ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටින්නේ රටේ බහුතරයක් සිංහල බෞද්ධ ජාතිය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වෙනි වගන්තිය තුළින් බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවයි.
සිංහල බෞද්ධ ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙන අතරතුරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට අවශ්‍ය ගෞරවය සහ රැකවරණය ලබාදී ඇති බවද ඒ මහතා විසින් පෙන්වා දෙනු ලබනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂිරාස් යුනුස් මහතා මෙසේද ප්‍රකාශ කළේය.
මේ රට සිංහල බෞද්ධ රටක් නිසා බුද්ධාගමට තිබෙන ප්‍රමුඛත්වය ලබාදීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළ යුතු වුවත් එය නිසියාකාරව ඉටුවන බවක් පෙනෙන්නට නැහැ.
වසර හැත්තෑ හයක ශාපයක් ගැන කතා කරනවා. නමුත් මෙම වසර හැත්තෑ හයක කාලය තුළ මේ රටට වැඩියෙන්ම ශාපයක් වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව අද මුළු රටම දන්නවා.
අද මේ රටේ මුස්ලිම් ජනතාවත් රැවටීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.
ඉඟිනියාගල ජලාශයෙන් තමයි අම්පාර දිස්ත්‍රික්කය ඇතුළු ගොවි බිම් රැසකට ජලය ලබා දෙන්නේ.
එතකොට ඉඟිණියාගල ජලාශය හැදුවේ මේ අවුරුදු හැත්ත හයක කාලය තුළ නෙවෙයිද?
ඊට අමතරව ජලාශ රැසක් පසුගිය ආණ්ඩු කාලවලදී වසර හැත්තෑ හය තුළ හදලා තියෙනවා. ඒ ගැන මං ඉදිරියේදී කියන්නම්.
අම්පාර දිස්ත්‍රික්කයේ සිටින මුස්ලිම් ජනතාව ඇතුළු ගොවි මහත්වරුන් හොඳින්ම දන්නවා ඉඟිනියාගල ජලාශයෙන් සිදුවූ සේවාව සහ දැනටමත් සිදුවන සේවය.
එතකොට මේ හැත්තෑ හය වසර තුළ මුස්ලිම් නායකයිනුත් ඉදිරිපත් වෙලා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ බව අමතක නොකළ යුතුයි.
ඩොක්ටර් ටිි.බී.ජයා, රාසික් ෆරිිිඩ්,බදියුදිින් මහමුද්, ඒ. සි. එස්. හමිඩ් වැනි මුස්ලිම් ජාතික නායකයින් මේ රටට විශාල සේවයක් කළේ ඔය කියන හැත්තෑ හය වසර ඇතුලේ.
එම නායකින් මැද පෙරදිගට තනියම ගිහිල්ලා ශ්‍රී ලංකාවට ආධාර ගෙනල්ලා රට ගොඩනංවන්න විශාල මෙහෙයක් කළා තම සම්බන්ධකම් සමග.
මං අහන්න කැමතියි එහෙම අය දැන් මේ මාලිමා ආණ්ඩුවේ ඉන්නවද කියලා.
ඒ වගේ නියම පෞරුෂයකින් තමන්ගේ රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නියම මුස්ලිම් නායකයින් වර්තමාන ආණ්ඩුවේ නැහැ.
හැබැයි මේ ගොල්ලන් බනින්නේ හැත්තෑ හය වසරට.මේ රටේ බහුතරයක් ජනතාව 76 වසරට බනින එක දැන් පිළිගන්නේ නැහැ.
ජනතාව දන්නවා ඒගොල්ලන්ට වැරදුනයි කියලා මාලිමාවේ පච එකදිගටම අහලා.තවත් ඒ ගොල්ලන් මාලිමාවේ පචවලට රැවටෙන්නේ නැති බව මට විශ්වාසයි.
2026 අවුරුද්දට ප්‍රාග්ධන වියදම් වෙන්කරලා තිබුණා රුපියල් මිලියන 4 719ක්.නමුත් සැප්තෑම්බර් 30 වෙනකොට මේකෙන් වැඩ කරලා තියෙන්නේ 16%ක පමණයි.
ඒකෙන් පෙන්නන්නේ මේ ආණ්ඩුවට ප්‍රායෝගිකව වැඩ කරලා රට සංවර්ධනය කරන්න බැහැයිි කියන එක.
පහුගිය අවුරුදු දෙක තුළ රටට දැනෙන්න කරපු එකම එක සංවර්ධනයක්වත් පුළුවන්නම් පෙන්නන්න කියලා මං ආණ්ඩුවට අභියෝග කරනවා.
ජනතා විමුක්ති පෙරමුණට කරන්න පුළුවන් රට විනාශ කරන එක විතරයි. එදා ඉදලා කරලා තියෙන්නේත් ඒක. කවදාවත් ඔවුන් රට සංවර්ධනය කරලා නැහැ. හැත්ත හය වසරක ශාපය ගැන කතා කළාට ඒ කාලය තුළ සංවර්ධන කටයුතු හුඟක් ඉදිරියට ගෙනියන්න නැති වෙන්න විරෝධතා කළේ ජනතා විමුක්ති පෙරමුණ බව මතක තබා ගත යුතුයි.
ශ්‍රී ලංකාවට මුලින්ම අවි ආයුධ සංස්කෘතියත් 1971 දී හඳුන්වලා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඊට පස්සේ තමයි කොටි සංවිධානය අවි ආයුධ අතට ගත්තේ.
ඒක නිසා එවැනි පක්ෂයකට කරන්න පුළුවන් රට සංවර්ධනය කරන්න නෙවෙයි.
රට ආපස්සට ගෙනියන්න වෛරය ක්‍රෝධය ඇති කරන්න ඒ වගේ දේවල් තමයි දැනුත් කරමින් සිටින්නේ.






















