Wednesday, September 16, 2026
HomeNEWSමහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න...

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්.

දැන් මේ වන විට ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරය පවත්වාගෙන යනවා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාව පිළිබඳ සවිස්තර වාර්තාවක් ඒ සැසිවාරයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වාර්තාවේ ඉතාමත් බරපතල චෝදනා ශ්‍රී ලංකාවට විරුද්ධව එල්ල කරලා තිබෙනවා. දැන් එයට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය මෙයයි,

ශ්‍රී ලංකාවේ නියෝජිතයා මේ සමුළුවට කියන්නේ, “ඕනෑවට වඩා බලපෑම් කරන්න එපා.”

දැන් මේ තත්ත්වයට කවුද වගකියන්න ඕනේ? කොතනද වරද තියෙන්නේ?

ශ්‍රී ලංකා රජය පොරොන්දු වෙලා තිබෙනවා ජාත්‍යන්තරයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින්, ඒ වෙනුවට අලුත් පනතක් ඉදිරිපත් කරනවා කියලා. රජය බොහොම පැහැදිලිව පිළිඅරන් තිබෙනවා මේ පනත සාධාරණීකරණය කරන්න බැහැ කියලා. මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කිසිසේත් පුළුවන්කමක් නැහැ මේ පනත යටතේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීතිගත වුණේ 1979 දී. එනම් කියන්නේ අවුරුදු 47 කට පෙරයි. ඒ පනත සෑම පැත්තෙන්ම දැඩි විවේචන වලට ලක් වෙලා තිබෙනවා. එතකොට රජය පිළිගත්තා මේක තවදුරටත් ක්‍රියාත්මක කිරීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ, අපි මේක වෙනස් කරනවා කියලා පොරොන්දු වුණා. එතකොට ඒ පොරොන්දුව ඉෂ්ට කරනා තුරු ජාත්‍යන්තරය බලා සිටිනවා.

2025 දෙසැම්බර් මාසයේ දී අධිකරණ ඇමතිවරයා අලුත් පනතක් ඉදිරිපත් කළා. ඒ පනත 79 පනතටත් වඩා භයානක පනතක් කියලා සෑම දෙනාගේම විවේචනයට භාජනය වුණා. ඒක කිසිසේත් පිළිගන්න බැහැ කිව්වා. එතකොට රජයේ ප්‍රතිචාරය වුණේ මොකක්ද? රජය ප්‍රකාශ කළා, “ඔව් අපි පිළිගන්නවා. මේ අපි ඉදිරිපත් කරලා තියෙන අලුත් පනත සුදුසු පනතක් නොවෙයි.” ඒ නිසා ඒක ඉල්ලා අස් කරගන්නවා කියලා. මේ රජය 2025 දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරපු අලුත් පනත, 1979 ත්‍රස්තය වැළැක්වීමේ පනත වෙනුවට වර්තමාන රජය යෝජනා කරපු අලුත් පනත කිසිසේත් ගැලපෙන්නේ නැහැ, පෙර තිබුණු පනතට වඩා නරකයි කියලා රජය එක හෙළා පිළිගනිමින් ඒක ඉවත් කරගනු ලැබුවා. එලෙස ඉවත් කරගෙන කිව්වා, “නැහැ, මේ වෙනුවට අපි තවත් පනතක් ඉදිරිපත් කරනවා” කියලා.

එතකොට ගිය මාසේ, ඒ කියන්නේ 2026 අගෝස්තු මාසයේ කැබිනට් මණ්ඩලය අලුත් පනතක් සම්මත කළා කියලා රජය නිවේදනයක් නිකුත් කළා. නමුත් අද වනතුරු මේ රටේ කිසිම කෙනෙක් දන්නේ නැහැ මොකක්ද ඒ පනත, එහි අන්තර්ගතය මොකක්ද, ඒ පනතේ තියෙන වගන්ති මොනවාද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. කිසිම සංවාදයක් නැහැ, සාකච්ඡාවක් නැහැ, මුකුත් නැහැ.

ඒ කියන්නේ මේ පනත ගැන උනන්දුවක් දක්වන අපේ රටේ නීතිඥ සංගමය, සිවිල් සමාජය, වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල කිසිම කෙනෙක් එක්ක සංවාදයක් නැහැ. 2025 දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරපු සම්පූර්ණයෙන්ම අසාර්ථක පනතක්. ඒ පිළිබඳව මම සවිස්තර විග්‍රහයක් කළා. ඒක සියලුම පුවත්පත්වල පළ වුණා. ඇයි ඒ තත්ත්වය උදා වුණේ? ඒ තත්ත්වය උදා වුණේ කිසිම විනිවිදභාවයක්, විවෘතභාවයක් නැතුව. කිසිම කෙනෙකු සමඟ සාකච්ඡා කරන්නේ නැතිව, සමාජයේ ඒ පිළිබඳව තිබිච්ච මත කිසිසේත් සැලකිල්ලට භාජනය කරන්නේ නැතිව, රහසිගතව ඒ පනත සකස් කිරීමට උත්සාහ දරපු නිසා තමයි ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අසාර්ථක වූයේ.

දැන් කරන්නේත් ඒ විදියේම දෙයක්. එතකොට 2025 දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරපු පනතට අයත් වෙච්ච ඉරණම මේ අලුත් පනතටත් අයත් වීමේ විශාල හැකියාවක් තිබෙනවා.

එතකොට දැන් මොකක්ද තත්ත්වය? දීපු පොරොන්දු කඩ කරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බලා සිටිනවා ශ්‍රී ලංකා රජයම දීපු පොරොන්දුව අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන, නවීන සමාජයකට අනුකූල අලුත් පනතක් රජයම දීපු පොරොන්දුව අනුව ඉදිරිපත් කරයි කියලා. හැබැයි ඒක කෙරිලා නැහැ.

එතකොට ඒ නිසා තමයි මේ විදියේ දරුණු විවේචන ශ්‍රී ලංකාවට විරුද්ධව ජිනීවා නගරයේ මේ අද දැන් පැවැත්වෙන සැසිවාරයේදී ඉදිරිපත් වන්නේ. එතකොට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස්තුමා පෙන්වා දෙනවා 2025 අවුරුද්දේ මේ පනත යටතේ රජයම පිළිගන්නවා මේ පනත හොඳ නැහැ, මේක ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නැහැ කියලා මේ රජය පිළිගන්නවා. එසේ පිළිගනිමින් ගිය අවුරුද්දේ මේ පනත යටතේ රඳවා ගැනීම් 46 ක් කරලා තිබෙනවා. 2026 මේ අවුරුද්දේ මාර්තු මාසය දක්වා රජයම හෙළා දකින එම පනත යටතේ රඳවා ගැනීම් 12 ක් කරලා තිබෙනවා.

ඉතින් මේවා කොහොමද සාධාරණීකරණය කරන්නේ? රජය කියනවා මේ පනත වැරදියි, මේක අපි ඉවත් කරනවා, වෙන පනතක් ගේනවා. කරන්නේ නැහැ. පොරොන්දු වෙනවා, කරන්නේ නැහැ, පොරොන්දුව කඩ කරනවා. අර නරකයි කියලා තියෙන පනත තවදුරටත් ක්‍රියාත්මක කරනවා. එතකොට එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ කොමසාරිස්තුමා කියනවා, “මේ පනත ඉවත් කරගන්න. අලුත් පනතක් ගෙනෙන තෙක් මේ පනත ක්‍රියාත්මක කරන්න එපා. මේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට නිදහස දෙන්න” කියලා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා.

එතකොට ඒ විතරක් නෙවෙයිනේ, පොරොන්දු කඩ කරනවා නම්, ඒ ගැන කතා කරනවා නම් තව පොරොන්දු කීයක් කඩ කලාද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විතරක් නෙවෙයි, ඔන්ලයින් සුරක්ෂිත පනත (Online Safety Act). ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින කාලයේ, ඒ කාලයේ මමත් පාර්ලිමේන්තුවේ හිටියා, වර්තමාන ජනාධිපතිතුමා එක්ක මගේ අසල්වැසියා හැටියට විපක්ෂයේ පාර්ලිමේන්තුවේ අපි හිටියා එකට වාඩි වෙලා, ඒ කාලයේ ඉතාමත් දැඩි ලෙස ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කළා මේ මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act).

“මේ පනත මහා විනාශයක්. කතා කිරීමේ නිදහස නැති වෙනවා. ජනතාවට තොරතුරු ලබා ගැනීමේ නිදහස සම්පූර්ණයෙන් නිෂේධ වෙනවා. මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් අතුගාලා දානවා මේ පනත යටතේ. ඒ නිසා මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය කිසිසේත් අගය කරන සමාජයක නොගැලපෙන පනතක් තමයි මේ ඔන්ලයින් පනත. අපි බලයට ආපු විගස මේ පනත අපි ඉවත් කරනවා. අහෝසි කරනවා. ” කියලා බොහොම පැහැදිලිව කිව්වා.

දැන් අවුරුදු දෙකක් බලයේ නිරත වෙනවා. අද වෙනතුරු ඒ පනත ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට මූලික පියවරක්වත් අරනෙ නැහැ. එතකොට කියනවා මේ ඕනෑවට වඩා බලපෑම් කරන්න එපා. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරයට ඕනෑවට වඩා බලපෑම් කරන්න එපා කියලා. කාගේද වරද? මේ විදිහට අමූ අමුවේ දීපු මූලික පොරොන්දු කිසිම සංවේදී බවක් නැතිව කඩ කරනවා නම්, මොකක්ද බලාපොරොත්තු විය යුතු ප්‍රතිචාරය?

දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් වෝල්ටර් ටර්ක් අපේ රටට ආරාධනා කළා. මේ රජය එතුමාට ආරාධනා කළා. රටට ආරාධනා කළා පමණක් නොවෙයි, එතුමාව උතුරට රැගෙන ගියා. චෙම්මානි සමූහ මිනීවලවල් හාරන තැනට මහා කොමසාරිස්තුමාව රැගෙන ගියා. ඊට පසුව ඇටසැකිලි 583 ක් හම්බුණා කියලා වාර්තා වුණා.

ඊළඟට මොකක්ද? වෝල්ටර් ටර්ක් කියන ඒ නිලධාරියාගේ නිල කාලය තව අවුරුදු තුනක් දික් කරන්න, ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් තනතුරට එතුමා යළි පත් කරලා, තව අවුරුදු තුනක් එතුමාට ඒ ධුරය ලබා දෙන්න කියලා යෝජනාවක් නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාව (General Assembly) යෝජනාවක් ගෙනාවා. එතුමාව තවදුරටත් ඒ තනතුරේ තියන්න ඕනෑ කියලා.

රටවල් 144 ක් ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. රටවල් 144 ක් ප්‍රකාශ කළා එතුමා ඒ තනතුරට බොහොම සුදුසුයි, උචිතයි. ඒ නිසා තව අවුරුදු තුනක් ඒ තනතුරේ සිටීමට අපි කැමතියි කියලා. විපක්ෂව ඡන්දය දුන්නේ රටවල් 10 ක් පමණයි. රටවල් 13 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ වැළකී සිටි රටවල් අතරින් එකක් තමයි ශ්‍රී ලංකාව. ඒ කියන්නේ ශ්‍රී ලංකාව වෝල්ටර් ටර්ක් මැතිතුමා වර්තමාන මහා කොමසාරිස්තුමාට සහයෝගය දුන්නේ නැහැ ඒ තනතුර තව අවුරුදු තුනක් දික් කිරීමට.

මොකක්ද මේ කරන්නේ? මොකක්ද මේ අනුකූලතාවය? එතුමාට ආරාධනා කරනවා. ඊට පසුව ශ්‍රී ලංකා රජය දැඩි උත්සාහයක් දරනවා එතුමා සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න. මේ සියලුම සිද්ධි පිළිබඳව අවබෝධයක් එතුමාට ලබාදීමට උත්සාහ කරනවා. ඇස්පනාපිට පෙන්වන්න හදනවා. ඒ කියන්නේ පුද්ගලික අත්දැකීමක් එතුමාට ලබාදෙන්න මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා රජය දැඩි උත්සාහයක් දරනවා එතුමාව එතැනට ගෙනිහිල්ලා.

ඊට පස්සේ මොකක්ද කරන්නේ? එතුමාට සහයෝගය දක්වන්නේ නැහැ. රටවල් 144 ක් සහයෝගය දක්වනකොට ශ්‍රී ලංකාව ඒ රටවල් 144 ට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකක්ද ඒකේ ප්‍රතිඵලය?

මෙන්න ප්‍රතිඵලය. ‘යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමය.’ කවුද කියන්නේ? මහා කොමසාරිස්තුමා. මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්තුමා ලංකාවට ඇවිල්ලා, චෙම්මානි සමූහ මිනීවලවල් හාරනවා බලලා, අපේ රටේ නියෝජිතයන් සමග, විදේශ ඇමතිතුමා සමග, අනිත් නිලධාරීන් සමග සාකච්ඡා කරලා එතුමා යනවා. ගියාට පසුව එතුමාට සහයෝගයක් ලංකාවෙන් ලැබෙන්නේ නැහැ.

එතකොට එතුමා මෙන්න මේ ප්‍රකාශය කරනවා. ‘යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි. මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි.’  ඒ කියන්නේ එතුමා ඉතාමත් දරුණු විවේචන අපේ රට සම්බන්ධයෙන් කරනවා මානව හිමිකම් අමූ අමුවේ උල්ලංඝනය කරනවා කියලා.

මේ විදිහට රටක විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන්න පුළුවන්ද? අද එකක් කරනවා, හෙට තව එකක් කරනවා. කිසිම අනුකූලතාවයක් නැහැ. දැන් සැකයක් තිබෙනවා, මානව හිමිකම්  කොමසාරිස්තුමාගේ ධුරය, අලුත් ධුරයක් තව ඒ ධුරය දීර්ඝ කිරීමට යෝජනාව ඉදිරිපත් වූ පසු ඇයි ශ්‍රී ලංකාව ඒකට සහයෝගය නොදුන්නේ? විදේශ ඇමතිවරයා තීරණයක් ගත්තාද එහෙම නැත්නම් මේක වැරදීමක්ද?

මොකක් හරි වැරදීමක් නිසා, පණිවිඩ හුවමාරු හරි විදිහට නොවුනු නිසා ශ්‍රී ලංකාව එතුමාට සහයෝගය නොදුන්නාද කියන ප්‍රශ්නය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවෙලා තිබෙනවා. එහෙමනම් එතුමාට සහයෝගය නොදුන්නා නම් මොකක්ද ඒකට හේතුව? සහයෝගය නොදුන්නා නම් ඇයි එතුමාට ආරාධනා කළේ? ආරාධනා කලා නම් ඇයි චෙම්මානි ගෙනගෙියේ? එහෙම ගෙනගොස් ඊට පසුව ඇයි මෙහෙම තීරණයක් ගත්තේ?

ඉතින් මේවා බරපතල ප්‍රශ්න. මෙහෙම යනකොට අගතියට පත්වන්නේ මේ රජය නෙවෙයි, ඇමතිවරු නෙවෙයි, මේ රටේ ජනතාව. එතකොට දැන් පොරොන්දු කඩ කරනවා නම්, මේ සියල්ලක්ම වෙන්නේ කාගේ වරද නිසාද? දැන් කියන්නේ, ‘ඕනෑවට වඩා බලපෑම් එපා.’ මේ බලපෑම් සාධාරණ බලපෑම්ද?

එතකොට පොරොන්දු දිගින් දිගටම, එක පොරොන්දුවක් නෙවෙයි, පොරොන්දු වැලක්, පෙරහැරක් වගේ. මේ පොරොන්දු දිගින් දිගටම කඩ කරනවා නම්, කිසිම වගකීමකින් තොරව, එහෙනම් බලාපොරොත්තු විය යුතු ප්‍රතිඵලය කුමක්ද?

දැන් රජය කිව්වා, කාට විරුද්ධවද අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරන්නේ? ලංකාවේ උසාවිවල අපරාධ කලා කියලා කාට විරුද්ධවද චෝදනා ඉදිරිපත් කරන්නේ? ඒ කාර්යය නීතිපතිතුමාට භාර දෙන්න බැහැ. මොකද නීතිපතිතුමා කියන්නේ රජයේ ප්‍රධාන නීති නිලධාරියා.

රජයට විරුද්ධව නඩුවක් ඉදිරිපත් කරපු අවස්ථාවලදී, ජනාධිපතිතුමාට විරුද්ධව හෝ ඇමතිවරයෙකුට විරුද්ධව චෝදනාවක් එල්ල වුණු අවස්ථාවකදී නඩුවක් ගොණුකළාම, ජනාධිපතිවරයා හෝ ඇමතිවරයා වෙනුවෙන් කවුද පෙනී සිටින්නේ උසාවියක? නීතිපතිවරයා.

ඉතින් එහෙනම් නීතිපතිවරයාට මේ කාර්යය භාර දෙන්න බැහැ. කාට විරුද්ධවද නඩු දාන්නේ, කාට විරුද්ධවද සාක්ෂි ප්‍රමාණවත් කියලා ඒ තීරණය ගැනීමේ අභිමතය නීතිපතිවරයාට පැවරීම සුදුසු නැහැ. එතැන ගැටුමක් තිබෙනවා. එම නිසා අලුත් තනතුරක් ස්ථාපිත කරනවා. ඒ කියන්නේ මහජන අධිචෝදනා පිළිබඳ අධ්‍යක්ෂ. වෙනම තනතුරක්.

මේ කාර්යය, කාට විරුද්ධවද නඩු දාන්නේ, කාට විරුද්ධවද නඩු නොදාන්නේ කියන කාරණය පිළිබඳව තීරණය ගැනීමේ අයිතිය නීතිපතිවරයාට දෙන්නේ නැතිව වෙනස් ස්වාධීන නිලධාරියෙකුට, මහජන අධීචෝදනා අධ්‍යක්ෂ කියලා තනතුරක් ඇති කිරීමට රජය පොරොන්දු වුණා. ඒක කළ යුතුයි කියලා ජාත්‍යන්තරයට පොරොන්දු වුණා.

ඒක කළාද? නොකළා පමණක් නෙවෙයි, එසේ කිරීමට ප්‍රථම පියවරක් හෝ මේ දක්වා අරගෙන නැහැ. එතනින් ඉවර නැහැ. කඩවුණු පොරොන්දු වට්ටෝරුව එතනින් ඉවර නැහැ. තව කඩ කරපු පොරොන්දු තිබෙනවා.

මේ රජය කොච්චර කතා කළාද සත්‍යය හා සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභාව ගැන. හැම සතියේ අන්තිමේම කවුරුහරි ඇමතිවරයෙක් උතුරට යනවා, යාපනයට යනවා. ගරු ජනාධිපතිතුමා කිහිප වතාවක් යාපනයට ගිහිල්ලා තිබෙනවා. ඒ ගිය හැම වතාවකදීම කතා කරනවා සත්‍යය හා සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභාව ගැන. පුන පුනා මේ පොරොන්දුව දීලා තිබෙනවා. මොකක්ද ඒ සම්බන්ධයෙන් කරලා තිබෙන්නේ? එහෙම කොමිසමක් පත් කරලා තිබෙනවද? කොමිසමක් පත් කිරීම සඳහා, මූලික අඩිතාලමවත් සකස් කිරීම සඳහා මෙතෙක් දුරට කිසිම උත්සාහයක් දරලා නැහැ. කිසිවක් කරලා නැහැ, බිංදුවයි! ඒ කියන්නේ ගත්තු පියවර ප්‍රමාණවත් නැහැ කියන එක නොවෙයි, කිසිම ආරම්භයක්වත් කරලා නැහැ.

ඉතින් මෙහෙම කරන්න පුළුවන්කමක් නැහැ. අපි කියන්නේ, අහඹුවේ පොරොන්දු දෙන්න එපා. මේවා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරය සමග කරන ගනුදෙනු. සිල්ලර දේවල් නොවෙයි. පොරොන්දුවක් දෙන්න පෙර සිතා බලන්න, මේක ප්‍රායෝගිකද? මේක කරන්න පුළුවන්ද? එලෙස සිතා බලා තමයි ගාම්භීරත්වයක් ඇතිව ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එසේ පොරොන්දුවක් දිය යුත්තේ.

ක්‍රියාත්මක කළ නොහැකි නම් පොරොන්දුව දෙන්න එපා. පොරොන්දුව දුන් පසුව ක්‍රියාත්මක කරන්න. පොරොන්දුව දීලා ඒක අමතක කරන්න බැහැ. මෙන්න මේ විදියට කිසිම වගකීමක් නැතිව, අවබෝධයක් නැතිව, දැනුමක් නැතිව, අත්දැකීම් නැතිව මේ රජය දිගින් දිගටම කටයුතු කරන නිසා තමයි මේ විදිය දුක් විපාක අත්විඳීමට ශ්‍රී ලංකාවේ ජනතාවට අද සිදු වෙලා තිබෙන්නේ.

එතකොට දැන් මේ සියල්ලකම ප්‍රතිඵලය මොකක්ද? මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමාගේ වාර්තාවේ තිබෙන අනිත් කරුණුත් පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ලංකාවට කොච්චර අපකීර්තියක්ද ? අපකීර්තියක් විතරක් නෙමෙයි, කොච්චර බයානක ප්‍රතිඵල සිදුවෙනවද කියලා මොහොතක් සිතා බලන්න.

ඒ වාර්තාවේ තිබෙනවා, 2025දී, ඒ කියන්නේ ගිය අවුරුද්දේ, සාධාරණීකරණය කළ නොහැකි අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම් මේ රටේ 1,125ක් සිදුවෙලා තිබෙනවා. 1,125ක්! සාධාරණීකරණය කරන්න බැරි තත්ත්වයන්වල ඒ පුද්ගලයන් අත්අඩංගුවට අරන් තිබෙනවා ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ අප්‍රේල් මාසය දක්වා 138ක්.

මේ විස්තර අඩංගු වෙනවා මහ කොමසාරිස්තුමා මේ අද ජිනීවා නගරයේ පැවැත්වෙන සැසිවාරයේදී. එතකොට බලන්න බොහොම භයානක දේවල්. එතනින් නැවතෙන්නේ නැහැ, බොහොම භයානක දේවල්.

ඒ වාර්තාවේ තිබෙනවා, 2025දී ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිටින රැඳවියන් 18 දෙනෙකු ඝාතනය කරලා තිබෙනවා කියලා. 2025 අවුරුද්දේ මිනීමැරුම් 18ක්. 2026 මේ අවුරුද්දේ අප්‍රේල් මාසය වනතුරු තුන්දෙනෙක් බන්ධනාගාරවල සිටින රැඳවියන් මරලා දාලා තිබෙනවා කියන එකත්.

දැන් මේක ජාත්‍යන්තර නීතියට අනුව විශාල ප්‍රශ්නයක්. ඒ මොකද, යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට අරන් බන්ධනාගාරයක තබා තිබෙනවා නම්, ඒ පුද්ගලයාගේ ජීවිතය පිළිබඳ කවුද වගකියන්නේ? වෙන කවුරුවත් නොවෙයි, ශ්‍රී ලංකා රජය! මොකද ශ්‍රී ලංකා රජයේ භාරයේ ඒ පුද්ගලයන් සිටින්නේ.

එතකොට ශ්‍රී ලංකා රජයේ භාරයේ සිටින පුද්ගලයන්ගේ ජීවිතය, සෞඛ්‍යය, මානව හිමිකම් පිළිබඳ පූර්ණ වගකීම දැරිය යුත්තේ වෙන කවුරුවත් නොවෙයි ශ්‍රී ලංකා රජය. ඒ තත්ත්වය තුළදී මෙන්න මේ මරණ – තුවාල නෙමෙයි, වදහිංසා කිරීම් නෙමෙයි, මිනීමැරුම් මේ විදියට වුණා කියලා ඒ වාර්තාවේ සඳහන් වෙනවා. Deaths in custody! සිරභාරයේ සිටින විට සිදුවෙලා තිබෙන මරණ පිළිබඳව.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් එහි වෙනම කොටසක් තිබෙනවා. මහ කොමසාරිස්තුමා කියනවා උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වඩා වඩාත් මැදිහත්වීම් එන්න එන්න වැඩි වෙනවා කියලා. කවුරු විසින්ද? අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හා ප්‍රතිත්‍රස්ත විමර්ශන ඒකකය.

ඒ වාර්තාවේ තිබෙනවා මරණ තර්ජන කෙරෙනවාලු ඒ පළාතේ. ව්‍යාජ අපරාධ චෝදනා ඉදිරිපත් කෙරෙනවාලු. ගෙවල්වලට ගොස් හිරිහැර කරනවාලු. විශේෂයෙන්ම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන්, හමුවෙලා ගෙවල්වලට ගොස් ආක්‍රමණය කරලා තර්ජනය කරනවා කියලා මේ වාර්තාවේ සඳහන් වෙනවා.

ඊට අමතරව දැඩි විවේචන තිබෙනවා අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පිළිබඳව. එතන කියනවා, ඒ කාර්යාලයට ස්වාධීන ශක්තිය දෙන්න ඕනෑලු. විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන්නලු. ඒ කාර්යාලයේ වගකීම් විශ්වාසනීය ලෙස ඉෂ්ඨ කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සපයා දෙන්න ඕනෑලු. ඒ කියන්නේ ඒවා නැහැ කියන එකනේ.

නාමමාත්‍රයෙන් එහෙම කාර්යාලයක් තිබෙනවා, අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය. හැබැයි ඒකට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දීලා නැහැ කියලා කියනවා.

එතකොට බොහොම වැදගත් නිගමනයක් ඒ වාර්තාවේ අඩංගු වෙලා තිබෙනවා. සත්‍යය හා වගකීම පිළිබඳ දේශීය යාන්ත්‍රණය ගැන තියෙන විශ්වාසය බොහොම අඩු මට්ටමක කියලා තිබෙනවා.

දැන් බලන්න, ඒකනම් තත්ත්වය, අතුරුදහන් වූ පුද්ගලයන්ගේ කාර්යාලය පිළිබඳව? බලන්න ශ්‍රී ලංකා අධිකරණය ගැන මොකක්ද තත්ත්වය? දැන් අතිගරු ජනාධිපතිතුමා කිව්වා මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව, 22වැනි සංශෝධනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන කාරණය පිළිබඳ තීරණය එනවා කිව්වා. මොනවා වුණත් ඒක නීතිගත කරනවා කිව්වා 24 හා 25 දවස් දෙකේ විවාදයට භාජනය කරලා සම්මත කරනවා කිව්වා.

දැන් 22වැනි සංශෝධනය, ආණ්ඩුව හැර මේ රටේ සියලුදෙනාම දැඩි විවේචනයකට භාජනය කරපු සංශෝධනයක්. එහෙම දෙයක් අතීතයේ කිසිම දවසක සිදුවෙලා නැහැ. මේ පළවෙනි වතාවත් නෙමෙයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ, 21 වතාවක් වෙනස් කරලා තිබෙනවා. හැබැයි ඒ සංශෝධන 21ට සම්බන්ධයෙන්ම කිසිම අවස්ථාවකදී මේ විදියට අතිවිශාල රැල්ලක් අපේ රටේ නිර්මාණය වුණේ නැහැ මේක කරන්න එපා කියලා.

බලන්න මේකට දැඩි විරෝධය මෙතෙක් දුරට කවුද ප්‍රකාශ කරලා තිබෙන්නේ? මේ රටේ සංඝයා වහන්සේලා, මල්වතු, අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු අපේ ස්වාමීන් වහන්සේලා, බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේකට විරෝධය ප්‍රකාශ කරලා තිබෙනවා. කතෝලික රදගුරු සංගමය, ඇංග්ලිකන් පල්ලිය, සියලුම ආගමික නායකයන් මේකට විරෝධය ප්‍රකාශ කරලා තිබෙනවා. නීතිඥ සංගමය, සිවිල් සමාජය, වෘත්තීය සමිති, මේකට දැඩි විරෝධය ප්‍රකාශ නොකරපු කෙනෙක් නැහැ.

අද උදේ LAW ASIA සංවිධානය, LAW ASIA සංවිධානය කියන්නේ ජාත්‍යන්තර සංවිධානයක්, නීතිඥ වෘත්තිකයන්ගෙන් සෑදුම්ලත් සංවිධානයක්. බොහොම තදබල ප්‍රකාශයක් අද උදේ නිකුත් කරලා තිබෙනවා LAW ASIA සංවිධානය, මේක අධිකරණයේ ස්වාධීනත්වයට කිසිසේත් නොගැලපෙන පියවරක් කියලා.

එතකොට මේ සියල්ලක්ම ගැන කිසිම තැකීමක් නැතුව, ඉතාමත් මුරණ්ඩු හා උද්ධච්ච ලෙස කවුරු විරුද්ධ වුණත් මේක කරනවාමයි කියන ස්ථාවරයේ පිහිටවලා, මේක නීතිගත කිරීමට දැඩි අධිෂ්ඨානයක් රජය ප්‍රකාශ කරලා තිබෙනවා.

මෙතෙක් දුරට මේ රටේ විදේශ ඇමතිවරුන්, මම ඇතුළුව මෙතෙක් දුරට අපි ජිනීවා, නියෝක් මේ හැමතැනම ප්‍රකාශ කළේ “අපේ රටට අතපෙවීම් කරන්න එපා.” ඇයි? අපේ රටේ ඉතාමත් ශක්තිමත් ස්වාධීන ආයතන තිබෙනවා. අපේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ජගත් කීර්තියට හා විශ්වාසයට භාජනය වෙලා තිබෙන ආයතනයක්. ඒ නිසා අපේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය ආයතනික පසුබිම අපේ රට නොමසුරුව සතුවෙලා තිබෙනවා. අපිට ඒ ආයතන තිබෙනවා. ඒ හින්දා ඔය අයගේ අත් අතපෙවීමක් මේකට අවශ්‍ය නැහැ කියලා. දැන් ඒ තර්කය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්ද ? අවංකව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්ද? මහා ලොකු ප්‍රශ්නාර්ථයක්, හරි අර්බුදයකට, කවදාවත් නැති තත්ත්වයක් ශ්‍රී ලංකා අධිකරණය මහා විශාල අර්බුදයකට පත්වෙලා තිබෙනවා.

එහි ප්‍රතිඵලය මොකක්ද? රටේ ආරක්ෂාවට එය බලපානවා. මෙන්න මේක ඉතාමත් වැදගත්, ආයෝජන සම්බන්ධයෙන්. දැන් අපේ රටේ ආර්ථිකයේ යම්කිසි ස්ථායීභාවයක් තිබෙනවා, ස්ථාවරභාවයක් තිබෙනවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ‍ මහත්මයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගත්ත යම් යම් පියවර නිසා.

නමුත් රටේ ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ආයෝජන අවශ්‍යය. දැන් මේ රටට ආයෝජනය කරන අය, ආයෝජකයන්, විදේශීය රටවල්, විදේශීය ආයතන, ජාත්‍යන්තර බැංකු, මේ රටේ ආයෝජනය කිරීම ගැන හිතලා බලනවා නම්, සැලකිල්ලට භාජනය කරන ඉතාමත් වැදගත් සාධකයක් තිබෙනවා. ඒ සාධකය තමයි අධිකරණයේ ස්වාධීනත්වය.

ආයෝජකයෙක් මෙහෙ එන්නේ ඒ අය තුළ විශ්වාසයක් තිබෙනවා නම් මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව. ඒ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබෙනවා නම්, සැකයක් තිබෙනවා නම්, එතකොට ආයෝජකයන් අධෛර්යමත් වෙනවා. අපේ රටට ආයෝජන එන්නේ නැහැ.

ආයෝජන එන්නේ නැතිනම් අපිට ආර්ථික වර්ධනයක් ඇති කරගැනීමට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ 22වැනි සංශෝධනය මේ විදියට හිතුමනාකාර ලෙස නීතිගත කිරීම තුළින් මේ රටට පැමිණෙන ආයෝජන සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අපි කියනවා, තක්සේරු කරන්න බැරි විදියේ අගතියක් මේ නිසා අපේ රටට ඇති වෙනවා කියලා.

අවසාන වශයෙන්, BRICS සංවිධානය. ඒ අය ගිය සතියන්තයේ රැස් වුණා නවදිල්ලියේ. BRICS කියන්නේ ඉතාමත් බලගතු ආර්ථිකයේ තියෙන රටවල් කීපයකින් සමන්විත ආයතනයක්. ඉන්දියාව ඉන්නවා, චීනය ඉන්නවා, රුසියාව ඉන්නවා, බ්‍රසීලය ඉන්නවා, දකුණු අප්‍රිකාව ඇතුළු මේ සියලුම රටවල් එතන ඉන්නවා.

දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා රුසියාවේ පුටින් ජනාධිපතිතුමාගෙන් කරපු ඉල්ලීමක් නිසා, පුටින් ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට ආරාධනා කළා මේ BRICS සංවිධානයේ මේ සාකච්ඡාවලට පැමිණිලා, එහි සාමාජිකත්වය ඉල්ලන්න කියලා.

හැබැයි, BRICS සංවිධානය නවදිල්ලියේ රැස්වෙනකොට ශ්‍රී ලංකාවේ කිසිම කෙනෙක් ගියේ නැහැ. අපි එයට කිසිසේත් සහභාගී වුණේ නැහැ. ඒක අමතක කළා. වැඩක් නැහැ.

වැදගත්කමකින් යුක්ත දෙයක් නෙවෙයි කියලා අපි කවුරුවත් යැව්වේ නැහැ ශ්‍රී ලංකාවෙන්. ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමතිවරයා කිසි කෙනෙක් ගියේ නැහැ. මොකක්ද ඒකේ ප්‍රතිඵලය?

BRICS සංවිධානය ස්ථාපිත කරනවා අලුත් සංවර්ධන බැංකුව, New Development Bank කියලා අලුත් ආයතනයක්. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ, ලෝක බැංකුව වගේ, ආසියානු සංවර්ධන බැංකුව වගේ. අපිට මහා පරිමාණයේ මූල්‍ය සම්පත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඒ අලුත් බැංකුවෙන් ලබාගන්න පුළුවන්. හැබැයි සත පහක තැකීමක් නැහැ. කවුරුත් ගියේ නැහැ. එතැනට ගිහිල්ලා විශාල ප්‍රයෝජන ලබාගත් රටවල් මොනවාද? ආසියාවේ තායිලන්තය, වියට්නාමය හා මැලේසියාව. අප්‍රිකාවේ උගන්ඩාව හා නයිජීරියාව, මධ්‍යම ආසියාවේ කසකස්ථානය, කියුබාව. ඒ ඔක්කොම රටවල් අද හවුල්කාර සාමාජිකයන් හැටියට ඒ තත්ත්වය ලබාගෙන තිබෙනවා BRICS සංවිධානයේ. ඒ අය ඒ තත්ත්වය ලබාගත්තා ගිහිල්ලා, මහන්සි වෙලා, සහභාගී වෙලා, උත්සාහ දරපු නිසා. ශ්‍රී ලංකාවට මුකුත්, මෙලෝ දෙයක් ලැබුණේ නැහැ.

ඇයි? අපි මහන්සි වුණේ නැති හින්දා. අපි ඒවා වැදගත් කොට සලකන්නේ නැති හින්දා. අපේ ප්‍රමුඛතා සම්පූර්ණයෙන් වැරදි නිසා. අවධානය යොමුකළ යුතු දේවල් අපි සම්පූර්ණයෙන් අමතක කරලා දාන නිසා. ඒ ලංකාවේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හොඳද නරකද කියන එක නෙමෙයි ප්‍රශ්නය, ශ්‍රී ලංකාවට වර්තමාන රජයට විදේශ ප්‍රතිපත්තියක් නැත, කොහෙත්ම නැත. ඒ ශෝචනීය තත්ත්වය නිසා මහා විශාල විනාශයක් වෙන්නේ මේ රටේ ජනතාවටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පළ කළ අදහස්.

මං හිතන්නේ මේ ආණ්ඩුවට අවුරුදු දෙකයි, රටට සුබයි කියලා ආණ්ඩුව කියාගෙන යනවා. නමුත් ජී. එල්. පීරිස් මැතිතුමා මේ රටට අන්තර්ජාතිකව ඇතිවෙන්න පුළුවන් බලපෑම පිළිබඳව ඉතාම හොඳින් පැහැදිලි කළා.

අපි දන්නවා වරක් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා, “ලංකාව තියෙන්නේ ලෝකය ඇතුළේ මිසක්, ලංකාව ඇතුළේ ලෝකය නැහැ” කියලා. ඉතින් මං හිතන්නේ මේක එදාටත් වඩා අද ඉතාමත් හොඳින් වටිනවා. මොකද ලංකාව ඉස්සරහට ගෙනියන්න නම්, ලංකාවට සුබ වෙන්න නම්, අපට සුබ වෙන්න නම්, රටට සුබ වෙන්න නම් ලෝකයත් එක්ක අපි ඉදිරියට යා යුතු වෙනවා.

එහෙමනම් මං හිතන්නේ ජී. එල්. පීරිස් මැතිතුමා මතක් කරපු විදියට, මේ මානව හිමිකම් සම්බන්ධව ඉතාමත් හොඳින් එතුමා පැහැදිලි කළා, අපි ඉන්නේ ඉතාමත් අවදානම් තැනක. මේ හරහා අපට බොහෝ දේවල් නැතිවෙන්න පුළුවන්කම තිබෙනවා. එක උදාහරණයක් ජී. එල්. පීරිස් මැතිතුමා ඉතාමත් හොඳින් පැහැදිලි කළා. අපි එතුමාට නැවත වතාවක් අවුරුදු තුනක බලය ලබාගැනීම වෙනුවෙන් රටක් විදියට ඡන්දය පාවිච්චි නොකිරීමත් එක්ක — මේ එක සිද්ධියක් පමණයි — ඡන්දය භාවිතා නොකිරීමත් එක්ක ඉතාමත් ඉක්මනින් අපට ලැබිච්ච ප්‍රතිඵලය සම්බන්ධයෙන්.

ඇයි රටවැසියෝ විදියට මේවට අපි කලබල වෙන්න ඕනෑ? අපි දන්නවා ආණ්ඩුවක් එනවා අවුරුදු පහකට, ඊළඟට ජනතාව හිතුණාම තව ආණ්ඩුවක් ගේනවා. මේක බොහොම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ පවතින ආණ්ඩුව ඒ වෙලාවේ තමන්ගේ බලය තියෙන කාලය තුළ ගන්නා වූ තීන්න්දුව තුළ ඒකට වගකිය යුතු වන්නේ බලයේ ඉන්න ආණ්ඩුව පමණක් නොවෙයි, මේ රටේ සමස්ත ජනතාවත් වගකියන්න ඕනෑ. ඒ වෙලාවේ ඉන්න ජනතාව පමණක් නෙමෙයි, නූපන් ජනතාවටත් මේක බලපානවා.

එවැනි අතීත අත්දැකීම් අපට ඕනෑ තරම් කියන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි අපි ඉන්නේ අතීතයේ වුණු දේ ගැන හාර හාර අඬන්න නොවෙයි. නමුත් වර්තමාන මේ ආණ්ඩුවට කාගෙන්වත් පාඩම් අපට ඉගෙන ගන්න ඕනෑකමක් නැහැ, අපිට අත්දැකීම් තිබෙනවා, අපිට මෙහෙම පුළුවන්, මෙහෙම පුළුවන් කියන ආණ්ඩුව මෙවැනි වරදවල් කරනවා නම්, ඒ වරදේ වන්දිය ගෙවන්න වෙන්නේ මේ රටේ පක්ෂ භේදයකින් තොරව වර්තමාන ජනතාවට වගේම නූපන් ජනතාවටයි.

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, උද්ධච්චකම පැත්තකින් තබන්න. අත්දැකීම් තිබෙනවාද නැද්ද කියන එක පිළිබඳව එළියෙ ප්‍රකාශ කරන්න යන්න එපා. දන්න කට්ටියගෙන් අහලා, දැනගෙන මේ රටේ ජනතාවට සාධාරණයක් කරන්න. එහෙම නැතුව ඔබතුමාලා මේ අවුරුදු පහේ ඉදලා යයි, සමහර විට පහකට කලින් යන්නත් පුළුවන්. හැබැයි පහට කලින් ගියත්, පහෙන් ගියත් මේකට වගකියන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා රටේ ජනතාවට සාධාරණයක් කරන්න දැන්වත්. අවුරුදු දෙකක් ගෙවිලා ඉවර වෙලා, “ආණ්ඩුවට අවුරුදු දෙකයි, රටට සුබයි” කියනවා නම්, දැන්වත් පොඩ්ඩක් නිහතමානීකමෙන් අපි ඉල්ලනවා, ඔබතුමාලාත් උද්ධච්චකම පැත්තකින් තබලා පොඩ්ඩක් රටේ ජනතාව ගැන හිතන්න කියන කාරණය.

ඒත් එක්කම, මම එල්. පීරිස් ඇමැතිතුමා කියපු උදාහරණයත් එක්ක කිව්වේ විදේශ ප්‍රතිපත්තියත් එක්ක අපට බොහෝ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියන කාරණය. දැන් අපි බලමු, අනුර කුමාර ජනාධිපති සහෝදරයා ගමෙන් ගමට යනවා අර මං කිව්ව කතාව කියාගෙන. ඉතින් ඒගොල්ලෝ කියන නිසා අපිත් මේවා කිව්වට කමක් නැහැ, සාමාන්‍යයෙන් අපි අනුන්ගේ Slogan කියවන්නේ නැහැ. හැබැයි ඉතින් රටට මොකද වුණේ? “ආණ්ඩුවට අවුරුදු දෙකයි, රටට සුබයි” කියලා ඒගොල්ලෝ කියාගෙන දැන් ගමක් ගානේ යනවා.

දැන් අපි අහමු, රටේ ජනතාවට ඇත්තටම සුබද? දැන් මොකද වෙලා තිබෙන්නේ? අවුරුදු දෙකක් තුළ අර මාලිමාවට රැවටිලා කතිර ගහපු ජනතාවට දැන් උන්හිටිතැන් නැතිවෙලා තිබෙනවනේ. මොනවාද රටට සුබයි කියලා ඒ ජනතාවට ලැබුණේ? තෙල් ටික අඩුවට ලැබුණද? එහෙම නැත්නම් විදුලිය අඩුවට ලැබුණද? බඩු මිළ අඩු වුණාද? පොත් ටිකේ ටැක්ස් එක අඩු වුණාද? ඉස්පිරිතාලෙ ගියාම බෙහෙත් ටිකක් තියෙනවාද? වැවක් හැදුනාද? පාරක් හැදුනාද? ඇල දොලක් හැදුනාද? මොනවාද වුණේ?

දැන් මාර වැඩේනේ, කවුද මේ සුබයි කියලා කියන්නේ? අර රැවටුණු ජනතාව ආයේ පාරක් බස්වලින් දක්කගෙන ඇවිල්ලා පුටුවල වාඩි කරලා, ඊට පස්සේ වේදිකාවට නැගලා හතර පස්දෙනෙක් කියනවා “රටට සුබයි” කියලා. පහළ ඉන්න ජනතාව සමහර අය අත්පොළසන් දෙනවා, සමහර අයගේ මුහුණුවලින් අපට පේනවා අත්පොළසන් දෙනවා තියා හිතාගන්නවත් බැරුව අඬනවා. ආවේ රටට සුබයි කියලා අහගන්න. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද?

අවුරුදු දෙකක් සුබ නැති අපි සුබයි කියන පණිවිඩය අහගන්න ආවේ මොකද සුබ පණිවිඩයක් දෙයි කියලා. මොකක්ද වුණේ? ආයේ පාරක් ජනාධිපතිතුමා කියනවා, අනුරාධපුරේ ඇවිල්ලා ගොවි මහතුන්ට කියන්නේ “තව අවුරුදු දෙක තුනකින් අපි මේක හදනවා” කියලා. දැන් මාර වැඩේනේ. දැන් ආණ්ඩුවට කතිර ගහනකොට කිව්වේ ආණ්ඩුවක් ගත්තම එක පෑන් පාරින් මේවා කරනවා කියලා. මොනවාද? තෙල් මිළ අඩු කරනවා, විදුලිය බිල අඩු කරනවා, පොහොර මිළ අඩු කරනවා, වී මිළ දෙනවා කියපු ආණ්ඩුව අවුරුදු දෙකක් රැවැට්ටුවා. අවුරුදු දෙකක් අමාරුවෙන් හිටියා.

ඒ ආණ්ඩුව දැන් කියනවා නම් “ආණ්ඩුවට අවුරුදු දෙකයි, රටට සුබයි, මෙන්න නියම දවස හොඳ පණිවිඩයක් අහගන්න” කියලා ගමේ සමහර මිනිස්සු කැමැත්තෙන් ගියා, සමහර මිනිස්සු බලෙන් ගියා, සමහර මිනිස්සු “අදවත් අලුත් පණිවිඩයක්, අදවත් අපට සහනයක් වෙයි” කියලා යන්න ඇති. දැන් මොකද වුණේ?

ඒ පණිවිඩය “තව අවුරුදු තුනකින් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ” කියන කතාව තමයි කියන්නේ. වීවලට සහතික මිළක් නැහැ. අදටත් අපේ රටේ ගොවියෝ අන්ත අසරණ වෙලා ඉන්නවා වී ටික දීගන්න බැරුව. ඒ වගේම වැවක් හදන්නේ නැහැ, ඇලක් හදන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි වැස්ස නැහැ, වැව්වල වතුර ටික නැහැ, වගාවන් මැරිලා, ඒකට ඇහුම්කන් දෙන්න මිනිහෙක් නැහැ, කෘෂිකර්ම ඇමති ඒකට ඇහුම්කන් දෙන්නේ නැහැ, වන්දියක් ලැබෙන්නේ නැහැ. තාමත් ඒ වන්දිය ලැබෙන්නේ දුමින්ද දිසානායක හෙක්ටෙයාරයකට වැඩි කරපු ලක්ෂයේ මුදල විතරයි.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පළ කළ අදහස්.

ගරු ජනාධිපතිතුමා තනියෙන් රට වටේ යන්න පටන් අරගෙන තියෙනවා. අර මැතිවරණ සමයේ කිව්ව උගතුත් නැහැ, බුද්ධිමතුත් නැහැ, කෘෂිකර්ම ඇමතිත් නැහැ, නාමල් කරුණාරත්න මහත්තයාත් නැහැ. එතුමා තනියෙන් ගිහිල්ලා දේශන පවත්වනවා, මල් පැල ටික හැලිලා.

මේ අනුව ඉතාමත්ම පැහැදිලියි අපේ රට අද ගමන් කරමින් තිබෙන්නේ කොතැනටද කියලා. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු 1,329ක් තියෙනවා. ඒ පිටු 230 කොටස් හතරක ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන තියෙන කොටසේ තියා මේ පොරොන්දු 1,329න් එකක්වත් කරලා නැහැ.

ජනතා සුභසාධනය ගැන තියෙන කොටසේ පොරොන්දු ඉෂ්ට කරලා නැහැ. අඩුම ගානේ මේ පොරොන්දුවලින් දවසකට එකක් කළා නම් අද වෙනකොට මේ අවුරුද්දේ මේ ආණ්ඩුවට දවස් 700කට වැඩිය ගත වෙලා තියෙනවා. පොරොන්දු 700ක් ඉෂ්ඨ කරන්න තිබුණා. එකක් වෙලා නැහැ.

රාජ්‍ය පාලනය ඉතාමත් නරක විදිහට බිඳ වැටෙමින් තිබෙන බව, සෑම ක්ෂේත්‍රයක්මත් බිඳවැටෙමින් තිබෙන බව ඉතාමත් පැහැදිලිව හඳුනාගන්නට පුළුවන්. අනෙක් අතට ආරක්ෂාව සහ නීතිය, නීතිය, අධිකරණය මේ සියලුම ක්‍රියාකාරකම්, මේ සියලුම දේවල් ඉතාමත් ඛේදනීය ලෙස බිඳවැටෙමින් පවතිනවා.

රටේ මේ තියෙන අර්බුදයට උත්තර හොයාගන්නට බැරුව ඉන්නවා, අද රෝහල්වල බෙහෙත් නැහැ. ඖෂධ හිඟය, මේ හිඟය සෑම ක්ෂේත්‍රයකටම ඇවිල්ලා තියෙනවා. බරපතල රෝග සඳහා වන ඖෂධ, තත්ත්වයෙන් ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ ලැබෙන්නේ නැහැ. බාල ඖෂධ රටට ගේන්නේ. උපකරණ නැහැ. මාධ්‍ය වාර්තා කරලා තිබුණා අඩුම ගානේ මේ කාන්තාවන්ට දෙන උපත් පාලන පෙති ටිකවත් මේ ආණ්ඩුවට ගේන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා කියලා.

විදුලි බල ක්ෂේත්‍රය බැලුවාම ඉතාමත් බරපතල තැනකට පත් වෙලා තිබෙනවා. පසුගිය සතිය වෙනකොට ගල් අඟුරු නැතුව යන්ත්‍ර දුවාගන්න බැරි තත්ත්වයට මේක ඇවිල්ලා තිබෙනවා. අනෙක් අතට ගල් අඟුරු ගෙනාපු ටික පාවිච්චි කරලා ඉවරයි. හැබැයි ඒ කොම්පැණිවලට ඒ සල්ලි ටික ගෙවාගන්නේ නැතුව අද වෙන මට්ටමක අර්බුදයක් බවට, ව්‍යාපාරික අර්බුදයක් බවට මේක පත් වෙලා තියෙනවා.

අනෙක් පැත්තෙන් ඩීසල් විදුලි බලාගාර දවසකට පැයයි දෙකයි පාවිච්චි කළේ. දැන් ඒක ඒ වගේ දහ දොළොස් ගුණයකින් වැඩි කරලා අතිවිශාල ධනස්කන්ධයක්, රුපියල් බිලියන 32ක්, පළවෙනි සතියේ 15ක්, ඊට පස්සේ 17ක් විදිහට රුපියල් බිලියන 32ක් මේ බලශක්ති අර්බුදය අර්බුදය විදිහට මේ වෙනකොට මිනිස්සුන්ගේ කරපිට පටවලා තිබෙනවා. ඒක තවත් බිලියන අඩුම ගානේ හයක් ඉදිරි මාස හතර තුළ ජනතාවගේ ඇඟට පත් වෙනවා, බරට පත් වෙනවා, ජීවන බර වැඩි වෙනවා.

මේ තමයි රටේ තිබෙන අර්බුදය. ජනාධිපතිතුමා පොළොන්නරුවේදී කිව්වා මේ රටේ මාර්ග හැදෙන්නේ නැත්තේ ටී.ඕ. මහත්වරු, කාර්මික ශිල්පීන් නැති හින්දා කියලා. මොන පට්ටපල් බොරුවක්ද? ඒක එහෙම නොවෙයි කියලා පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ අපි කතා කරනකොට එතුමා ඔන්න ඇත්ත කතාව කිව්වා තාර නැති හින්දා තමයි මේ පාරවල් හදන්න බැරි කියලා.

ඇත්ත කතාව තාර නැති හින්දා තමයි ඒ පාරවල් හදන්න බැරි. ඇයි තාර නැති වුණේ? මෙච්චර කල් මේ රටට තාර ගෙනාවේ පෞද්ගලික අංශය. ආණ්ඩුව ඒක තමන්ගේ පාලනයට පවත්වාගෙන තාර ගේන්න හැදුවා. තාර ගෙන්වා ගන්න බැරි වුණා මාස හයක් දැන්. දැන් හත්වෙනි මාසේ ගියාට පසුව මේ අය කියනවා පෞද්ගලික අංශයට ගේන්න කියලා. පෞද්ගලික අංශය කියනවා තව මාස තුනක් හෝ හතරක් යනවා මේක ගේන්න කියලා.

මෙන්න මේක තමයි ආණ්ඩුවට දැක්මක් නැහැ, වැඩ කරන්න හැකියාවක් නැහැ. මේවා තමයි රටේ දැවෙන ප්‍රශ්න. මේවා තමයි රටට දැනෙන ප්‍රශ්න. උතුරු මැද පළාතේ, ඌව පළාතේ, දකුණු පළාතේ සම්පූර්ණයෙන්ම ඉදි කිරීම් ක්ෂේත්‍රය මේ වෙනකොට බිඳවැටිලා ඉවරයි.

පාරවල් හදන්න, වාරිමාර්ගවලට, මහා මාර්ගවලට කොන්ත්‍රාත්කරුවෝ එන්නේ නැහැ. මේ රාජ්‍ය නිලධාරීන් මොනවාද කියන්නේ? ඒ ඇස්තමේන්තු ගත කරලා තියෙන මුදලට වැඩිය හැම කොන්ත්‍රාත්කාරයෙක්ම ගණන සඳහන් කරනවා. හේතුව මොකක්ද? ආණ්ඩුවත් සමග ව්‍යාපාර කරන්න, කොන්ත්‍රාත් කරන්න, ආණ්ඩුවේ කොන්ත්‍රාත් ලබාගන්නට මේ කොන්ත්‍රාත්කරුවෝ අද තියෙන තත්ත්වය තුළ සූදානම් නැහැ. මෙය තමයි ප්‍රාග්ධන වියදම් අඩුවීම. ඒ කියන්නේ වියදම්, මුදල් ටික වියදම් කරගන්න බැරි තත්ත්වයකට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මෙන්න මේවා තමයි රටේ තිබෙන ප්‍රශ්න.

අනෙක් පැත්තට මේ ආණ්ඩුව පෙන්වන සංවර්ධනය, AI තාක්ෂණයෙන්, කෘත්‍රිම බුද්ධිය තාක්ෂණයෙන් ඡායාරූප පෙන්වනවා. අපිට මතකයි පෙන්නුවා පිටකොටුවේ බස් නැවැතුම්පොළ මෙහෙම හදනවා අරහෙම හදනවා කියලා. ඒක හදලා තියෙන්නේ ඒ විදිහටද? තීන්ත ටිකක් ගෑවා හතර වටෙන්ම, ඒක විතරයි. ලොකු චිත්‍රයක් පෙන්නුවා, පින්තූර ගොඩාක් දැම්මා, කොටුවේ ස්ටේෂන් එක, දුම්රියපොළ, කොටුව දුම්රියපොළ නවීකරණය කරනවා කියලා. එලවේටර්ස් දානවා කිව්වා, ලයිට් දානවා කිව්වා, මෙහෙම තට්ටු කරනවා කිව්වා, මෙහෙම අලුත් කෝච්චි එනවා කිව්වා.

මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට කෝච්චි 350ක් විතර දිව්වා. අද 170යි දුවන්නේ. මේ පැත්තෙන් මේ විදිහට බරපතල විදිහට මේ කාරණය අවුල් වෙමින්, දිගින් දිගටම විනාශ වෙමින් යනවා.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ මහතා පළ කළ අදහස්.

ගිය සතියේ අපි දැකලා තිබුණා ඉන්දියාවේ ආරක්ෂක ඇමති වසර 38කට පස්සේ ලංකාවට ඇවිල්ලා තිබුණා. ඒ සංචාරය අතරතුර අපි ගිවිසුම් තුනක් අත්සන් කරලා තිබෙනවා. කොහොමත් අදත් අපි තාම දැකලා නැහැ මොකක්ද තිබෙන්නේ මේ ගිවිසුම් තුනේ කියලා.

අපේ අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා හැටියට වගකීමක් තියෙනවා මේ ගිවිසුම් තුන පාර්ලිමේන්තුවට ගෙනැල්ලා එතැනින් ඉස්සරහට දාලා දවසක් වෙන් කරලා සාකච්ඡා කරන්න.

මේ කාලේ මේ වගේ ගිවිසුම් අත්සන් කරනවා නම් ඉස්සෙල්ලා ආණ්ඩුව විපක්ෂයත් එකතු කරලා මේ ගැන සාකච්ඡා කරලා අත්සන් කරන්න ඕනෑ. දැනටමත් අත්සන් කරලා තිබෙන නිසා ඒක අඩුම ගානේ පාර්ලිමේන්තුවට ගෙනැල්ලා මේ ගැන කතා කරන්න ඕනෑ. මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනෑ ජාතික ආරක්ෂාව ගැන, විදේශ කටයුතු ගැන ඒවා දේශපාලන වැඩක් නෙවෙයි. මේවා ජාතික වැ‍ඩ.

ඒ නිසා හැමෝම එකතු වෙලා පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවල ඔක්කොම කැඳවලා මේ ගැන කතා කරන්න ඕනෑ. අපි දැන් දකිනවා සමාජ මාධ්‍යයෙන් හැමෝම මේ ප්‍රශ්න අහනවා. මොකක්ද අත්සන් කරලා තිබෙන්නේ? මේවා අත්සන් කරපු නිසා අපි මොකක්ද ඉන්දියාවට දීලා තිබෙන්නේ? ඒවට පිළිතුරක් දෙන්න ඕනෑ.

දෙවෙනි කාරණය තමයි ඇයි එදා අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලංකාවේ හිටියේ නැත්තේ? විශේෂයෙන් ඉන්දියාවේ ආරක්ෂක ඇමති ලංකාවට එනකොට අඩුම අපේ පැත්තේ අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉන්න ඕනෑ. එතුමා අපේ ලංකාවේ අපේ ආරක්ෂක අමාත්‍යාංශයට ගිහිල්ලා ඉන්න නිලධාරීන් හෝ අනිත් කීප දෙනෙක් හමුවෙලා සාකච්ඡා කරලා තිබෙනවා. කොහොමත් අපි දන්නේ නැහැ කවුද අපේ පැත්තේ ඒ සාකච්ඡාවට නායකත්වය දුන්නේ කියලා.

ලේකම් ඉන්නේ නැතිනම් එහෙනම් අපි දන්නේ නැහැ මොකක්ද වෙලා තිබෙන්නෙ කියලා. අනෙක් පැත්තේ ඉන්දියාව අහයි එහෙනම් ඇයි අපේ ඇමති මෙහෙම යවලා තිබෙන්නේ, ලංකාවේ නිලධාරීන් ඉන්නේ නැතිනම් කියලා. මේවටත් අපේ අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ඇමති හැටියට පිළිතුරක් දෙන්න ඕනෑ.

අපිට පේන හැටියට මේ ආණ්ඩුවට ආරක්ෂාව ගැන සහ කටයුතු ගැන ප්‍රතිපත්තියක් ඇත්තේ නැහැ. හැමදාම ඒ අය වෙන වෙන ඒවා කරනවා. එක දවසක් ඉන්දියාව කියපු එක ඒගොල්ලො කරනවා, ඊළඟ දවසේ ඇමෙරිකාව කියපු එක කරනවා, ඊට පසුව චීනය කියපු එකක් කරනවා.

අපිට මෙහෙම ඉදිරියට යන්න බැහැ. කොහොමත් මීට කලින් හිටපු ජනාධිපතිතුමා කියලා තිබෙන්නේ මේගොල්ලො එල්බෝඩ් ආණ්ඩුවක් කියලා. අපි ඒක ඔක්කොම දැන් දකිනවා ඒක ඇත්ත එකක්. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔයාලට විදේශ කටයුතු ගැන ප්‍රතිපත්තියක් නැතිනම්, අපේ හිටපු ජනාධිපතිතුමා ඉන්නවා, කතා කරලා උපදෙසක් ගන්න.

මේ තියෙන ප්‍රශ්න සමග ඉදිරියට යනකොට ප්‍රතිපත්තියක් නැතිනම් ලංකාවට ප්‍රශ්න වැඩි වෙන්න අනිවාර්යයෙන් ඉඩ තිබෙනවා. අපි දකින හැටියට මේ ආණ්ඩුවට විදේශ කටයුතු ගැනයි ජාතික ආරක්ෂාව ගැනයි විශ්වාසයක් නැති වෙලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ තායිලන්තයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය සරුන් චරොඑන්සුවන් අතර බැංකොක් නුවර පැවති ඵලදායී හමුවකින් පසුව,...

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති හා හිටපු ජනපති රනිල් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ (කොළඹ) නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව කොළඹ මල් පාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img