ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතාගේ නිවස අයත් ඉඩමේ බලහත්කාර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව ඔහුගේ පවුලේ ඥාතීන් පැවසීය.
බන්දුල වර්ණපුර මහතාගේ දියණිය සඳහන් කළේ සිය පියා මියගොස් මාස 3ක් ගතවී ඇති පසුබිමක ඔහුගේ දේපළ නාගරික සංවර්ධන අධිකාරිය පවසා ගැනීමේ උත්සාහයක නිරත බව බවය.
පිටකෝට්ටේ, අලකේෂ්වර පාරේ මෙම ඉඩම පිහිටා තිබෙන අතර අද දහවල් එහි පැමිණි නාගරික සංවර්ධන අධිකාරියට අයත් කණ්ඩායමක් ඇළ මාර්ගයක් සකස් කිරීම ආරම්භ කර තිබුණි.
පසුව බන්දුල වර්ණපුර මහතාගේ පවුලේ පිරිසගෙන් එල්ලවූ දැඩි විරෝධය මැද එම කටයුතු තාවකාලිකව අත්හැර දැමීමට සිදුවිය.
මතුව ඇති තත්ත්වය පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වූ බන්දුල වර්ණපුර මහතාගේ ඥාතියෙක් සඳහන් කළේ,
“බන්දුල වර්ණපුර මහතා මගේ මාමණ්ඩි. මේ එයාට අයිති දේපළ. සීයගේ (H.D.S. අරඹේවෙල) ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියෙන් පවර ගත්තා කියලා සෑහෙන්න කාලයක ඉඳන් ඔවුන් අපිට බලපෑම් කළා. අපිට කිසිදෙයක් මේ ඉඩම්වල කරන්න දුන්නේ නෑ.”
“බන්දුල වර්ණපුර මහතා ජීවතුන් අතර සිටියදීත් මේ ගැටලුව විසඳා ගන්න සෑහෙන්න උත්සාහ කළා. ඒකට නාගරික සංවර්ධන අධිකාරියෙන් අවස්ථාව දුන්නේ නෑ.”
“මේ නිසා වර්ණපුර පවුලම අද ඉතාම අසරණ තැනක ඉන්නේ. මං ක්‍රීඩා ලෝලීන්ගෙන් සහ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ අපිට උදව් කරන්න කියලා.”
“මේ සංවර්ධන කටයුත්ත සිදු කළොත් බන්දුල වර්ණපුර මහතාගේ නිවසේ බිත්ති කඩා වැටෙන්න පුලුවන්. දැනටත් ඒ ලක්ණෂ තිබෙනවා.”
“මේ ඉදිකිරීම කරන්නේ ඇළ මාර්ග, පොකුණු සහ ඇවිදීමේ මංතීරු හදන්න. ඒක ඇතුළේ තවත් විශාල දේවල් තියෙයි.”
“මේකට ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ වෙලා ඉන්නවා.”
“බන්දුල වර්ණපුර මහතා මියගිහින් තුන්මාසේ දානේ දීලා ඉවර වෙනකොට ඔහු ජීවත් වූ භූමිය අහිමි වෙන්න යනවා.”
“මේ හාරන්නේ අපේ ඉඩම. අනික ඒක වගුරු බිමක්. මේක අඩි 20ක් ගැඹුරට කපනවා. එතකොට අපේ ගෙවල් යටින් දියසීරාව යනවා.”
“බන්දුල වර්ණපුර මහතා කිසිදෙයක් ආණ්ඩුවෙන් ඉල්ල ගත්තේ නෑ. අක්කර දෙකහාමාරක විතර භූමියක් අපිට අයිතියි. දැන් මේ සංවර්ධන කටයුත්ත නිසා අපිට ඉතුරු වෙන්නේ පර්චස් 20ක වගේ කුඩා ප්‍රමාණයක්.”
“මේ කියන විදිහට මේ ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියේ නම් හැත්තෑ ගණන්වල ගෙවල් හදන්න ප්ලෑන් පාස් වෙන්නේ කොහොමද?. අපේ ඔප්පු තියෙනවා. පත්තිරු තියෙනවා. මේ රටේ නීතිය ගැන හරිම පුදුමයි.”
“මම වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා මෙම ගැටලුව විසඳා දෙන්න. අපේ පරම්පරාවේ අයිති ඉඩම අපිට නිදහස් කරලා දෙන්න.”
මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රසාද් රණවීර මහතාගෙන් විමසීමක් සිදු කළේය.
එහිදී ඔහු සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියේ පමණක් බවය.
1982 වසරේදී එම භූමිය නාගරික සංවර්ධන අධිකාරියට අයිති වූ බවත් එහි ව්‍යාපෘතියක් ක්‍රියාත්ම වන්නේ අනවසර පදිංචිකරුවන් නිවාස ඉදිකිරීම වැළැක්වීමට බවත් සඳහන් කළේය.






















