හිටපු විධායක ජනාධිපතිවරුන් ඇතුළු ජ්යෙෂ්ඨ දේශපාලනඥයන්ගෙන් ප්රකාශ සටහන් කරගැනීම සඳහා විමර්ශන නිලධාරීන් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් කටඋත්තර ලබා ගැනීමේ ක්රමවේදය අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා සඳහන් කරන්නේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු විමර්ශන කටයුතු සඳහා අදාළ නීති ක්රියාත්මක කරන ආයතන හමුවේ පෞද්ගලිකවම පෙනී සිටිය යුතු බවයි.දේශපාලන තරාතිරම හෝ තනතුර නොසලකා සියලු දෙනාට නීතිය සමානව ක්රියාත්මක කිරීමේ ප්රතිපත්තිය මෙම තීරණය තුළින් තහවුරු වන බව ද හෙතෙම අවධාරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය වැනි රාජ්ය ආයතන දේශපාලන ඇඟිලි ගැසීම්වලින් නිදහස් කිරීම හේතුවෙන් විමර්ශනවල සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකිව තිබේ. නීතියේ ආධිපත්යය සුරැකීම සහ රාජ්ය ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා වත්මන් පාලනය විසින් ප්රබල ක්රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දෙන අමාත්යවරයා, දේශපාලන බලපෑම්වලින් තොරව කාර්යක්ෂමව රාජකාරි ඉටු කිරීමට අවශ්ය පරිසරය මෙම ආයතන වෙත නිර්මාණය කර දී ඇති බව පැවසීය.
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියට අනුකූලව සෑම පුද්ගලයෙකුටම නීතියේ සමාන ආරක්ෂාව හිමි විය යුතු බව අමාත්යවරයා මතක් කර දුන්නේය. රාජ්ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීම සහ දූෂණ ක්රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කිසිදු පක්ෂපාතීත්වයක් නොදක්වන බවත්, අතීතයේ පැවති දේශපාලන හිතවත්කම් හෝ තරාතිරම මත නීතිය වෙනස් වූ යුගය නිමා වී ඇති බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව කුමන බලපුළුවන්කාරකම් පැවතියද මින් ඉදිරියට තම නිවෙස්වල සිට කටඋත්තර ලබාදීමට කිසිදු ප්රභූවරයෙකුට ඉඩ හිමිවන්නේ නැත.
අධිකරණයෙන් හෝ පරීක්ෂණවලින් මඟහැර සිටීමට උත්සාහ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්රියාත්මක කරන බවට නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය. රට තුළ රැඳී සිටින සැකකරුවන් ගෙන්වා ගැනීම සඳහා 106 වන වගන්තිය යටතේ නීතිමය නිවේදන නිකුත් කරන අතර, විදේශයන්හි සැඟව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට ජාත්යන්තර පොලිසියේ රතු නිවේදන (Interpol Red Notices) භාවිත කරනු ලැබේ. නීතියෙන් බේරී සිටීමට කිසිවෙකුටත් නොහැකි බව පෙන්වා දෙමින් අමාත්යවරයා සඳහන් කළේ ජාත්යන්තර මත්ද්රව්ය ජාලයන්ට සම්බන්ධ සැකකරුවන් 74 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ශ්රී ලංකාවට ගෙනැවිත් ඇති බවයි.






















