සීනි සහ සහල්වලට හෙට (02) සිට පාලන මිලක් ප්‍රකාශයට පත්කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ඒ අතර ආනයනකරුවන් සඟවා තබා තිබියදී හදිසි නීති රෙගුලාසි යටතේ රජයට පවරාගත් සීනි තොග සතොස අලෙවිසැල් වෙත බෙදාහැරීම අද ආරම්භ කෙරුණි.
මෙලෙස සීනි තොග රජයේ භාරයට ගැනුණේ අද දෙරණ උකුස්සා එවන් සඟවා ඇති තොග ගැන කළ හෙළිදරව්වෙන් පසුවය.
මෙරට සීනි මිල සීඝ්රයෙන් ඉහළයමින් තිබූ පසුබිමක වත්තල මාබෝල ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ ගබඩාවක සඟවා තිබූ සීනි මෙට්‍රික්ටොන් 4,800ක තොගයක් පිළිබඳව “අද දෙරණ” උකුස්සා පසුගිය සෙනසුරාදා පළමුවරට රටට අනාවරණය කළේය.
ඉන් පසුව ලද තොරතුරු මත සීදූව හා කිරිබත්ගොඩ ඇතුළු ස්ථාන කිහිපයකම සඟවා තැබූ සීනි තොග පිළිබඳව උකුස්සා විසින් හෙළිදරව් කරනු ලැබීය.
මෙලෙස අද දෙරණ උකුස්සාගේ හෙළිදරව් මත සිදුකළ වැටලීම්වලින් නීතියේ රැහැනට හසුකරගැනුණු සීනි මෙට්‍රික් ටොන් ගණන 21,295කි.
මෙම වාතාවරණය හමුවේ කූඨ ව්‍යාපාරිකයන්ගේ අක්‍රමිකතා වැළැක්වීම සඳහා සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය.
ඒ අනුව රජයේ සහතික මිල හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් මත පදනම්ව රජය භාරයට ගැනුණු අදාළ සීනි තොග සාධාරණ මිල ගණන්වලට ජනතාවට අලෙවිකිරීම සඳහා සතොස වෙත ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කළේය.
ඒ උකුස්සා පළමුව අනාවරණය කළ වත්තල, මාබෝල සීනි ගබඩා පරිශ්‍රයේදී ය.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කෙරුණේ මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතා ඇතුළු නිලධාරීන් රැසක් පැමිණ මෙම කටයුතු නිරීක්ෂණය කළේය.
අද (01) දහවල් එම සීනි තොග ස.තො.ස වෙළෙඳසැල් වෙත රැගෙනයාමට කටයුතු කෙරිණි.
මේ අතර වත්තල කෙරවළපිටිය, මුතුරාජවෙල කර්මාන්ත පුරයේ පිහිටි ගබඩා සංකීර්ණයක තිබී සීනී මෙට්ට්‍රික් ටොන් 5,622ක් අද දින සොයාගනු ලැබීය.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් මෙම වැටලීම සිදුකළේය.
ව්‍යාජ ලෙස සතොස ලංඡනය යොදාතිබූ ලොරි රථ කිහිපයක් ද මෙම ස්ථානයෙන් සේවයට යොදවා තිබුණි.
ඒ අනුව සිදුකළ සොයා බැලීමේදී හෙළිවූයේ කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ පිහිටි සීනි ගබඩාවකින් එම ලොරි රථවලින් මෙම ස්ථානයට සීනි ප්‍රවාහනය කර ඇති බවය.
එම ගබඩාවේ ආරක්ෂාව සඳහා මේ වන විට පොලිසිය යොදවා ඇති බව වාර්තා වේ.
මේ අතර සීනි තොග වැටලූ පරිද්දෙන්ම සඟවා ඇති වී තොගද හෙට සිට රජය භාරයට ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්මා අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේය.
අද දෙරණ උකුස්සාගේ හෙළිදරව්වෙන් පසුව වෙළෙඳුන්ගේ මාෆියාවන් බිඳදමා පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට මෙලෙස රජය පියවර ගැනීම සැබැවින්ම පැසසිය යුත්තකි.
දැන් වගකිව යුතු නිලධාරීන්ගේ කාර්යභාරය විය යුත්තේ සැඟවූ තොග කඩිනමින් රජයේ භාරයට ගෙන කූඨ වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය.
එම කටයුතු නිසියාකාරව සිදුවන ආකාරය පිළිබඳ අද දෙරණ උකුස්සා අවධානයෙනි.






















