Thursday, April 16, 2026
HomeNEWSLatest Newsනව ඇමැති මණ්ඩලය අද දිවුරුම් දෙන මහනුවර ඓතිහාසික මඟුල්මඩුව

නව ඇමැති මණ්ඩලය අද දිවුරුම් දෙන මහනුවර ඓතිහාසික මඟුල්මඩුව

නව ඇමැති මණ්ඩලය අද දිවුරුම් දෙන මහනුවර ඓතිහාසික මඟුල්මඩුව

පැරණි රජ දවස ඓතිහාසික මඟුල් මඩුව සුවිශේෂ අවස්ථාවලට භාවිතයට ගත් බව තහවුරු කෙරෙන්නා වූ තවත් එක් සාක්ෂියක් ලෙස ඓතිහාසික කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීම පෙන්වා දිය හැකිය.ඉංග්‍රීසින් විසින් 1815 මාර්තු 02 දින උඩරට නිලමේවරු සමඟ අදාළ ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ ඓතිහාසික මඟුල් මඩුවේදීය.එයට ප්‍රථම රාජාධිරාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරු අධිකාරම්වරුන් හා නිලමේවරුන් සමඟ රාජ්‍ය පරිපාලන කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමටත් විශේෂ අමුත්තන් හමුවීමටත් මෙම මණ්ඩපය යොදාගෙන තිබේ.

මෙරට නව වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (12) දිවුරුම් දීම සිදු කිරීමට නියමිතව තිබෙන්නේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදීය.මේ ආකාර අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමක් මෙම ස්ථානයේ සිදු කෙරෙන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.

හනුවර රාජධානි සමයේ ඉදිකළ ගොඩනැගිලි අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා මඟුල් මඩුව ශ්‍රී දළදා මාලිගාවට වම් පසින් එම පරිශ්‍රයේ පිහිටා තිබේ.පැරණි රජ මාලිගාව අභියස ස්ථාපිත මෙම ගොඩනැගිල්ල රජු සුවිශේෂ අවස්ථා සඳහා භාවිත කළ එකකි.කන්ද උඩරට රජ කළ රාජාධිරාජසිංහ රජ දවස දේවේන්ද්‍ර මූලාචාරි තුමන්ගේ සැළසුමකට අනුව 1783 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ මඟල් මඩුවේ වැඩ මුළුමනින්ම නිමකර තිබෙන්නේ ශ්‍රී වික්‍රම රජු විසිනි.ඒ රාජාධිරාජසිංහ රජු 1798 වසරේදී මරණයට පත්වීමෙන් පසු කන්ද උඩරට රාජ්‍යත්වයට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පත්වීමත් සමඟය.

සිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගල පුර හෙවත් මහනුවර නගරය යුනේස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙසට නම් කර මේ වන වි‍ට වසර විසි අටක් ‍ගතව තිබේ.වර්ෂ 1988 දී යුනෙස්කෝව මගින් නගරය ලෝක උරුමයක් බවට පත් කළේ එහි පෞරාණිකත්වය හා සංස්කෘතික වටිනාකම් සැලකිල්ලට ගනිමින් ඒවා මතුපරපුර වෙත ආරක්ෂා කරදීමේ අරමුණිනි.මෙරට පවතින එකම ජීවමාන ලෝක උරුම නගරය වන මහනුවර තුළ ඓතිහාසික වටිනාකමින් යුත් පෞරාණික ගොඩනැගිලි 484 ක් පිහිටා තිබේ.පැරණි රජ සමයේදීත් ඉංග්‍රීසී පාලන සමයේත් මෙම ගොඩනැගිලි ඉදිකර ඇත.මහනුවර රාජධානිය ස්ථාපිත කරනු පිණිස මඟපාදමින් ප්‍රථමයෙන් මහනුවර ඉදිකෙරුණු ගොඩනැගිල්ල ලෙස සැළකෙණුයේ වර්තමානයේ මහනුවර නාථදේවාළය පිහිටා ඇති ගෙඩි ගෙයයි.ගම්පොළ රජ කළ තුන්වන වික්‍රමබාහූ රජු විසින් 1361 වසරේදී මෙම ගෙඩි ගෙය ඉදි කර ඇති බව පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු වී තිබේ.

සීතාවක රාජ්‍යයෙන් එල්ල වූ අභියෝග නිසාවෙන් වික්‍රමබාහු රජු සුරක්ෂිත භූමියක් සොයා රාජ පුරුෂයින් සමඟ යමින් සිටියදී මහවැලි ගඟෙන් වටව තිබූ මෙම පුරයෙහි වැඩවිසූ සෙංඛ නම් බ්‍රාහ්මණයෙක් හමු වී ඇති බවටත් එතුමන් විසින් මෙම ජය භූමිය රජුට පෙන්වා ඇති බවටත් මතයක් පවතී.ඒ අනුව රජු අනාගතයේ රාජධානියක් බවට පත්කිරීමේ අරමුණින් ප්‍රථමයෙන් මෙහි නාථ දෙවියන් වෙනුවෙන් ශෛලමය ගෙඩිගේ ඉදිකර තිබේ.එසේ වුවද කන්ද උඩරට ප්‍රථමයෙන් රජ පැමිණ ඇත්තේ සේනාසම්මත වික්‍රමබාහු (1466-1511) රජුය.

මහනුවර කේන්ද්‍ර කර ගනිමින් නගරය පුළුල් කර රාජ්‍යත්වයේ සංකේතය වූ දළදා වහන්සේ ද කන්ද උඩරටට වැඩමවා නියමාකාර රාජධානියක් මෙහි බිහි කර ඇත්තේ පළමුවන විමලධර්මසූරිය රජු විසිනි.සිරි ලක අවසන් රාජධානිය වූ කන්ද උඩරට බලය ගිලිහී ගොස් එය ඉංග්‍රීසීන් යටතට පත්ව ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගෙන් මෙරට රාජවංශය අවසන් වන විට කන්ද උඩරට සිංහල රජවරු නව දෙනකුත් නායක්කාර වංශික රජවරු සිව්දෙනකුත් පාලනයට හිමිකම් කියා තිබිණි. මහනුවර පවත්නා ඓතිහාසික ගොඩනැගිලි කිහිපය අතර දේශපාලන සන්සිද්ධීන්වලට පණ පෙවූ ගොඩනැගිල්ලක් වූයේ නම් ඒ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවයි.මංගල මණ්ඩපය නමින් ද හැඳින්වෙන මෙය මහනුවර යුගයයට අයත් කැටයම්වලින් අලංකෘත කළ දැවමය කණුවලින් නිර්මාණය කර තිබේ.එම යුගයට අයත් පෙති උළු සෙවිළි කළ මෙහි වහලය සිව් දෙසට බෑවුම් වන ලෙස දිගු හතරැස්ව ඉදිකොට ඇත.ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව රාජකීයයන් හමුවීම වෙනුවෙන් පැවැති රාජකීය මහෝත්සවය මෙහි පැවැති බව ඉතිහාසයේ දැක්වෙයි.

පැරණි රජ දවස මෙම මණ්ඩපය සාමාන්‍ය ජනතාවට ළඟාවිය නොහැකි ලෙස ඉතා ආරක්ෂිතව පවත්වාගෙන ගියේ එහි සිදු කෙරුණු බොහොමයක් දේ අතිශය සුවිශේෂී වූ හෙයිනි.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා එම උතුම් පදවියට පත් වූ පසු රාජ්‍ය නායකයා අතින් ඊට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය ලබා ගැනීමේ රාජ්‍ය උත්සවය එදා සිට අද දක්වාම සිදු කෙරෙන්නේ මෙම පුණ්‍ය භූමියේය.

පැරණි රජ දවස ඓතිහාසික මඟුල් මඩුව සුවිශේෂ අවස්ථාවලට භාවිතයට ගත් බව තහවුරු කෙරෙන්නාවූ තවත් එක් සාක්ෂියක් ලෙස ඓතිහාසික කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීම පෙන්වා දිය හැකිය.ඉංග්‍රීසින් විසින් 1815 මාර්තු 02 දින උඩරට නිලමේවරු සමඟ අදාළ ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ ඓතිහාසික මඟුල් මඩුවේදීය.එයට ප්‍රථම රාජාධිරාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරු අධිකාරම්වරුන් හා නිලමේවරුන් සමඟ රාජ්‍ය පරිපාලන කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමටත් විශේෂ අමුත්තන් හමුවීමටත් මෙම මණ්ඩපය යොදාගෙන තිබේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙහි රාජ සභාව පවත්වා ඇත්තේ දැව කුලුනු රතු හා සුදු වර්ණවලින් හැඩ ගැන්වූ රැලි පාලම්වලින් සරසා බව ඉතිහාසයේ දැක්වෙන අතර ප්‍රධාන නඩු ඇසීමට ද රජු මෙම ස්ථානය යොදාගෙන තිබීම නිසා මෙයට මහ නඩුව යන නමද ව්‍යවහාර වූ බවක් කියවෙයි.ඌව වෙල්ස්ස නිදහස් සටනට පණ දුන් වීර මොණරවිල කැප්පෙටිපොළ විරුවා ඇතුළු නායකයින්ට ඉංග්‍රීසින් විසින් මරණ දණ්ඩනය පනවන ලද්දේද මෙහිදීය.

මෙම ඓතිහාසික ගොඩනැගිල්ල සඳහා දැව සපයාගෙන ඇත්තේ මාතලේ නාලන්දාවෙනි.හල්මිල්ල,නා සහ තේක්‌ක දැව යොදා දිගින් මීටර් 19.75 ක්‌ පළලින් මීටර් 11.65 ක්‌ වන සේ ගොඩනගා තිබෙන මඟුල් මඩුවේ සියුම් කැටයම් සහිත දැව කණු 48 ක් දක්නට ලැබේ.එක් පැත්තකට කණු 24 බැගින් මෙම කණු 48 පේලි දෙකකට ස්ථානගත කර තිබේ. වේලස්හි කුමරුන් වූ හත්වන ඇල්බට් එඩ්වඩ් රජු උඩරටට සපැමිණි 1875 වසරේදී එවකට සිටි ඉංග්‍රීසි පාලකයින් රජු මහත් ගරුසරු ඇතිව පිළිගැනීමේ අදිටනින් මඟුල් මඩුවට තවත් කොටසක් අලුතින් එක්කර ඇත.මැද වාසලේ තිබූ කණු 16 ක් එක් පේලියකට කණු 08 බැගින් වනසේ පේළි දෙකකට ස්ථානගත කොට මඟුල් මඩුවේ සම්පූර්ණ දිග මීටර 30 ක් දක්වා වැඩි කිරීමට ඉංග්‍රීසි පාලකයෝ පියවර ගෙන ඇත.මේ නිසා දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ මුල් නිර්මාණයට අලුතින් මීටර මීටර් 10.33 ක් එක් විය.මේ නිසා අද අපට දක්නට ලැබෙන මඟුල් මඩුව සියුම් කැටයම් සහිත දැවමුවා කණු 64 කින් සමන්විතය.

අදත් මහනුවර සුරැකිව දක්නට ලැබෙන ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැගිලි අතර මඟුල් මඩුව සුවිශේෂි වන්නේ එය ගොඩනැගීමට රජවරුන් දෙදෙනෙකු පමණක් නොව ඉංග්‍රීසි පාලකයින්ද මුල්වී තිබීම හේතුවෙනි.කන්ද උඩරට පාලනය තම ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව ඉංග්‍රීසින් විසින් රාජකීය ගොඩනැගිලි බොහොමයක් ගිනි තබා විනාශ කළද මඟුල් මඩුව ආරක්ෂා කිරීමට ඔවුන් පියවර ගෙන තිබිණි.ඒ මෙහිවූ සුවි‌ශේෂි කැටයම් කලාවත් බෑවුම් සහිත වහලයේ නිමාවත් ඉංග්‍රීසීන් පුදුම කරවීම නිසා වන්නට ඇත.

ගොඩනැගිල්ලේ දකුණු කෙළවරේ තරමක් උස් බිම් කඩක කොටුවක් සහිත ස්ථානයක් දැකිය හැකි අතර එය රජුගේ සිංහාසනය පැනවූ ස්ථානය වශයෙන් පිළිගැනෙයි.මෙරට ඉදිරි ගමන් මඟ තීරණය කෙරෙන්නාවූ ඓතිහාසික සිදුවීම් ගණනාවක ආරම්භව තිබෙන්නේ මෙම ස්ථානයෙනි.අනෙක් අතින් මහනුවර යුගයේ කලාකරුවන්ගේ හැකියාවන් පිළිබඳ තක්සේරුවක් කිරීමට මඟ පාදන්නා වූ කලාගාරයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

එදා මෙදා තුර අප ශ්‍රී දළදා සමිදුන් සැලකුවේ රාජ්‍යත්වයේ සංකේතය ලෙසිනි.එදා රජවරු දළදා වහන්සේ රැක ගැනීමට පෙළඹුණේ දිවි හිමියෙනි.දළදා වහන්සේ ආරක්ෂා කිරීමට අපොහොසත් වූවන් පාලකයින් ලෙස පිළිගැනීමට සිංහල බෞද්ධයෝ මැළි වූහ.මහින්දාගමනයෙන් පසු බෞද්ධ සංස්කෘතියත් සමඟ ගොඩනැගුණු අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දී ආරක්ෂාකොට පෝෂණය කරන්නට කටයුතු කරන බවට වගන්තියක් ඇතුළත් කරන්නට අමතක නොකළෙමු.ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලෙස පත්වීමෙන් පසු දිව්රුම් දීම සිදු කළේ අනුරාධපුර රුවන්වැලි සෑ රඳුන් අභියසය.අගමැති ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතා දිව්රුම් දුන්නේ ඓතිහාසික කැලණි රජමහ විහාරයේදීය.අභිනව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද (12) ශ්‍රී දළදා සමිඳුන් අභියස ඓතිහාසික මඟුල් මඩුවේදී දිව්රුම් දීමට නියමිතය.මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ සංඝරත්නයද මෙයට සහභාගි වීමට නියමිතය.

අතීත රජ දරුවන් ගත් මඟ ගනිමින් දළදා වහන්සේ වෙනුවෙන් කළ හැකි ගරු බුහුමන් ඉහළින්ම සිදු කිරීමට රාජ්‍ය නායකයා ලෙස තමන් බැඳී සිටින බවත් උන්වහන්සේ වැඩ සිටින භූමියේ නිදහස,සාධාරණත්ව හා සාමකාමී බව සුරැකීමට අතීත සම්ප්‍රදායන් ගරුකරමින් නිරන්තරව කැපවන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ පසුගියදා නිමා වූ මහනුවර දළදා පෙරහර සමාප්ති උත්සවයේදීය. ඓතිහාසික මඟුල් මඩුවේදී අද දිව්රුම් දෙන ඇමැති මණ්ඩලය සෞභාග්‍යයේ දැක්ම ජනපති වැඩපිළිවෙළ යථාර්ථයක් කිරීමට අගමැති හා එක්ව කැපවනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img