පොලිස් මෙහෙයුමක් අතරතුර ඇතිවූ සිද්ධියකින් සැකකරුවෙක් මරුට
පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
“පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන්. ඔහු මංකොල්ලකෑම් කිහිපයකටත් සම්බන්ධ සැකකරුවෙක්. එම සැකකරු වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි පුද්ගලයෙක්. අද අලුයම මෙම සැකකරු සමග යම් මෙහෙයුමක් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී ඇති වූ සිද්ධියකදී මෙම සැකකරු රෝහල්ගත කිරීමකදී මියගොස් ඇති බවට වාර්තා වුණා. මෙම සැකකරු විසින් කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරියෙක් තුවාල ලැබුවා.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇති පරිදි, ගංජා ජාවාරම පිළිබඳව පොලීසියට තොරතුරු දුන් සිවිල් පුද්ගලයෙකුගේ දෑත් දෙපා කැපූ මෙම සැකකරු පොලිස් වෙඩිපහරින් මරණයට පත්වී තිබේ.
අදාළ සැකකරුට ගම්පහ මහාධිකරණයේ නඩු 2ක්, මාරවිල මහාධිකරණයේ නඩුවක්, ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විහාග වෙමින් පවතින බවද වාර්තා වේ.






















