කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්.
විබෞද්ධකරණයට එරෙහිව එක්ව නැගී සිටිමු !
පෙරහර ආරක්ෂා කිරීමේ සංශෝධන
1. I වැනි කොටස
1 වැනි පරිච්ඡේදය, 2 වැනි පරිච්ඡේදයන්හී සඳහන් පරිදි පෙරහර සඳහා සහභාගී වන අලින්ගේ සුභ සාධනය සම්බන්ධයෙන් 39 වැනි සහ 40 වැනි වගන්ති අදාළ නොවිය යුතුය. උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 27(11) වගන්තිවලට අනුකූලව, පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව සහභාගී වන අලින්ගේ සුභ සාධනය තහවුරු කරන අතරම, පෙරහර සංවිධානය කිරීම සහ පැවැත්වීමේ චාරිත්‍ර ආරක්ෂා වන බව තහවුරු කිරීම සඳහා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක හිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිපාණන් වහන්සේ, අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේගේ සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ එකඟතාවය ඇතිව අමාත්‍යවරයාට අලින්ගේ සුභ සාධනය සම්බන්ධයෙන් නීති සහ රෙගුලාසි සෑදිය හැක.
1956 අංක 2 සහ 1961 අංක 26 දරන පනත්වලට අනුකූලව, උඩරට ගිවිසුම (Kandyan Convention) ව්‍යවස්ථාපිත පනත් සම්පාදනයේ (Legislative Enactments) සංශෝධිත මුද්‍රණයන්හි අඩංගු කර ඇත.
12 වන වගන්තියට අනුව මෙම ග්‍රන්ථවල අඩංගු සියලුම පනත්, ආඥාපනත් ආදිය නීතිය ලෙස සලකනු ලැබේ. එම නිසා, 5 වැනි වගන්තිය ඇතුළුව උඩරට ගිවිසුමේ අදාළ කොටස් නීතිය වේ.
2. එකී රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය.
3. 30 (1)(b) වගන්තිය පහත සඳහන් කොටස් එකතු කිරීම මගින් සංශෝධනය කළ යුතුය:
vii – දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ නියෝජිතයෙකු.
viii – මහානායක හිමිපාණන් වහන්සේලා සතර නම විසින් නිර්දේශ කරනු ලබන සත්ව සුභසාධනය පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයින් 04 දෙනෙකු.
4. 1 සහ 2 ඡේදවල සඳහන් යම් රෙගුලාසියක් කඩකරනු ලබන ඕනෑම තැනැත්තෙකුට හෝ සංවිධානයකට හෝ අදාළව 39 වැනි වගන්තිය බලපැවැත්විය යුතුය.
සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු
5. සත්ව සුභ සාධන පනත් කෙටුම්පත මගින් ආලේපන (Cosmetics) පරීක්ෂා කිරීම සඳහා සතුන් භාවිත කිරීම (13 වන වගන්තිය), වරාය සිට කුකුළන්/ගෘහාශ්‍රිත පක්ෂීන් ප්‍රවාහනය කිරීම (19 (d) වගන්තිය) සහ නියමිත ක්‍රියාපටිපාටීන්ට අනුකූලව ඖෂධ හෝ ආලේපන පරීක්ෂා කිරීම හෝ සඳහා සතුන් භාවිත කිරීම (19 (e) වගන්තිය) නිදහස් කර ඇත. අනෙක් අතට, නවසීලන්තයේ 1999 සත්ව සුභසාධන පනතේ 6 වැනි කොටස පර්යේෂණ, පරීක්ෂණ සහ ඉගැන්වීම් සඳහා සතුන් භාවිත කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන අතර, එහි සුභසාධන කමිටුවට අමතරව “සත්ව සදාචාර කමිටුවක්” (Animals Ethics Committee) ද ඇත. 22 වැනි වගන්තිය යටතේ සතුන් ප්‍රවාහනය කිරීමේ නීතිය කුකුළන්/ගෘහාශ්‍රිත පක්ෂීන්ට ද අදාළ වේ.
මස්කඩකරුවන් විසින් සතුන් ඝාතනය කිරිම ආදිය මේ පනතේ විධිවිධාන වලින් බැහැර කර ඇත.
6. නවසීලන්ත සත්ව සුභසාධන පනතේ පහත සදහන් වගන්ති මේ පනත් කෙටුම්පතට ඇතුළත් කර නැත.
28 වැනි වගන්තිය – සතුන්ට සප්‍රාණිකව/චේතනාන්විතව වද හිංසා පැමිණවීම (Wilful ill-treatment of Animals)
28 A වැනි වගන්තිය – සතුන්ට නොසැලකිලිමත් ලෙස වද හිංසා පැමිණවීම (Reckless ill-treatment of animals)
29 වැනි වගන්තිය – තවත් වැරදි (Further offences)
7. මේ පනත් කෙටුම්පත සහ සත්ත්ව පනත (Animal Act) අතර ඇති අන්තර් සබඳතාවය පැහැදිලි නැත. රජය විසින් සතුන් (සංශෝධන) පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර ඊට පහත දෑ ඇතුළත් වේ:
(i) සතුන් මැරීම සහ අයින් කිරීම සම්බන්ධයෙන් වන පනතේ II වැනි කොටසට එළුවන්, ඌරන් සහ බැටළුවන් ඇතුළත් කිරීම.
(ii) IV වැනි කොටසේ සතුන් පිළිබඳ විස්තරාත්මක අර්ථකථනයට බැටළුවන්, එළුවන්, ඌරන් හෝ කුකුළන්/ගෘහාශ්‍රිත පක්ෂීන් හෝ ඇතුළත් කර ඇත. මේ කොටස යටතේ, වගා කරන ලද හෝ පෞද්ගලික ඉඩමක හිමිකරුවෙකුට සහ අයිතිකරුවෙකුට හෝ රජයේ ඉඩම් සම්බන්ධයෙන් රජයේ ඒජන්තවරයාට එවැනි ඉඩමකට අතික්‍රමණය වන (අනවසරයෙන් ඇතුළු වන) ඕනෑම සතෙකු අල්ලා තබා ගැනීමට බලය ඇත. 22 සහ 23 වැනි වගන්ති යටතේ, තමන්ගේ ඉඩම්වලට නිරන්තරයෙන් අනවසරයෙන් ඇතුළු වීමට පුරුදු වී සිටින සතෙකුට වෙඩි තැබීමට ඕනෑම අයෙකුට අවසර ලබා දෙයි.
8. මේ පනත් කෙටුම්පත මගින්, මරණයට කැපකරන සතුන්ගේ පීඩාව සහ වේදනාව අවම කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන EU කවුන්සිලයේ (EC) No. 1099/2009 නියාමනයේ අදාළ වගන්ති ඉවත් කර ඇත.
පරමාර්ථ
9. මෙය NPP ආණ්ඩුවේ පෙරහර පැවැත්වීම අඩපණ කිරීම එකම අරමුණ කරගත් අසම්පූර්ණ පනත් කෙටුම්පතකි. එය මාලිමා රජයේ විබෞද්ධකරණ වැඩපිළිවෙලෙහි ප්‍රධානතම ව්‍යාපෘතියක් වෙයි.
සත්ව සුභසාධන සැලසීමේ ආඥා පනත 2026 ජූලි මස 17 වෙනි දින ගැසට් පත්‍රයේ පළ කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධවයි.
මෙම ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ,
1. 1815 ගිවිසුම සහ දළදා වහන්සේගේ ආරක්ෂාව යටතේ,
1815 උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය මගින් “බුද්ධාගම, දේවාල සහ ඒවායේ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරන බවට” ඉංග්‍රීසීන් පොරොන්දු වුණා. ඒ අනුව මුල් කාලයේදී දළදා වහන්සේගේ භාරකාරත්වය සහ පෙරහැර පැවැත්වීමේ වගකීම ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ පැවැතුණා.
1828 දී ශ්‍රී ලංකාවේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රී රොබට් බ්‍රවුන්රිග් සහ ශ්‍රී එඩ්වඩ් බාන්ස් ගේ කාලයේ ඉතා උත්කර්ෂවත් ලෙස දළදා ප්‍රදර්ශනයක් සහ පෙරහැරක් පවත්වනු ලැබුවා.
ඉංග්‍රීසීන්ගේ පාලන කාලයේදීත් පෙරහැරේ ප්‍රධානතම කාර්යය වූ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම සිදුකළේ පූර්ණ රාජකීය ලක්ෂණ සහිත හස්තීන් විසින්මයි.
20 වැනි සියවසේ මුල් භාගයේදී (ඉංග්‍රීසි පාලන සමයේ) වසර 50 කට ආසන්න කාලයක් අඛණ්ඩව දළදා කරඬුව වැඩම කරවනු ලැබුවේ සුප්‍රකට “රාජා” (මහනුවර මාලිගාවේ රාජා) ඇතා විසිනි. (රාජා ඇතා 1937 දී මාලිගාවට පූජා කරන ලද්දේ ඉංග්‍රීසි පාලන සමයේදීය).
2. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ ගෞරවය
ඉංග්‍රීසි පාලකයින් ආරම්භයේදී බුද්ධාගම කෙරෙහි යම් යම් බාධා කළත්, පෙරහැරේ ගාම්භීරත්වය සහ අලි ඇතුන් සරසා තිබූ අන්දම දැක මහත් සේ විමතියට පත් වුණා.
1828 ශ්‍රී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේ පැවැත්වුණු දළදා ප්‍රදර්ශනයේදී සහ පෙරහැරේදී අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් අලංකාර ලෙස සරසා ගමන් කරවූ බවත්, එය නැරඹීමට ආණ්ඩුකාරවරයා ඇතුළු ඉංග්‍රීසි නිලධාරීන් එක්වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.
ඉංග්‍රීසීන්ගේ පාලනය පැවැතියත්, අලි ඇතුන් සැරසීම (ඇත් ඇඳුම් ඇන්දවීම), පෙරහැරේ ගමන් කරවීම සහ අලින් පාලනය කිරීම සිදුකළේ පරම්පරාවෙන් එන සිංහල ඇත්ගොව්වන් සහ පණික්කයන් විසිනි. පෙරහැරේ අලින්ගේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා රාජකීය පාරම්පරික ශිල්පීන් කටයුතු කළා.
සංක්ෂිප්තව පැවසුවොත්, ඉංග්‍රීසි පාලකයින් රට පාලනය කළද, දළදා පෙරහැරේ මූලික සංස්කෘතිකාංගයක් වූ අලි ඇතුන් පෙරහැරේ ගමන් කරවීමේ පාරම්පරික චාරිත්‍රයට කිසිදු හානියක් සිදු නොවී එය අඛණ්ඩව ඉදිරියටම පවත්වාගෙන යාමට හැකි වුණා.
(ගෘහස්ථ අලි සහ හීලෑ කරන ලද අලි හිමියන්ගේ සංගමය – Owners of Domestic and Tamed Elephants Association)
1958 හදිසි නීති අවස්ථාවේදී පෙරහැර පැවැත්වීම සඳහා II වන එලිසබෙත් මහ රැජින කෙළින්ම මැදිහත් වූයේ නැත.
එම අභ්‍යන්තර දේශපාලන හා ආරක්ෂක තීරණය සම්පූර්ණයෙන්ම ගනු ලැබුවේ එවකට ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා වූ සර් ඔලිවර් ගුණතිලක මහතා සහ අගමැති එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඇතුළු ලංකා රජය විසිනි.
කෙසේ වෙතත්, මහ රැජින සහ දළදා පෙරහැර/මාලිගාව අතර පැවැති සැබෑ සම්බන්ධතාවය පැහැදිලි කරන වැදගත් කරුණු කිහිපයක් මෙන්න:
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත තත්ත්වය
1954 සිට 1962 දක්වා සර් ඔලිවර් ගුණතිලක මහතා සේවය කළේ ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා (Governor-General) ලෙසයි.
1948 දී ලංකාවට ඩොමීනියන් නිදහස ලැබීමෙන් පසු, බ්‍රිතාන්‍ය මහරැජින ලංකාවේ නාමික රාජ්‍ය නායිකාව වුවද, රට ඇතුළත එදිනෙදා පාලන තීරණ, හදිසි නීති පැනවීම් හෝ සංස්කෘතික උත්සව පැවැත්වීම සම්බන්ධ තීරණ ගනු ලැබුවේ අග්‍රාණ්ඩුකාරවරයා සහ ලංකා අමාත්‍ය මණ්ඩලය විසිනි.
එම නිසා 1958 අර්බුදයේදී මහරැජිනගෙන් නියෝග ලබාගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැත.
2. මහ රැජින වෙනුවෙන් පැවැත්වූ විශේෂ දළදා පෙරහැර (1954)
1958 සිදුවීමට වසර හතරකට පෙර, එනම් 1954 අප්‍රේල් මාසයේදී II වන එලිසබෙත් මහ රැජින සහ ෆිලිප් කුමරු ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත විය.
ඇගේ සංචාරය වෙනුවෙන් සාමාන්‍යයෙන් ඇසළ මාසයේ (ජූලි/අගෝස්තු) පැවැත්වෙන ඇසළ පෙරහැරට අමතරව, අප්‍රේල් මාසයේදී විශේෂ රාත්‍රී දළදා පෙරහැරක් සංවිධානය කර පවත්වන ලදී.
මහ රැජින මහනුවර මාලිගා පත්තිරිප්පුවේ සිට එම විශේෂ දළදා පෙරහැර නැරඹූ අතර, එය ඇගේ ලංකා සංචාරයේ විශේෂම මතක සටහනක් විය.
3. 1958 දී රැජිනගේ මැදිහත්වීමක් ගැන කතාවක් ආවේ ඇයි?
සර් ඔලිවර් ගුණතිලක මහතා බ්‍රිතාන්‍ය කිරීටය සහ රැජින සමඟ ඉතා සමීප රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් පැවැත්වූ පුද්ගලයෙකි.
එමෙන්ම 1958 දී පෙරහැර නොපවත්වා සිටීමට මහානායක හිමිවරුන් තීරණය කළ අවස්ථාවේදී, “රටේ ආගමික හා සංස්කෘතික චාරිත්‍ර ඉටුකිරීමට රජය අපොහොසත් වීම මුළු ලෝකය හමුවේ (විශේෂයෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් හමුවේ) රටට සිදුවන ලැජ්ජාවක්” බව සර් ඔලිවර් පෙන්වා දුන්නේය. රැජිනගේ නම හෝ බ්‍රිතාන්‍ය සමග පැවැති සම්බන්ධතාවය වක්‍රව භාවිත වන්නට ඇත්තේ එවැනි රාජ්‍ය තාන්ත්‍රික පසුබිමක් තුළය.
සංක්ෂිප්තව පැවසුවොත්, 1958 පෙරහැර අර්බුදය විසඳීමේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ සර් ඔලිවර් ගුණතිලක මහතාට සහ එකල උභය මහා විහාරීය මහානායක හිමිවරුන්ටය.
ඉහත ඉතිහාසයට අනුව මෙම ගැසට් නිවේදනය පරිදි පාර්ලිමේන්තුවට ගෙනෙනු ලබන පනත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වන පරිච්ඡේදයේ 9 වන වගන්තිය,
“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.“
සහ මූලික රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම යටතේ 27 (11) වගන්තියේ “ආගම අදහන කවරෙකුට වුවද ස්වකීය ආගමික ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ආර්ථික හා සාමාජ පරිසරය රජය විසින් ඇති කළ යුත්තේ ය” යනුවෙන් සඳහන් වී ඇත.
ඒ අනුව මෙම ගැසට් නිවේදනයේ සඳහන් කරුණු කාරණා අනුව සෑම බෞද්ධයෙක්ම මේ ගැන කල්පනාවෙන් සිටිය යුතුය.
මෙවන් පාලනයක් යටතේ සත්ව සුභසාධන සැලසීම කෙසේ වෙතත්, මනුෂ්‍ය සුභසාධනය බරපතල තත්ත්වයකට පත්වී ඇති අවස්ථාවක මෙම පනත මගින් විශේෂයෙන් ගෘහස්ථ අලි, එමෙන්ම හීලෑ කරන ලද අලි අපේ ඉතිහාසය අනුව, අපේ සංස්කෘතිය අනුව, අපේ බෞද්ධ දර්ශනය අනුවත් මෙම අණ පනත් වලින් ඈත අතීතයට ගමන් කරන සත්වයන්ටද මෛත්‍රිය, කරුණාව, දයාව බුදුන් වහන්සේ විසින් අවුරුදු 2500කට ඉහත දී දේශනා කර ඇත.
මෙවන් පරිසරයක් තුළ විවිධ රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවේ සංස්කෘතියට හානි වන ආකාරයේ කුමන පනත් ගෙන ආවත්, ඒ ගැන ශ්‍රී ලාංකික බෞද්ධයන් අවදියෙන් සිටිය යුතුය.
මෙම පනතේ සඳහන් කරුණු අනුව ගෘහස්ථව ඇති කරන සියලු සතුන්ටත්, පොඩි ළමුන් විසින් සුරතලයට ඇති කරන සියලු සතුන්ටත්, එමෙන්ම ව්‍යාපාර සඳහා සුරතල් මසුන් ඇති කිරීමේ අවස්ථාවටත් ප්‍රශ්න ගණනාවක් පැන නැගීම වළක්වා ගත යුතුය.
එම සතුන් ආරක්ෂිතව, සුරක්ෂිතව කෙසේද ක්‍රියා කරන්නේ යන්න ; ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉතිහාසයටත්, සංස්කෘතියටත් හානි නොවන පරිදි කටයුතු කළ යුතුව ඇත.
කෙසේ හෝ විශේෂයෙන් හීලෑ කරන ලද අලි සහ ගෘහස්ථ අලියන් මෙම පනතින් නිදහස් කළ යුතුය. එසේ නොවන්නේ නම් අවුරුදු 2500ක ඉතිහාසයේ අපේ ජාතක කතාවලත් සඳහන් වන, විශේෂයෙන් අපේ සංස්කෘතියේදී පෙරහැර සඳහා භාවිතා කරන අලින් පිළිබඳව ඉතා කල්පනාවෙන් ක්‍රියා කළ යුතුය.
ඒ අනුව මෙම අවස්ථාවේදී විශේෂයෙන් සමස්ත ශ්‍රී ලාංකික ගරුතර මහා සංඝරත්නයත්, එමෙන්ම මෙම උපදේශක සභාවේ විශේෂයෙන් මහනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ දර්ශනයටත්, බෞද්ධ පෙරහැර සංස්කෘතියටත් අදාළ සියලු දෙනා මේ කෙරෙහි විශේෂ අවධානය යොමු කර ක්‍රියා කළ යුතුව ඇත.
මෙවන් තත්ත්වයක් ඇතිවීම ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ බෞද්ධ දර්ශනයට හානි වන බව ප්‍රකාශ කරමි.
මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා
මේ ආණ්ඩුව හැමදාමත් කළේ නංගිව පෙන්නලා ආච්චිව දීපු එක. අපි අහලා තියෙන්නේ නංගි පෙන්නලා අක්කා දෙනවා කියලා උනාට මෙයාලා කරන්නේ නංගී පෙන්නලා ආච්චිව දෙන එක. මොකද මේ ආය බලයට ආවේ හොරු අල්ලනවා කියලා. නමුත් මේ අය දැන් හදන්නේ ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතිය නැති කරන්න වැඩසටහන් හදන එක.
ඒ අනුව මේ ආණ්ඩුව දැන් කරන්න යන අලුත්ම වැඩේ තමයි සත්ව සුභ සාධන පනතක් ඉදිරිපත් කරන එක. මේ හරහා අපි දකින විදිහට මොවුන් උත්සාහ කරන්නේ අපේ රටේ පෙරහර සංස්කෘතිය අතුගා දාලා බෞද්ධයින්ගේ චාරිත්‍ර වාරිත්‍ර නැති කරලා දාන එකයි. ඒ වගේම කියන්න ඕන මේක සම්පූර්ණයෙන්ම සැඟවුණු අරමුණු තිබෙන පනතක්. මෙහි සඳහන් වෙලා තිබෙන හැම එකකම වගේ නිර්නායක ඉදිරිපත් කරලා නැහැ. ඒකෙන්ම තේරෙනවා මේ ආණ්ඩුව මේ ගමන් කරන්නේ බෞද්ධයින්ගේ සංස්කෘතිය සහ ඇදහිලි වෙනස් කරන්න කියලා.
මෙම මාධ්‍ය හමුවේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික පසිඳු ගුණරත්න මහතාද අදහස් දැක්වූහ.






















