හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයෙන් පහකර වෙනත් ජනාධිපතිවරයෙකු බිහිකිරීමට අවශ්‍ය වු කණ්ඩායම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය අතර කිසියම් සම්බන්ධයක් පවතින්නේදැයි තමන්ට සැකසහිත බැවින් ඒ පිළිබඳ ගැඹුරින් විමර්ශනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ, 2015 වර්ෂයේ සිට මෙරට ආණ්ඩු මාරුවීම් සහ ජනාධිපතිවරු බිහිවීම් සිදුකර ඇත්තේ මෙරට ඡන්ද දායකයින් නොව විදෙස් බලවේග විසින් බවය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉකුත් වසරේ මැයි මස 13 වන දින කුලියාපිටිය නගරයේ ඇතිවු නොසන්සුන්තාවයන් අතර තුර හෙට්ටිපොල පොලිස් ස්ථානයේ සිටි අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනෙකු තම මෝටර් රථයෙන් බිංගිරිය පොලිස් ස්ථානයට රැගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව ජනාධිපති කොමිසම ඊයේ (08) කැඳවා තිබුණි.
එහිදි සාක්ෂිදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ, තම නිවසට යාබඳ හෙට්ටිපොළ පොලිස් ස්ථානය අසලට ජනතාව එක්රැස්වී නොසන්සුන්කාරි ලෙස හැසිරීමත් හේතුවෙන් අදාළ සිද්ධිය වූ ස්ථානයට තමන් ගමන් කළ බවය.
තමන් එම ස්ථානයට යන විටත් නාමල් කුමාර නැමැත්තා සහ හිමිනමක් දේශනයක ස්වරූපයෙන් රැස්ව සිටි ජනතාව අමතමින් සිටි බවත්, ” මේක මගේ ආසනයේ වැඩක් කරුණාකර ප්‍රශ්න ඇති නොකර ඔයා යන්න ” යැයි තමන් ඔහුට පැවසුවද ඔහු එයට සවන් නොදුන් බැවින් යම් දැඩි ස්වරූපයකින් කෑ ගසා නාමල් කුමාර නැමැත්තාව එම ස්ථනායෙන් ඉවත් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතිව තිබු තත්ත්වයට හේතුව අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් බිංගිරිය පොලිස් ස්ථානයේ සිට හෙට්ටිපොල පොලිස් ස්ථානයට ගෙනවිත් තිබීම බව තමන් දැනගත් අතර එම සැකකරුවන් යළි බිංගිරිය පොලිස් ස්ථානයට ගෙනයාමට පහසුකම් නොමැති බව හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසු හෙයින් තම වාහනයෙන් සැකකරුවන් බිංගිරිය පොලිස් ස්ථානය වෙත ගෙනයාමට ඉදිරිපත් වු බවය.
මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ ” ව්‍යවස්ථාදායකය නියෝජනය කරන්නෙකු වන ඔබ විධායකය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු සම්බන්ධයෙන් බලපෑම් කිරීම නිවැරදි ක්‍රියාවක්ද “ යන්නය.
” ස්වාමිනි, මම බලපෑමක් කරානම් එය වැරදි නමුත් මම සැකකරුවන්ට ඇප දෙන්න කිව්වේ නැහැ. මොකද ඒ වෙද්දිත් එදින උදෑසන එවකට නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහත්මයා, පොලිසියේ ඉහළ නිලධාරින් සහ ගමේ ජනතාව එකතු වෙලා තිබ්බ රැස්විමක දී මෙම සැකකරුවන්ට ඇපදෙන්න තීරණය වෙලා තිබුණා. මම කළේ යළි බිංගිරිය පොලිස් ස්ථානයට සැකකරුවන් ගෙනයාමට සහයවීම පමණයි. “ යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කරුණු පැහැදිලි කළේය.
මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ, ඔබ අමාත්‍යධුරයක් දැරු යහපාලන රජය ජාතික ආරක්ෂාවට දුන්නේ කොයිවගේ තැනක්ද, ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත අහෝසි කරන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ මන්ද යන්නය.
” ස්වාමිනි ඒ වෙද්දි එම පණත අවශ්‍ය නැහැ කියන තැන යහපාලන රජය ඉන්න ඇති. අලුත් පනතක අවශ්‍යතාවය අවධාරණය වෙලා තිබ්බා. නමුත් පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුනේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ කියන තැන ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ පාර්ශවය සිටියා. නමුත් ද්වි පාක්ෂික ආණ්ඩුවේ අනිත් පාර්ශව නිසා අභ්‍යන්තර ගැටුම් ඇතිවුණා. ඒ ඔස්සේ ජාතික ආරක්ෂාව යම් තරමකට දුර්වලවීමක් සිදුවුණා කියලා මම පිළිගන්නවා “ යැයි රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.
එහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පෙරළා ප්‍රශ්න කළේ, ඔබ යම් අවස්ථාවක ජාතික ආරක්ෂක කවුන්සලයට සහභාගි වුනාද, එහිදි සහරාන් හෂීම් සම්බන්ධයෙන් සාකච්ඡා වුනා ද යන්නය.
“ඔව් මම සහභාගි වුණා. අත්අඩංගුවට ගැනීම පිළිබඳ සාකච්ඡා වුන වෙලාවේ සහරාන් ලංකාවේ සිටියේ නැහැ කියන එක තමයි මතුවුණේ. මොහුගැන කතාවුනේ 2016 වගේ ඉදලා. නමුත් අත්අඩංගුවට ගැනීමට නොහැකිවුනේ ඇයි කියන කාරණය පැහැදිලියි. යහපාලන රජය තුළ සිදුවු අභ්‍යන්තර ආරවුල්, ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කළ විවිධ පාර්ශව වල බලපෑම් මෙවැනි අත්අඩංගුවට ගැනීම් මඟ හැරෙන්න හේතුවුණා. මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි ගේන්න ගියා එක රටක් එක නීතියක් කියලා ප්‍රතිපත්ති මාලාවක්. එය පවා ගේන්න බැරිවුනේ ඒ වෙද්දි ආණ්ඩුවේ හිටපු මුස්ලීම් අමාත්‍යවරු සහ ප්‍රබල පාර්ශව නිසයි” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සාක්ෂි ලබාදුන්නේය.
ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා වෙත ප්‍රශනයක් යොමුකළ ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා මෙලෙස ප්‍රශ්න කළේය.
” රාජ්‍ය ඇමතිතුමා ඔබතුමා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ ප්‍රකාශයක් කළානේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාරයක් එල්ල නොකළේ විශේෂ පිරිසක් එහි නවාතැන් ගෙන ඉදපු නිසයි කියලා. මොකක්ද ඔබ එවැනි ප්‍රකාශයක් කිරීමට මුල්වුන හේතුව ”
” ස්වාමිනි මෙහෙමයි, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයෙකු ටාජ් හෝටලයටත් යනවා. නමුත් ඔහු එක එහි පුපුරගන්නේ නැහැ. ඔහු ආපසු හැරි යනවා. මේ හෝටලය එක විශේෂ රටක ව්‍යාපාරිකයන්ට අයිති හෝටලයක්. මම කිව්වේ ශ්‍රැන්ග්‍රීලා හෝටලට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වෙන්නයි. ටාජ් හෝටලයේ ප්‍රහාරය නොවෙන්නයි හේතු හොයන්න කියලා “ යැයි රාජ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු දුන්නේය.
මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළිත් ප්‍රශ්නයක් මතුකරමින් මෙසේ විමසුවේය.
” හරි, ඔබතුමා ප්‍රකාශයක් කරලා තිබ්බනේ මේ පාස්කු ප්‍රහාරය පිටුපස විදේශ බලවේගයක් ඉන්නවා කියලා. මේ කොමිසමට කියන්නකෝ එහෙම කියන්න මොනවද ඔබතුමා ළඟ තියෙන කරුණු කියලා “
” ස්වාමිනි කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක. සහරාන් කියන්නේ බෙදුම්වාදියෙක් නෙමේ. ඔහු මාරගෙන මැරුණේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමේ. කොටින්ම කිව්වොත් ඔහු මරාගෙන මැරුණයින් ඔහු දිනාගත්තු දෙයක් නැහැ. අපි හොඳින්ම දන්නවා ලෝකයේ කිසිම ත්‍රස්තවාදි කණ්ඩායමක නායකයෙක් මරාගෙන මැරෙන්නේ නැහැ. එහෙම මරාගෙන මැරෙන්නනම් Motivate වෙන්න ඕනේ. මොකක්ද සහරාන්ට තිබුණු Motivate එක. සහරාන් තනිවම මේක කළා ද, නැත්තම් තව කෙනෙක් සහරාන්ව පාවිච්චි කළාද කියන එක ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් කියනවා මේ Self Motivation එකක් කියලා හැබැයි මම එහෙම හිතන්නේ නැහැ. මම කියන්නේ සහරාන්ව මෙහෙයවපු බලවේගයක් ඉන්නවා. සහරාන් කියන්නෙත් මේ ප්‍රහාරයේ වින්දිතයෙක්. ඊළග කාරණය හිටිහැටියේ කොහෙන්ද මේ නාමල් කුමාර කෙනෙක් මතුවුණේ කියන එක. ඔහු කියනවා ඒ වෙද්දි හිටපු ජනාධිපතිවයි, ඉදිරියේ දී එයි කියලා ඒ වෙද්දි හිතාගෙන හිටපු අපේක්ෂකයාවයි ඝාතන කුමන්ත්‍රණයක් ගැන. ඒ තුළ රට තුළ අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවෙනවා. සහරාන් සම්බන්ධයෙන් සිදුවෙමින් තිබු විමර්ශනවලට බාධා එල්ල වෙනවා. එතකොට කව්ද ඔය කියන නාමල් කුමාර පිටුපස හිටියේ. අන්න ඒවයි අපි සොයන්න ඕනේ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
” ස්වාමිනි තවත් දෙයක්. ඔය කාලේ වෙද්දි එවකට හිටපු ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය මර්දනය සඳහා විශාල වැඩපිළිවෙළක් ගෙනයමින් විශාල කිර්තියක් අත්කරගෙන හිටියා. නමුත් මේ පාස්කු ප්‍රහාරය නිසා හිටපු ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයකට තරග කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා ගෙදර යන්න වෙනවා. මට තියෙන ප්‍රශ්නය කාටද අවශ්‍ය වුණේ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපතිකමෙන් ඉවත් කරලා. තව කෙනෙක්ව එතනට ගෙන එන්න. කාටද අවශ්‍ය වුනේ තවත් කෙනෙක්ට එතනට එන්න වටපිටාව හදන්න. අන්න ඒකයි පාස්කු ප්‍රහාරයයි අතර තියෙන සම්බන්ධයත් සොයා බලන්න ඕනේ. ඊළඟ කරුණ තමයි පූජිත් ජයසුන්දර මහත්මයා කියලා තිබ්බා ඉන්දියාවෙන් ලැබුණු බුද්ධි තොරතුර කෙරෙහි ඔහුගේ විශේෂ අවධානය යොමු නොවුනේ ලංකාවේ බුද්ධි අංශ ඒ පිළිබදව තමාගේ කියලා තොරතුරක් දුන්නේ නැති හින්දා කියලා. එතකොට මට අහන්න වෙන්නේ අපේ බුද්ධි අංශවත් දන්නේ නැති ප්‍රහාරයක් ගැන විදෙස් බුද්ධි අංශ කොහොමද කිව්වේ හෙට මෙහෙම ප්‍රහාරයක් වෙනවා, මේ ස්ථානවලට ගහනවා කියලා. ඔවුන් කොහොමද කිව්වේ අද මෙන්න මේ වෙලාව ඇතුළට ගහනවා කියලා. ඒ කියන්නේ අපේ රට තුළ අපිත් දන්නේ නැතුවම විදෙස් බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තියෙනවා. පස්සෙයි අපි දන්නේ ඒකත් ඉන්දියාවෙන් කියලා. මෙහෙම තත්ත්වෙක අපි දන්නවාද තව බුද්ධි අංශ කියක් මේ රටේ අපිටත් නොදැනුවත්වම ක්‍රියාත්මක වෙනවද කියලා. අපි කොහොමද දන්නේ තව බෝම්බ කියක් පිපිරෙයිද කියලා. 2015 වර්ශයෙන් පස්සේ මේ රටේ ආණ්ඩු මාරු කළේ ජනාධිපතිවරු වෙනස් කළේ විදේශ බලවේග. ඊට කළින් කොහොමද කියලා මම දන්නේ නැහැ. හැබැයි 2015 ඉදලා එහෙමයි. ඒ කියන්නේ ඒ වගේ දෙයක් දැන් වුනත් ඕනෑම අවස්ථාවක වෙන්න පුළුවන්. මේ දැන් ඉන්න ජනාධිපතිවරායාව වුනත් විදේශ බලවේගයකින් මාරු කරන්න පුළුවන්. ස්වාමිනි මම කියන්නේ මෙන්න මේ කියපු දේවල් ගැන සොයන්න. කාදිනල්තුමන් විමර්ශන හරියට වෙන්නේ නැහැ කියන්නේ මේ නිසා වෙන්න ඇති. මම කියන්නේ සහරාන් කියන්නෙත් මේ ප්‍රහාරයෙක් වින්දිතයෙක්. කවුරුන් හෝ ඔහුව පාවිච්චි කළා. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, පූජීත් හේමසිරි ඔය ඔක්කෝගේම අතින් අත්වැරදීම් වෙන්න පුළුවන්. හැබැයි ඔය ඔක්කෝම මේ ප්‍රහාරයේ වින්දිතයෝ පමණයි. මෙතන ඊට වඩා මෙහෙයවපු කෙනෙක් ඉන්නවා ඒ ගැන සොයන්න.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සාක්ෂි ලබාදුන්නේය.






















