Thursday, September 3, 2026
HomeNEWSදිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි.

හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සහ එම මැතිනියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් (02) පෙරවරුවේ සිදුකෙරිණි.

වසරක් ඇතුළත ඉදිකිරීම් අවසන් කර රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමට නියමිත මෙම සිව්මහල් ගොඩනැගිල්ලේ පළමු මහල පිළිකා රෝගී සායන සඳහාත්, දෙවන මහල කීමෝතෙරපි ප්‍රතිකාර ඒකකයක් සඳහාත් වෙන් කෙරෙන අතර, තෙවන සහ සිව්වන මහල් ඇඳන් 24 බැගින් සහිත නේවාසික ප්‍රතිකාර වාට්ටු දෙකකින් සමන්විත වේ.

මෙතෙක් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ස්ථාන තුනක පවත්වාගෙන ගිය පිළිකා ප්‍රතිකාර සේවාවන් නව ඒකකය ස්ථාපිත කිරීමත් සමඟ එකම වහලක් යටට ගෙන ඒමට හැකි වන අතර, එමඟින් කළුතර දිස්ත්‍රික්කය ඇතුළු අවට ප්‍රදේශවල පිළිකා රෝගීන්ට වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් ප්‍රතිකාර සේවාවක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

මුල්ගල තැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මෙවැනි උදාර මානුෂීය කාර්යයක් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් “ප්‍රාර්ථනා පියස” පිළිකා ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සඳහා පූර්ණ ධන පරිත්‍යාගයෙන් දායක වූ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සහ එම මැතිනිය ඇතුළු සියලු දෙනා වෙත සිය කෘතඥතාව පළ කළේය.

කළුතර ශික්ෂණ රෝහලේ අද ආරම්භ කරනු ලබන්නේ සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කාර්යයක් පමණක් නොව, වර්තමානයේ රට මුහුණ දෙමින් සිටින සෞඛ්‍ය අභියෝගයකට ප්‍රතිචාර දැක්වීමේ වැදගත් පියවරක් බවද අමාත්‍යවරයා පැවසීය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පසුගිය සියවස පුරා විවිධ අභියෝගවලට මුහුණ දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, අතීතයේදී බෝවන රෝග, කොකු පණු රෝගය, මැලේරියාව වැනි රෝග හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් ජීවිතක්ෂයට පත්වූ බවද සිහිපත් කළේය. එම අභියෝග ජයගැනීම සඳහා 1948ට පෙර බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙන්ම ඉන් අනතුරුව පැවති රජයන් විසින්ද අවස්ථානුකූලව විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බෝවන රෝග සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය අභියෝගයක් බවට බෝ නොවන රෝග පත්ව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට සිදුවන සමස්ත මරණවලින් සියයට 83ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, බෝ නොවන රෝග සමාජය තුළ කෙතරම් පුළුල්ව පැතිර ඇත්ද යත්, එවැනි රෝගයකින් බලපෑමට ලක් නොවූ පුද්ගලයෙකු නොමැති පවුලක් සොයාගැනීම පවා අසීරු තත්ත්වයකට පත්ව ඇති බව පැවසීය.

බෝ නොවන රෝග පාලනය, රෝග හඳුනාගැනීම, ප්‍රතිකාර සහ පර්යේෂණ කටයුතු සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා, මෙම අභියෝගය ජයගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එය ප්‍රමුඛ අභියෝගයක් ලෙස භාරගෙන අඛණ්ඩ හා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අවධාරණය කළේය.

බෝ නොවන රෝග අතර පිළිකා රෝගය වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්ත සෞඛ්‍ය අභියෝගයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දිනකට නව පිළිකා රෝගීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගැනෙන අතර, වාර්ෂිකව නව පිළිකා රෝගීන් තිස්දහසත් තිස්පන්දහසත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා බවද සඳහන් කළේය.

මහරගම අපේක්ෂා රෝහල මගින් පමණක් වාර්ෂිකව පිළිකා රෝගීන් දසදහසත් එකොළොස්දහසත් අතර පිරිසකට නේවාසික ප්‍රතිකාර ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව පිළිකා රෝගය පාලනය කිරීම, කඩිනමින් හඳුනාගැනීම සහ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා කඩිනමින් හා ගුණාත්මකව ලබාදීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එවැනි පසුබිමක කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ නවීන පහසුකම් සහිත සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාර්යයක් බවද ඒමහතා සඳහන් කළේය.

පිළිකා ඇතුළු බෝ නොවන රෝග වැළැක්වීම, කල්තියා හඳුනාගැනීම, කඩිනම් ප්‍රතිකාර ආරම්භ කිරීම, විශේෂිත ප්‍රතිකාර සඳහා යොමු කිරීම, පසු විපරම් කිරීම සහ ඉන් අනතුරුව සහන සත්කාර සේවා ලබාදීම දක්වා සමස්ත ක්‍රියාවලිය ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කළුතර ශික්ෂණ රෝහලේ ස්ථාපිත කෙරෙන “ප්‍රාර්ථනා පියස” මඟින් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් නොව අවට දිස්ත්‍රික්කවල ජනතාවටද පිළිකා ප්‍රතිකාර සේවා වඩාත් සමීප කරමින් සෞඛ්‍ය සේවා පද්ධතියේ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් බස්නාහිර පළාත සහ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු මෙම කලාපය ආශ්‍රිතව ජීවත් වන බැවින්, එම ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානයක් යොමු කර ඇති බවද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

කළුතර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක “ප්‍රාර්ථනා සහන සංගමය” විසින් නිර්මාණය කරන ලද විශේෂ සමරු තිළිණයක්ද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් “ප්‍රාර්ථනා පියස” සඳහා පූර්ණ ධන පරිත්‍යාගයෙන් දායක වූ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන අධිකරණ සංඝනායක, රැටියල ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මොරපිටියේ ධම්මතිලක නාහිමියන්, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික කිරි වෙහෙර රජමහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්න නාහිමියන්, නැගෙනහිර පස්දුන් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක, වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පෝරුවදණ්ඩේ සුමනරතන නාහිමියන්, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, යුදඟනාව විහාරාධිපති ගල්තැම්වත්තේ නන්දරතන නාහිමියන්, ශ්‍රී ජයවර්ධනාරාම විහාරාධිපති දොඩම්ගොඩ විදුරඥාන නාහිමියන්, ගිනිගත්හේනේ ඥානසීල හිමියන් ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා වැඩමකර සිටියේය.

එමෙන්ම කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නන්දන පද්මකුමාර, නිලන්ති කොට්ටච්චි, ඔෂානි උමංගා සහ සංජීව රණසිංහ මහත්ම මහත්මීන් මෙන්ම කළුතර නගරාධිපති ධනුජ සෝමරත්න, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත්, දෙවුන්දර සහ කතරගම දේවාලයන්හි බස්නායක නිලමේ තිළිණ මධුසංක, කළුතර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මධුභාෂිණී කරුණාරත්න, කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සී. මුරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කළුතර වෙළෙඳ සංගමයේ නියෝජිතයන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සෞඛ්‍ය වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img