Sunday, November 8, 2026
HomeNEWSතැන තැන වැසුණු මාර්ග

තැන තැන වැසුණු මාර්ග

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියට හා ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ සිට ප්‍රදේශ ගණනාවක ජනතාව ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත විය.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සිදු කළ මහජන විරෝධතා හේතුවෙන් ගාලු පාර කොළඹ සිට මාතර දක්වා ස්ථාන කිහිපයකින්ම අවහිර වී තිබුණි.

අද දිනයේද උදෑසන සිට විරෝධතාකරුවන් ගාලු පාර සහ පානදුර හොරණ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුවද පස්වරුවේ එම ස්ථානයට පැමිණි පිරිසක් මාර්ගය වසා තැබීමට විරෝධය පල කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.

අනතුරුව අවහිර කර තිබූ මාර්ග රථවාහන ධාවනය සඳහා විවෘත කෙරුණි.

ඉන්ධන මිල ඉහළයාමට එරෙහිව අද පෙරවරුවේ බලපිටිය නගරයෙන් ගාලුපාර අවහිර කරමින් ජනතාව විරෝධතාවයක නිරත වුණි.

ඊයේ රඹුක්කන ඇතිවූ නොසන්සුන්තාවයේදි පොලිස් වෙඩි පහරින් මියගිය තැනැත්තා සිහිකර එහිදී ආගමික වතාවත් සිදු කරනු ලැබීය.

ගාල්ලේ ධීවරයින්ද ඉන්ධන ගැටලුවට වහා විසඳුම් ඉල්ලා අද පෙරවරුවේ විරෝධතාවයේ නිරත වු අතර පසුව දකුණු පළාත් ආණ්ඩුකාර විලියම් ගමගේ මහතාගේ නිවස වැටලීමට කටයුතු කළේය.

එහිදී ඉන්ධන සහානාධාරයක් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට විරෝධතාකරුවන්ට හෙට දිනයේ ධීවර අමාත්‍යාංශයේ සාකච්ඡාවක් ලබාදීමට ආණ්ඩුකාරවරයා පොරොන්දුවීමෙන් පසු විරෝධතාකරුවන් විසිර ගියේය.

වත්මන් ආණ්ඩුවේ තීන්දු තීරණවලට එරෙහිව මාතර ප්‍රදේශයේ පෞද්ගලික බස්රථ හිමියන් සහ රියදුරන් ඊයේ උදෑසන කලයේ ආරම්භ කළ විරෝධතාව මධ්‍යම රාත්‍රීය වන තුරු මාතර මහානාම පාලම අවහිර කරමින් ක්‍රියාත්මක වුණි.

මධ්‍යම රාත්‍රීය වන තුරුත් විරෝධතාකරුවන් විසිර නොයාම හේතුවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට පමණ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය.

ත්‍රිරෝද රථ රියදුරන් සහ පෞද්ගලික බස්රථ රියදුරන් බණ්ඩාරගම නගර මධ්‍යයේ ඇරඹි විරෝධතාවය ඊයේ රාත්‍රී කාලයේද පැවති අතර අද උදෑසන බණ්ඩාරගම නගරයට පිවිසෙන මාර්ග අවහිර කර තිබුණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේද ඊයේ රාත්‍රී කාලයේ සහ අද දිනයේ විරෝධතා කිහිපයක් පැවැත්වූ අතර කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවරයින් ඊයේ පස්වරුවේ කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය කුඩාවැල්ල හංදියෙන් ඔරු යොදා අවහිර කළේය.

එසේම වීරකැටිය නගරයේ පස්මං හන්දිය ඊයේ පස්වරුවේ අවහිර කළ ප්‍රදේශවාසින් ටයර් පුළුස්සමින් සිය විරෝධය පළකරනු ලැබීය.

තංගල්ල ප්‍රදේශයේ ධීවරයින් අද උදෑසන විරෝධතාවයකින් තංගල්ල කාල්ටන් නිවසට යාමට උත්සහා කිරීමත් සමඟ පොලීසිය මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කළේය.

අනතුරුව යළි තංගල්ල නගර මධ්‍යයට පැමිණි විරෝධතාකරුවන් ටයර් පුළුස්සමින් සිය විරෝධය පල කළේය.

රඹුක්කන ඊයේ පැවති සාමකාමී විරෝධතාවය මර්ධනයට පොලිසිය ගත් ක්‍රියාමාර්ගවලට විරෝධය පල කරමින් අද කොටියාකුඹුර නගරයේදි විරෝධතාවයක් පැවැත්වුණි.

මෙහිදී විරෝධතාකරුවන් කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගය කොටියාකුඹුර නගරයෙන් සම්පුර්ණයෙන්ම අවහිර කළ අතර ඔවුන් මාර්ගය මැද මිනී පෙට්ටියක් තබා සිය විරෝධය පලකළේය.

එමෙන්ම රඹුක්කන සිදුවීමට විරෝධය පල කරමින් පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශවාසීන්ද අද විරෝධතාවයක නිරත වුණි. 

විරෝධතාකරුවන් පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගය ජයන්තිපුර ප්‍රදේශයෙන් අවහිර කිරීමත් සමඟ එම මාර්ගයේ ගමනාගමනයට එල්ල වූයේ දැඩි බලපෑමකි.

ගිරිතලේ විස්සේ කණුව ප්‍රදේශයේ පිහිටි මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ නිවස අසලට රැස් වූ විරෝධතාකරුවන් පිරිසක් අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යවරයාට එම අමාත්‍ය ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් විරෝධතාවයක නිරත වුණි.

විරෝධතාවය හේතුවෙන් හබරණ පොළොන්නරුව මාර්ගය 20 කණුව ප්‍රදේශයෙන් අවහිර වූ අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා ඇතිවුණි.

මේ අතර තවත් විරෝධතාකරුවන් පිරිසක් අද දහවල් කාලයේ මින්නේරිය නගරයේ සිට හබරණ – පොළොන්නරුව මාර්ගය ඔස්සේ නිපුන සහල් නිෂ්පාදනාගාරය වෙත පැමිණියේය.

අනතුරුව එම ස්ථානයේද රාජ්‍ය අමාත්‍යවරයාට වහාම එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතාවයක් පැවැත්වුණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ දෙනියායේ පිහිටි නිවස ඉදිරිපිටද අද විරෝධතාවයක් පැවැත්වුණි.

රට තුළ පවතින අර්බුද සඳහා වහා විසඳුම් දෙන ලෙස ඉල්ලා ඊයේ රාත්‍රියේ මෙන්ම අද දිනයේද දිගන නගරයේ විරෝධතා පැවැත්වුණි.

විරෝධතාවයේ නිරත පිරිස් අද ප්‍රදේශයේ මාර්ග කිහිපයක් වසා දැමූ අතර අවස්ථා දෙකකදී ප්‍රදේශවාසින් සහ භික්ෂූන් වහන්සේගේ මැදිහත්වීමෙන් එම මාර්ග යළි විවෘත කෙරුණි.

එහෙත් එම ප්‍රදේශය හරහා බස්රථ ධාවනය කිරීමට විරෝධතාකරුවන් සිය විරෝධය පල කළද, පොලිස් නිලධාරින්ගේ සහ ප්‍රදේශවාසින්ගේ මැදිහත්වීමෙන් යළි බස්රථ ධාවනයට අවස්ථාව හිමි වුණි.

මේ අතර ඊයේ පස්වරුවේ මාදම්පේ නගරයේ විරෝධතාවයේ යෙදී සිටි පිරිසකට එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් බාධා කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.

මේ අතර රඹුක්කන විරෝධතාව අතරතුරු පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාමට සහ ඉන්ධන මිල ගණන් වැඩවීමට එරෙහිව දිවයිනේ තවත් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img