ඊයේ දිනයේ පැවති විරෝධතාවලින් තුවාල ලැබූ 84 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එහිදී පුද්ගලයින් 42ක් පොල්දූව මංසන්ධිය ආසන්නයේ ඇතිවූ විරෝධතා හේතුවෙන් තුවාල ලබා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකුද සිටින බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.
රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ තුවාල ලැබූ පිරිස අතර එක් යුද හමුදා සෙබළෙක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවය.
අද උදෑසන අපකළ විමසීමකදී එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ තුවාලකරුවන් අතර මාධ්‍යවේදීන් දෙදෙනෙකුද සිටින බවය.
මේ අතර මහජන ආරක්ෂක ආඥා පනතට අනුව දිවයින පුරා ක්‍රියාත්මක කර තිබූ ඇඳිරිනීතිය අද අලුයම 5.00ට ඉවත් කර තිබේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තියට අනුව වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි දිවයින පුරා ඇඳිරිනීතිය පනවනු ලැබීය.
ඒ අනුව ඇඳිරිනීතිය අද අලුයම 5.00 සිට ඉවත් කර තිබේ.
ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග තාවකාලිකව නතරකර තිබූ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවර ගත් බවය.
දහවල් කාලය වන විට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට නියමිතය.






















