ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා
– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා කියයි
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීම, ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ ගොවි හමුව ඊයේ (28) අනුරාධපුර පළාත් කළමනාකරණ සංවර්ධන ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහන ඉදිරියේදීද දිවයින පුරා පවත්වාගෙන යාමට නියමිතය.
මෙම හමුව අමතමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමා සඳහන් කළේ, අමාත්‍යාංශයේ මූලික වගකීම වන්නේ ගොවි ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සහ මුළු රටේම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම බවයි.
සභාවේ නිශ්ශබ්දතාව බිඳිමින් ගොවීන් සමඟ සමීප සංවාදයක නිරත වූ අමාත්‍යතුමා, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කරයකට බුසල් 200කට වඩා අස්වැන්නක් ලබන ගොවි මහතෙකු උදාහරණයට ගනිමින් ගොවීන්ගේ දක්ෂතාව අගය කළේය.
අක්කරයක් වගා කිරීමට යන පිරිවැය සම්බන්ධයෙන් ගොවීන් දැක්වූ අදහස්වලට පිළිතුරු දෙමින් අමාත්‍යතුමා පෙන්වා දුන්නේ, කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව යල් කන්නයේ නවතම පිරිවැය වාර්තාව සකස් කර ඇති බවයි.
එම වාර්තාවන්ට අනුව:
රතු නාඩු: අක්කරයක පිරිවැය රු. 175,943කි. (වී කිලෝවක පිරිවැය රු. 76කි)
සුදු නාඩු: අක්කරයක පිරිවැය රු. 175,406කි. (වී කිලෝවක පිරිවැය රු. 87කි)
සම්බා: අක්කරයක පිරිවැය රු. 172,658කි. (වී කිලෝවක පිරිවැය රු. 97කි)
කීරි සම්බා: වී කිලෝවක පිරිවැය රු. 119කි.
අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේ, ගොවි සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීමකට අනුව, වී කිලෝවක පිරිවැයට සීයට තිහක ලාභයක් එකතු කර අස්වැන්න සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි. රජය විසින් හෙට්ටයාරයකට රුපියල් 30000 ක පොහොර සහනාධාරයක්ද ලබා දී ඇති අතර, එයද ඇතුළත් කරමින් මෙම පිරිවැය ගණනය කිරීම් සිදු කර ඇත.
තවමත් අර්තාපල්, ලොකු ලූණු, පාන් පිටි, හාල් සහ බාස්මතී වැනි විශාල ආහාර ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුව ඇති බව පෙන්වා දුන් අමාත්‍යතුමා, රට තුළ ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීමට නම් ජාතික සැලැස්මකට අනුව වගා කළ යුතු බව අවධාරණය කළේය.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් පද්ධතිය මූලික කරගත් “වාරි සංචාරක කර්මාන්තය” දියුණු කිරීම හරහා ප්‍රදේශයේ ගොවි ජනතාවට අමතර ආදායම් මාර්ග උත්පාදනය කිරීමට පියවර ගන්නා බවද එතුමා පැවසීය.
අප දැනට පසුවන්නේ පරිවර්තනීය යුගයක බවත්, එවැනි යුගයක වැඩ කිරීමේදී නොයෙකුත් අභියෝග සහ විවේචනවලට මුහුණ දීමට සිදුවන බවත් පැවසූ අමාත්‍යතුමා, මාධ්‍ය හෝ දේශපාලන බලපෑම්වලට බිය වී පසුබට නොවන බව ප්‍රකාශ කළේය.
වත්මන් රජය බලයට පත්වූ තැන් පටන් දේශපාලනඥයන්ට හෝ මැතිඇමතිවරුන්ට රථවාහන පර්මිට් ඇතුළු කිසිදු වරප්‍රසාදයක් ලබාදී නොමැති බවත්, රාජ්‍ය සම්පත් සියල්ල ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් යොදවා ඇති බවත් එතුමා පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම, ගොවි පොහොර සහනාධාරය ඉහළ නැංවීම, පාසල් දරුවන්ට රුපියල් 6,000ක උපකරණ සහනාධාර ලබාදීම සහ වී අලෙවි මණ්ඩලය හරහා සහතික මිලට වී මිලදී ගැනීම වැනි ජනතා හිතවාදී පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති බව අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය






















