Thursday, April 16, 2026
HomeNEWSLatest Newsගිනිගත් තෙල් නැවේ කපිතාන්ට නොතීසි

ගිනිගත් තෙල් නැවේ කපිතාන්ට නොතීසි

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ ඒම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් නමැත්තාට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද (17) නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

මෝසමක් මාර්ගයෙන් මෙම  පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාවෙන් කාන්දු වු ඛනිජ තෙල් මීටර් දෙකක ඝනකමකින් සහ මීටර් 400 ක පළලකින් යුත් තට්ටුවක් අදාළ ප්‍රදේශයේ දක්නට තිබෙන බව සඳහන් කළේය.

මෙම තෙල් කාන්දුව හේතුවෙන්ව නැව ගිනි ගැනීමට ලක් වූ ප්‍රදේශයේ සිට මුහුදු සැතපුම් දෙකක් ( 6.5 km)  දක්වා ප්‍රදේශයක සාගර ජලය දූෂණයට ලක්වී ඇති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

මෙම කපිතාන්වරයා 1984 වසරේ නාවික ක්ෂේත්‍රයට එක්ව ඇති අතර කපිතාන්වරයෙකු වශයෙන් වසර 10 ක අත්දැකීම් තිබෙන බව ප්‍රකාශකර ඇති අතර 2020 වසරේ මෙම ගිනි ගැනීමට ලක් වූ නෞකාව හිමි සමාගමේ කපිතාන්වරයෙකු ලෙස බැඳී සේවය කර ඇති බව ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව කුවේට් සිට ඉන්දියාව දක්වා තෙල් තොග ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේ මෙම ගිනි ගැනීම සිදුවී ඇති බවත් තමා මෙම සමාගමට එක් වීමෙන් පසුව යෙදුණු මංගල ගමන මෙය බවත් අදාළ කපිතාන්වරයා විසින් සිය ප්‍රකාශය තුළින් සඳහන් කර ඇතැයි ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

මෙම නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා දැරූ ප්‍රයත්නය වෙනුවෙන් රුපියල් මිලියන 340 ක මුදලක් අයකර ගැනීම සඳහා අදාළ නැව් සමාගම වෙත ශ්‍රී ලංකා රජය විසින් දැනුම් දීම සිදුකර ඇති බවත් මෙම නෞකාව දැනට පවතින ස්ථානයෙන් ඉවත් කරගන්නේ නම් ඇමරිකානු ඩොලර් මිලියන170 ක බැඳුම්කරයක් තැන්පත් කර එම නෞකාව ඉවත්කර ගන්නා ලෙසත් අදාළ සමාගමට දන්වා ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා කීය.

දැනට සිදුකර ඇති පරීක්ෂණ වලට අනුව මෙම ගිනි ගැනීම සිදු වූ අවස්ථාවේදී එය මැඩ පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට කපිතාන්වරයා පැහැරහැර ඇති බවත් මෙම ගින්න පිළිබඳව වගකිවයුතු ආයතනවලට දැනුවත් කිරීමට ද ඔහු කටයුතු කර නොමැති බව පෙනී යන්නේ යැයි සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඔහුගේ මෙම ක්‍රියා කලාපය තුළින් බැලූ බැල්මට අපරාධමය වරදක් උද්ගත වන බවද සඳහන් කර සිටී.

ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින මෙම කපිතාන්වරයාගේ නිරෝධායන කාලසීමාව ලබන 24 වනදා අවසන් වන බවත් ඉන් පසු දිනයක ඔහු අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසියක් නිකුත් කර ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අදාළ නෞකාවේ කපිතාන්වරයාට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img