බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මිල සූත්‍රයට අනුව බස් ගාස්තු සංශෝධනය කිරීමට නම්, අවම වශයෙන් රුපියල් 35කින් ඩීසල් ලීටරයක මිල අඩු විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
එම නිසා බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට නෛතික හැකියාවක් නැති බව ත් නිශ්චිත තීන්දුවක් ගැනීමට දින දෙකක කාලයක් අවශ්‍ය බව ත් සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
අද (ජනවාරි 3) නුගේගොඩදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
“බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මිල සූත්‍රයේ තිබෙන ප්‍රතිශතය 4%ක්. ඒ නිසා බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට නෛතික හැකියාවක් නැහැ. නමුත් බස් හිමියන්ගේ කැමැත්ත තිබෙනවා නම් ඒ සහනය ජනතාවට ලබා දෙන්න පුළුවන්.
නමුත් මේ වන විට අනිත් පිරිවැයන් වැඩි වී තිබෙනවා. අමතර කොටස් හා ටයර් මිල වැඩි වී තිබෙනවා. ඒ සඳහා කිසිදු සහනයක් මේ වන තෙක් ලැබී නැහැ. ඒ වගේ ම බස් රථවල නඩත්තු කටයුතු සිදු වෙන්නේ විදුලියෙන්. එම නිසා විදුලි බිල ත් අපිට බලපානවා. නමුත් අපි හදිස්සි වෙන්නේ නෑ. ජනතාවට සහනය දෙන්න අපි සූදානම්.
අමතර කොටස් මිල අඩු කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් නිශ්චිත වූ සාකච්ඡාවක් ලබා දිය යුතුයි. ඒ වගේ ම බස් හිමියන්ගෙනුත් අවසර ලබා ගත යුතුයි. ඒ නිසා නිශ්චිත තීන්දුවක් ගැනීමට දින දෙකක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලනවා. නමුත් බස් ගාස්තු අඩු කිරීමට මේ වන තෙක් නෛතික හැකියාවක් නැහැ. ඉන්ධන මිල සූත්‍රයකුත් තිබෙනවා. ඉන්ධන මිල සූත්‍රයට අනුව ලබන මාසයේ නැවත ඩීසල් මිල වෙනස් වුවහොත් කරන්නේ කුමක් ද, ඩීසල් මිල ගැන නිශ්චිතව කියන්න බැහැ. ඩීසල් මිල නිශ්චිත නැහැ.
අපි කිසි ම අවස්ථාවක අත්තනෝමතිකව කටයුතු කර නැහැ. බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ රාමුවෙන් පරිභාහිරව අපි කිසි විටක කටයුතු කර නැහැ. ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝණය වුණොත් එහි ප්‍රතිවිපාකය බරපතළයි.”






















