කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලය සහ නිදහස් අධ්යාපනය උදෙසා සිසු ජන ව්යාපාරය එක්ව පැවැත්වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිස මුලතිව් ප්රදේශයේ නිරෝධායන මධ්යස්ථානයක් වෙත යොමු කෙරුණි.
ඊයේ (08) දිනයේ දී ශ්රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු විරෝධතාකරුවන් 33දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණ ඔවුන්ව ඇපමත නිදහස් කළේය.
එහිදී ඉන් 16 දෙනෙකු නිරෝධායන මධ්යස්ථානයක් වෙත යොමු කළ ද සෙසු පිරිස එම ස්ථානයෙන් පළා ගොස් තිබුණි.
මේ අතර නිරෝධායනය සඳහා යොමු කළ පිරිසට අවම පහසුකම් හෝ සපයා නොමැති බැවින් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම පිරිස චෝදනා කරයි.
මේ පිළිබඳ අදහස් දැක්වු ශ්රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,
“අද පාර්ලිමේන්තුවේ දී සරත් වීරසේකර අමාත්යවරයා කියනවා ඊයේ නිරෝධායනයට යවන කට්ටිය විධිමත්ව සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුව යැව්වා කියලා. අමු බොරු කොහොම ද PHI කෙනෙක් බලන්නේවත් නැතුව නිර්දේශ දෙන්නේ? ඒක සම්පූර්ණ පචයක්. අපිට ටූත්පේස්ට් දුන්නේ හාමුදුරුවෝ නමක්. අපිට කිසි රෙදි කෑල්ලක් දුන්නේ නෑ. මේ ඉන්න අය උදේ ඉදලා ඇඳගෙන හිටියේ බෙඩ්ෂීට්. පොලීසියෙන් කිව්වේ යන තැන ඔක්කෝම තියෙනවා කියලා. සරත් වීරසේකර ඇමතිවරයා කියනවා මීගමුව පොලීසියෙන් අපිට බෙහෙත් දුන්නලු. අමු බොරු හලාවත පොලීසිය ළඟ නවත්තලා පාන් කාලයි කෙසෙල් ගෙඩියයි දුන්නේ. හිඟන කෑම වේවා.“
මේ අතර ආණ්ඩුව නිරෝධායන රෙගුලාසි භාවිත කොට ජනතා උද්ඝෝෂණ මර්දනය කරන බව පවසමින් සමගි ජන බලවේගය අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් ගොනු කළේය.
එමෙන්ම මහජන ඒකරාශීවීම් සහ උද්ඝෝෂණ සිදුනොකරන්නැයි සෞඛ්ය උපදෙස් නිකුත් කර තිබියදී අදත් විපක්ෂ නායකවරයා ප්රමුඛ සමගි ජන බලවේගය විරෝධතාවක් පැවැත්විය.
විරෝධතාවය අද පස්වරුවේ නිදහස් චත්රරස්රය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වු අතර, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ වෘත්තිකයින් එයට සහභාගි වී සිටියේය.
උද්ඝෝෂණය පැවැත්වුණේ කොවිඩ් අවදානම නිසා මහජන ඒකරාශීවීම් හා උද්ඝෝෂණ සිදුනොකරන ලෙසට සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇති පසුබිමකය.
දුරස්ථභාවය තබාගනිමින් සෞඛ්ය උපදෙස් අනුව උද්ඝෝෂණය පැවැත්වීමට ඔවුන් උත්සාහ කරන අයුරු එහිදී දක්නට ලැබුණි.
අනතුරුව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණියේය.
කෙසේවෙතත් එම ඉල්ලීම නොතැකූ සමගි ජන බලවේගය සිය උද්ඝෝෂණය පැවත්විය.
මේ අතර ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන සලසන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය තංගල්ල නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
තංගල්ල පොලිසිය කළ දැනුම්දීමෙන් පසුව උද්ඝෝෂකයින් විසිර ගියේය.






















