බිඳ වැටුනා. දැන් මේ වලවල් හාරලා ටැංකි වලලන්න යනවා. අද මේ වෙනකන් කරගන්න බැරිවෙලා තියෙනවා, මාස නමයක් මිනිස්සු දහ දුක් විඳිනවා.

ඒ වගේම අර සොහොන පිටිපස්සේ අපි මාර්ගයක් හැදුවා බයිපාස් රෝඩ් (bypass road) එකක්, පාර්ලිමේන්තු පාරයි ඒ වගේම බේස්ලයින් එකයි යාකරන. දැන් එය වර්තමාන අගමැතිනියගේ සහ ජනාධිපතිතුමාගේ උපදෙස් මත පුද්ගලික පාසලක කාර් පාක් (car park) එකක් හැටියට ඒ මාර්ගය භාවිතා කරනවා. කිසිම මිනිහෙකුට වාහනයක් ඒ හරහා අරන් යන්න බැහැ. මේ කලාපයේ පුදුමාකාර වාහන තදබදයක් ඇති කර තියෙනවා.

ජනතාවට අපි කියනවා ගිහිල්ලා බලන්න. මම අනුර කුමාර දිසානායක මහත්තයාට කියනවා අනේ මහත්තයෝ, කිසිම ලොකු ව්‍යාපෘති නම් කරන්න එපා. කරන්න ගිහිල්ලා ඕගොල්ලෝ මේ රට තවත් නැති කරන්න එපා. අනේ ඔය කානු ටික සුද්ධ කරගන්න. ඔය කානුවල වැවිලා තියෙන ගස් ටික කපන්න.

මම දැක්කා සමහර නියෝජ්‍ය ඇමතිලා ගිහිල්ලා කෙරුවා වගේ පෙන්නනවා ඇතැම් ව්‍යාපෘති උදාහරණයකට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය. ඕක අපි හැදුවේ. ඒකේ වැඩකටයුතු ඉවර වෙන්න නියමිතයි ඉදිරි කාලේදී. අවුරුදු හතරක් ඒකේ වැඩ නැවතිලා තිබුණා ආර්ථික අර්බුදය නිසා. නැවත ඒක පටන් අරන් තියෙනවා.

දැන් එතන මොකද වෙලා තියෙන්නේ? දුනුමඩලාව අපි විශාල ජල යෝජනා ක්‍රමයක් ගෙනාවා. ඒ දුනුමඩලාවෙන් උමගක් ගෙනාවා බෝගම්බර ක්‍රීඩාංගනය හරහා, ඒක ගෙනියන්න ඕනේ මැද ඇලට. මෙතන තියෙනවා හරියටම මීටර් පන්සියයක්. මේ මීටර් පන්සියය මේ මුළු අවුරුදු දෙකටම හදාගන්න බැරුව දඟලනවා අනුර කුමාර දිසානායක.

මොකද්ද ප්‍රතිඵලය? දුම්රිය ස්ථානය යට වෙනවා, මේ මහ රෝහලත් යට වුණා. මොකද එතැනින් විශාල ජල කඳක් එළියට එනවා, එන්නේ නාගරික සංවර්ධන අධිකාරිය ඉස්සරහා තියෙන ඒ වටරවුමේ තියෙන ඒ හිඩැසින්. ඉතින් මෙන්න මේ වගේ ඉතාම පුංචි වැඩ. මේවා මහවැලිය වගේ මෙගා ව්‍යාපෘති නොවෙයි. මේවා පුංචි වැඩ. මේ පුංචි වැඩක්වත් මේ කට්ටියට කරගන්න බැහැ. හබැයි අනුන්ට බනින එක නම් අඛණ්ඩවම කරගෙන යනවා.

ඒ වගේම රටේ ආර්ථිකයට සිදුකරන ලද මහා පාඩුවේ වගකීම අර නගරාධිපති නෝනා මත පටවලා මේක හරහා එතුමිය අයින් කරන්න පුළුවන්ද කියලා බලනවා. පොඩි පොඩි දෝෂාරෝපණය කරලා, අපි දන්නෙ නැහැ ඒවා ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රශ්න.

නමුත් මෙහි ප්‍රධාන වගකීම ගත යුත්තේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ නමින් ව්‍යාපෘතියක් පත් වෙච්ච දවසෙන් දවස් තුනකට පස්සේ ආරම්භ කරපු ජනාධිපතිතුමායි. ඒ නිසා කතා කිරිල්ල නවත්තලා, කයිවාරු නවත්තලා මේ ප්‍රශ්නය විසඳන්න.

ප්‍රකෝටි ගාණක් වියදම් කරලා කෙරවලපිටිය හදපු කසළ ව්‍යාපෘතිය අද අතහැර දාලා. මහා දැවැන්ත කුණු කන්දක් එතන නිර්මාණය වෙනවා. යන්ත්‍ර දිරලා ගිහිල්ලා හොයන්න කෙනෙක් නැහැ. ඒක නිසා මතක තියාගන්න, මේ තමන්ගේ දුර්වලතා අනුන් මත පටවන්න එපා, මේවට මුහුණ දෙන්න.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා

පාර්ලිමේන්තුව ඇතුළ සහ පිටත ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සිදු කළ විරෝධතා හේතුවෙන්, ආණ්ඩුවට පනත් දෙකක් තාවකාලිකව නවතා දැමීමට සිදුවූණා. එය ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ.
නමුත් ආණ්ඩුව මේ පනත් තාවකාලිකව නැවැත්වූවාට එය ප්‍රමාණවත් වන්නේ නැහැ. නැවත ඒ පනත් ගෙන එනවා නම් මහජන මතය විමසා, බුද්ධිමතුන් සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කර සිවිල් ජනතාවගේ අදහස් මත පමණක් එය සිදු කළ යුතුව තිබෙනවා.
අනුරාධපුර ශුද්ධ නගරයේදී තරුණ භික්ෂූන් වහන්සේ නමකට පොලිස් නිලධාරියකු විසින් සිදු කළ අපහාසය දැඩි ලෙස අප හෙළා දකිනවා. ථෙරවාදී බෞද්ධ රටක මෙවැනි ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකියි.
අනුරාධපුරය, මහනුවර සහ ගාල්ල වැනි ඓතිහාසික නගර ලෝක සංචාරකයන් වෙනුවෙන් ‘රීබ්‍රෑන්ඩින්’ (Rebranding) කිරීමේ නමින් ඒවායේ ඇති පුරාණ ඉතිහාසය හා දේශීය සංස්කෘතික අනන්‍යතාව විනාශ කිරීමට ආණුඩව දැන් උත්සාහ කරමින් සිටිනවා. මෙය ඉතා බරපතල තත්ත්වයක් බව කිව යුතුයි.
ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6%ක් අධ්‍යාපනයට ඉල්ලූවත්, පසුගිය වසරේ 2.1%ක් සහ මෙම වසරේ 1.97%ක් වැනි අවම ප්‍රතිශතයක් පමණක් වෙන් කර තිබීමෙන් ආණ්ඩුව අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බව පෙන්වා දෙයි.
දුෂ්කර ප්‍රදේශ ලෙස දිස්ත්‍රික්ක 25න් 16ක්ම පත්වී ඇති වත්මන් තත්ත්වය තුළ, දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි නම් තවදුරටත් රට විනාශ නොකර බලයෙන් ඉවත් වන ලෙස අපි රජයට මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.

මේ මාධ්‍ය හමුව සඳහා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශිරාස් යූනුස් මහතාද සහභාගි විය.

2026 නොවැම්බර් 09

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...

ගිං ගඟේ ජල මට්ටම ඉහළට..තවලම, හිනිදුම, බද්දේගම, නාගොඩ, දිවිතුර යන ප්‍රදේශවල පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක්

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් තවලම, හිනිදුම, බද්දේගම, නාගොඩ, දිවිතුර යන ප්‍රදේශවල පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක්; අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img