දෙහිඕවිට නගරය ගරු අගමැතිතුමාගේ උපදෙස් පරිදි සංවර්ධනය කිරීමට පියවර
සංවර්ධනය කිරීමට සැලසුම් පමණක් සකස් කර කාලයක් තිස්සේ අතහැර දැමූ දෙහිඕවිට නගර සංවර්ධන ව්‍යාපෘතිය වසර පහක් තුළ ක්‍රියාත්මක කර අවසන් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
2016 – 2026 අතර කාලය තුළ නිමකළ යුතු සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස පසුගිය රජය නම්කර තිබූ මෙම ව්‍යාපෘතිය, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල යටතේ වසර පහක් තුළ අවසන් කෙරෙන කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව සංවර්ධනය කෙරෙන දෙහිඕවිට නගරය කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි නගරයකි. ඉහළ වාණිජ වටිනාකමක් සහිත නාගරික බල ප්‍රදේශයක් ලෙස සහ සීඝ්‍රයෙන් දියුණු වන නගරයක් ලෙස දෙහිඕවිට නගරය මේ වන විට හඳුනාගෙන තිබේ.
මෙතෙක් ප්‍රමාද කර තිබූ යෝජිත දෙහිඕවිට නගරය සංවර්ධනය අදියර තුනක් යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සකස් කළ සංවර්ධන සැලසුමට අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.
දෙහිඕවිට නගර සංවර්ධනය, තල්දූව නගර සංවර්ධනය සහ මාදොල නගර සංවර්ධනය එම සංවර්ධන සැලසුමට අනුව ක්‍රියාත්මක වේ.
යෝජිත නව නගර සංවර්ධන සැලැස්ම යටතේ දක්වා ඇති මෙම ව්‍යාපෘති වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන අතර එම ව්‍යාපෘති යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු වර්ග කිරීමකට ද ලක් කර ඇත.
ඒ අනුව දෙහිඕවිට නගරය සඳහා සංවර්ධන ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කෙරේ. රජයකින් ජනතාවට ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් ඇතුළත් පොදු මහජන අවශ්‍යතා සහ පහසුකම් සැපයීම එම සංවර්ධන ව්‍යාපෘතින්හි අරමුණු වේ.
යෝජිත බස් නැවතුම්පළ සහ සාප්පු සංකීර්ණය, යෝජිත ක්‍රීඩාංගනය දෙවන අදියර, යෝජිත ළමා උද්‍යානය, යෝජිත ඇවිදින මංතීරුව සංවර්ධන ව්‍යාපෘතිය, යෝජිත පොදු රථගාල සංවර්ධනය, භූ දර්ශන ව්‍යාපෘතිය සහ පුස්තකාල සංවර්ධන ව්‍යාපෘති 07 මීට ඇතුළත් වේ.
දෙහිඕවිට නගර සංවර්ධනය යටතේ දෙහිඕවිට නගරයට ආසන්නව පවතින තල්දූව නගරය සඳහා ද ව්‍යාපෘති 05 ක් යෝජනා වී තිබේ.
සතිපොළ සංවර්ධනය දෙවන අදියර, යෝජිත රථගාල සංවර්ධනය, සනීපාරක්ෂක පහසුකම්, පදික මංතීරු සංවර්ධන ව්‍යාපෘතිය, යෝජිත ළමා උද්‍යාන සහ රථගාල් පහසුකම් එම කඩිනම් සංවර්ධන වැඩපිළිවෙල යටතේ නිම කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතින් වේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු අධික්ෂණය කරනු ලබයි.
මෙම සංවර්ධන සැලැස්මේ දක්වා ඇති මාදොල හැරිපට්වත්ත සංවර්ධන ව්‍යාපෘතිය මෙයට පෙර කළ සංවර්ධන කටයුතුවල නොතිබූ අංග රැසකින් සමන්විතවී තිබීම විශේෂත්වයක් වේ. මෙම හැරිපටිවත්ත දෙහිඕවිට නාගරික බල ප්‍රදේශයේ මාදොල පිහිටි ඉඩමකි.
හැරිපට්වත්ත ඉඩමෙහි ප්‍රමාණය අක්කර 13 ක් වන අතර මෙය නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමකි. හැරිපට්වත්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. යෝජිත මෙම ව්‍යාපෘතිය ද පොදු පහසුකම් සැපයීම යටතේ ක්‍රියාත්මක කෙරේ.
හැරිපට්වත්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියට විශේෂ අංග කිහිපයක් ද ඇතුළත් කර තිබේ. ඒ යටතේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන, කාය වර්ධන මධ්‍යස්ථාන, පිහිනුම් තටාක, වන උද්‍යානයක්, අවන්හල් සහ කොටේජ් පිටුවීමට නියමිතය. මේ සංවර්ධන ව්‍යාපෘතියේ අවසන් අදියර ලෙස ක්‍රිඩා ගම්මානයක් ගොඩනැගීමට ද නියමිතව තිබේ. මහජනතාවට සේවාවන් සපයන ව්‍යාපාරිකයින්ට මෙහි ව්‍යාපාරික කටයුතුවල නියැලීමට අවස්ථාව මෙමඟින් හිමිවෙයි.
යෝජිත කැළණි වැලි ක්‍රීඩාංගණය ද තවත් විශේෂාංගයකි. ඒ පිළිබඳ විශේෂ කරුණක් මෙහිදී හෙළිව තිබේ. මෙම ක්‍රීඩාංගනය වටිනා භූගත සම්පත් රැසකින් යුක්ත බවට තොරතුරු වාර්තා වේ.
දෙහිඕවිට කලාපය තුළ දෙස් විදෙස් සංචාරකයන් ප්‍රියකරන ස්ථාන රැසක් පිහිටා තිබේ. එය සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම ජනප්‍රියතාවයට සහ ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් යොදා ගැනීමට අවස්ථාව හිමි වී හිමිවී තිබේ ඒ සඳහ වී තිබේ ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මේ වන විට මතුව තිබේ.
දෙහිඕවිට නාගරික බල ප්‍රදේශය 2013 වර්ෂයේ පෙබරවාරි මස 20 වන දින නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. වර්ග කිලෝමීටර් 92 ක බල ප්‍රදේශයක් වන එය අංක 1798/25 දරණ ගැසට් පත්‍රය යටතේ ගැසට් කර ඇති අතර එම බල ප්‍රදේශයට ග්‍රාමසේවා වසම් 24 ක් ඇතුළත්ව තිබේ.
පසුගිය දා බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සංවර්ධන සමාලෝචන සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂිකා තුෂාණි අල්විස්, කෑගල්ල නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දීප්ති විජේනායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
“සෞභාග්‍යයේ දැක්ම” යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන කටයුතු පිළිබඳව පැවති මෙම සාකච්ඡාවේ දෙහිඕවිට නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රුවන්වැල්ල ආසන සංවිධායක සුදත් මංජුල, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල නවරත්න යන මහත්වරු දෙහිඕවිට යෝජිත නගර සංවර්ධන කටයුතු සහ එම ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙම රැස්වීමේ දි කරුණු දැක්වූහ.






















