Tuesday, August 11, 2026
HomeNEWSLatest Newsජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය මැදින් මහ පාරක්- විපක්ෂ නායක සජිත්ගෙන් හෙලිදරව්වක්

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය මැදින් මහ පාරක්- විපක්ෂ නායක සජිත්ගෙන් හෙලිදරව්වක්

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය මැදින් මහ පාරක්- විපක්ෂ නායක සජිත්ගෙන් හෙලිදරව්වක්

1984 වර්ෂයේ දී ජාතික උද්‍යානයක් වශයෙන් ගැසට් කරන ලද “ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය” මැදින්, මාර්ගයක් ඉදිකිරීමට අවසර දෙන ලෙස දේශපාලන බලපෑම් ඇති බව වාර්තා වී ඇත.

කඩිනම් මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අහිතකර පාරිසරික බලපෑම් අවම කරගැනීම සඳහා මෙන්ම, වාසස්ථාන අහිමිවන වන සතුන්ගේ පැවැත්ම සඳහා සහ පරිසර සමතුලිතතාවය ආරක්ෂා කරගැනීමට මෙම ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය ප්‍රකාශයට පත්කර තිබේ. “TAMS REPORT” වශයෙන් හඳුන්වනු ලබන කඩිනම් මහවැලි ව්‍යාපාරයට අදාළ “ප්‍රධාන පාරිසරික ඇගයීම් වාර්තාවේ” ද සඳහන් පරිදි, මහවැලි කලාප තුළ ඉතා සුවිශේෂී සහ උසස් ප්‍රමිතියේ වනජීවී කලාපයක් වශයෙන්, සෝමාවතිය ජාතික උද්‍යානය සහ වස්ගමුව ජාතික උද්‍යානයත්, එම උද්‍යානයන් අතර පිහිටි ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයත් සලකනු ලබන බැවින්, මෙම වනජීවී කලාප ඉතාමත් වටිනා ජාතික සම්පත් ලෙස සළකනු ලැබේ.

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය පිහිටුවීමට පෙර, උද්‍යානයේ දැනට භාවිතා වන ස්වාභාවික මායිම වන ගෝමති ඇළ (කාලිංග ඇළ), දකුණු ඉවුරට යාබදව පුරාණ ගම්මානයක් වූ “යක්පුරය” ගම්මානය සහ පාසැල පිහිටා තිබුණි.

1984 වසරේ උද්‍යානය ගැසට් කිරීමට පෙර උද්‍යානයේ ආරක්ෂාව මෙන්ම එම ගම්මානයේ ජීවත්වූ ගම්වාසීන්ගේ ආරක්ෂාව ද තහවුරුවන පරිදි, ගම්වාසීන් සියලුදෙනාම ගෝමති ඇළ වම් ඉවුරේ, උද්‍යානයෙන් පිටත භුමියක පදිංචි කර, එම අලුතින් ඉදිකරන ලද ගම්මානය “යක්පුරය” නමින්ම හැඳින්වීමටත්, ගම්මානයේ පිවිසුම් මාර්ගය වඩාත් හොඳ තත්ත්වයේ මාර්ගයක් බවට සංවර්ධනය කර, සිරිපුර ප්‍රදේශයට සම්බන්ධ කිරීමටත් කටයුතු කර ඇත.

මෙම ගම්මානය උද්‍යානයෙන් පිටත භුමියකට ගෙන යාමේ, ප්‍රධාන අවශ්‍යතාවයන් තුනක් විය. එනම්, උද්‍යානයේ ස්වාභාවික මායිම ලෙස ගෝමති ඇළ යොදාගැනීමත්, යක්පුරය සහ පොළොන්නරුව-මනම්පිටිය ප්‍රධාන මාර්ගය සම්බන්ධකරන පැරණි මාර්ගය අලි ඇතුන්ගේ වාසස්ථාන හරහා පිහිටා තිබීම නිසා ඇතිවන අලිමිනිස් ගැටුම නතර කිරීමත්, “හඳපාන් විල්ලුව”, “බැන්ඩිය විල්ලුව” ප්‍රදේශය සහ මහවැලි ගඟ අතර පරිසර පද්ධතියේ සම්බන්ධතාවයට මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන බලපෑම අවම කරගැනීමටත්, හැකිවන ලෙස පැරණි මාර්ගය භාවිතය නවතා දැමීමට කටයුතු කිරීම වේ.

උද්‍යානය ඇතුළත ගෝමති ඇළ දකුණු ඉවුරේ පිහිටා තිබුණු පුරාණ “යක්පුරය” ගම්මානයේ පාසැල් ගොඩනැගිල්ල, වනජීවී බීට්ටු කාර්යාලයක් වශයෙන් කාලයක් භාවිතයට යොදාගෙන තිබුණත් පසුකාලීනව ගොඩනැගිල්ල ගරාවැටීමට භාජනය වී තිබේ.

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇති විල්ලු 38 ක් පමණ හඳුනාගෙන ඇති අතර, විශාලතම විල්ලු වශයෙන් “හඳපාන් විල්ලුව” සහ “බැන්ඩිය විල්ලුව” හඳුනාගෙන තිබේ. මෙවැනි විශේෂිත ජලගැලුම් නිම්නයන් ආසියාතික අලියාගේ පරිණාමයට ද හේතු සාධක වූ හැටියට විශ්වාස කරන ඇලුවීයල් ගංවතුර වාසස්ථාන ලෙස හැඳින්වේ.

වගකිවයුතු විපක්ෂයක් ලෙස අප මෙම සභාවට අවධාරණය කරනු ලබන්නේ, මෙවැනි ඉතා වැදගත් වටිනා පරිසර පද්ධතියකට හිමිකම් කියන, ජාතික වටිනාකමකින් යුතු, “ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය” තව තවත් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත්, ජාතික උද්‍යානය විනාශයට දමමින් කිසියම් අයුරකින්වත් මාර්ගයක් ඉදිකිරීමට හෝ පැරණි මාර්ගය යළි භාවිතා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිසේත්ම අවසර ලබා නොදිය යුතු බවය.

එසේම, ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් හෙබි “ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය” රම්සා තෙත්බිම් පද්ධතියක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව මම ගරු සභාවට යෝජනා කිරීමට කැමැත්තෙමි.

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ අදාළ කොටසේ පිහිටා ඇති හඳපාන් සහ බැන්ඩිය විල්ලු පිහිටා ඇත්තේ ගම්මාන රාශියක් සහ කුඩා නගරයකට (මනම්පිටිය) යාබදව හෙයින්, ප්‍රදේශයේ දිළිඳු ජනතාවගේ ආදායම් මාර්ග සහ රැකියාවන් බොහෝවිට ස්වාභාවික සම්පත්වල නිෂ්පාදන මත රඳා පැවතීම නිසා මෙම උද්‍යානයට ජනගහන පීඩනය ඉතා වැඩිවේ.

මෙම තත්ත්වය අවම කර ගැනීමට උපාය මාර්ගයක් වශයෙන් අධ්‍යාපන කටයුතු සහ පාසල්වල පහසුකම් වැඩි කිරීමත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉහළ නැංවීම සේම සමස්තයක් ලෙස මහවැලි බී කලාපයේ ජනතාවගේ වෘත්තීය දක්ෂතා වැඩි දියුණු කිරීම යනාදී, ඒකාබද්ධ මානව සම්පත් සංවර්ධන වැඩසටහනකට රජයේ අවධානය යොමු කළ යුතු බව අපගේ විශ්වාසයයි..

එවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින්, ජලගැලුම් නිම්නය වැනි වටිනා පරිසර පද්ධති වලට ජනගහන පීඩනය නිසා ඇති වන විවිධාකාර බලපෑම් අවම කරගැනීමටත්, වඩාත් ඵලදායී සමාජ, ආර්ථික සංවර්ධනයක් ප්‍රදේශයේ ජනතාවට ලබාදීමටත් හැකි වනු ඇත.

මෙය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් වන බැවින් පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. පුවත්පත්වල වාර්තා වන ආකාරයට එවැනි මාර්ගයක් නව “යක්පුරය” ගම්මානයේ සිට “ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය” හරහා (ඇතුළතින්) මනංපිටිය පාලම අවට ප්‍රදේශයෙන්, පොළොන්නරුව නගරයේ සිට මනංපිටිය නගරය දක්වා යන ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන පරිදි ඉදි කිරීමට හෝ තිබූ පැරණි මාර්ගය නැවත භාවිතා කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දීමට තීරණය කර තිබේද?
  2. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එසේ අවසර ලබා දීමට තීරණය කර තිබේනම්, එම තීරණය ගැනීමට පෙර, ජාතික උද්‍යානයක මෙවැනි කටයුත්තකට අවසර දීමේ දී වැදගත් වන “පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක්” (Environmental Impact Assessment Report) ලබාගෙන තිබේද? එසේ ලබාගෙන තිබේනම්, මෙම ගරු සභාවට එම වාර්තාව ඉදිරිපත් කරන්නේද? නොඑසේ නම් ඒ මන්ද?
  3. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙවැනි කටයුත්තකට අවසර ලබා දීමට තීරණය කර තිබේනම්, එමඟින් ඇති විය හැකි මිනිස් ජීවිත හානි සහ වන සතුන්ගේ ජීවිත හානිවලට වගකීම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බාරගන්නේද?
  4. ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් හෙබි “ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය” ආරක්ෂා කර ගැනීම ඉදිරියේදී තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා “ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය” රම්සා තෙත්බිම් පද්ධතියක් ලෙස නම් කරවා ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් අවශ්‍ය කටයුතු යොදන්නේද? නොඑසේ නම් ඒ මන්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොලොම්බියාවේ භූමිකම්පාවක්.. 77 දෙනකු මරුට

කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපක 7.4 ක භූකම්පනයකින් 77 දෙනෙකු, දැනට අවම වශයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාගරට ඇප… විදෙස් ගමන් තහනම්

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග...

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img