” දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය ” මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13 ) දින පස්වරු 3.30ට යක්කල නගර සභා ශාලාවේදී ආරම්භ විය.
එහිදී සමරු දේශනය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා දැක්වූ අදහස්.
” 88 – 89 අරගලයේ දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය! ” මේක තමයි අපේ 37වෙනි ඉල්මහ විරු සමරුවේ තේමාව. රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු එලෙස දිවි පිදූ පරපුරක් එදා නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණ තමයි අද ආණ්ඩු බලය හොබවමින් ඉන්නේ. එහෙත් ඒ ඉතිහාසයට පිටු පාමින් ආණ්ඩුව සමාජවාදී අරමුණ ට හාත්පසින්ම වෙනස් ලෙස නව ලිබරල් ආර්ථික දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරියට රැගෙන යමින් සිටිනවා. මේක ඛේදවාචකයක්.
අපි දන්නවා සමාජවාදය යථාර්ථයක් බවට පත් කරන්න ලෝකය පුරා දහස් ගණං මිනිස්සු සඨන් වැදුණා. ජීවිත පරිත්‍යාග කළා. ඒ මිය ගිය සහ ඝාතනය වුණ සියලු දෙනාටම අපි මේ වෙලාවේ අපේ විප්ලවීය ආචාරය පුද කර සිටිනවා. විසි වන සියවසේ කරලියට ගෙනා ඒ විමුක්ති දේශපාලන කතාව අදටත් අවසන් වී නැහැ. 1917 රුසියානු සමාජවාදී විප්ලවයේ ඉඳලා අද වෙනකල් සමාජවාදය යථාර්ථයක් කිරීමේ දේශපාලන අවශ්‍යතාවය අදටත් අවසන් වෙලා නැහැ. සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් කියලා අපි භය නැතුව කියන්නේ අන්න ඒ නිසයි. අපි අද දවසේ තර්කානුකූලවත්, හැගිම් බරවත් අපේ මියගිය සටන් සගයන් ගැන කතා කරනවා. හැබැයි 21 වෙනි සියවසේ අප ඉදිරියට රැගෙන විත් තිබෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි වීරයාද ? එහෙම නැත්නම් ප්‍රායෝගික වාදියා ද? කියන ප්රශ්නය. අපිට ඒ ප්‍රශ්නයම මේ විදිහටත් අහන්න පුලුවන්. ඒ තමයි සමාජවාදය ද? නැත්නම් ධනවාදය ප්රතිසංස්කරන ය කිරීමද? කියලා. අද ගොඩක් අය මේ ප්‍රශ්නයට අභිමුඛ වෙන්න කැමති නැහැ. සමහරු බයට නැත්තම් පටු අරමුණු නිසා මේ ප්රශ්නය ඉදිරියේ නිහඬ වෙනවා. හැබැයි ඒ නිහඬ වුණා කියලා යථාර්ථයෙන් පලා යන්න අපිට පුලුවන් කමක් නැහැ.
ඇයි අපි අරගලේ තෝරගන්න ඕන? මිනිස් ඉතිහාසයේ මිනිසුන් වර්ග දෙකක අරගලය කරලා තියෙනවා. පළවෙනි එක සොබාදහම සමග වූ අරගලය දෙවැන්න තමයි මිනිස් සමාජය යහපත් කිරීමේ අරගලය. මෙන්න මේ අරගලය තුළ තමයි වීරයො උපදින්නෙ. වීරයෝ අවශ්‍ය වෙන්නෙත් මෙන්න මේ අරගලයටයි.
යාතාර්ථය වෙනස් කරන්න නම් පවතින යථාර්ථය ප්‍රතික්ෂේප කරලා එකෙන් එළියට එන්න සූදානම් පිරිසක් අපිට අවශ්‍යයි. පවතින යථාර්ථයට නිර්දය ලෙස විවේචනාත්මක වෙන පිරිසක් අපිට අවශ්‍යයි. අන්න එහෙම පිරිසක් තමයි 88 – 89දි ජීවිත පරිත්‍යාග කළේ.
ලෝක ඉතිහාසයේ මුල ඉඳලම එහෙම අය හිටියා. මාරි කියුරි, හයිපොතේසියා, ගැලීලියෝ ගැලීලි එවැනි පුරාවෘත්ත කීපයක්. නමුත් අද අපි කතා කරන්නේ සමාජ ප්රගමනය වෙනුවෙන් කළ අරගලයේ වීරයන් ගැන. ස්පාටකස්, කාල් මාක්ස්, ලෙනින් වගේම රෝහණ විජේවීර, ගමනායක, ඉඩමේ ගම, ඉරේෂා පොල්ගම්පල වගේ දහස් ගණනක් සහෝදර සහෝදරියෝ ඒ වීරත්වය නියෝනය කරනවා.ඒ කැපවීම් පිටිපස්සෙ තිබුණේ එක අරමුණයි ඒ තමයි සමාජවාදය.
ඉතිහාසයට 88_89ක් නිකම්ම උදාවුණේ නැහැ. අද තියෙන දේශපාලනය ගැන කිරා මැන බැලීමක් ගන්න ඒ ඉතිහාසය හාරල අවුස්සලා බලන එක වැදගත් වෙනවා. 1977 දි මෙරටට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ගෙනාවා. ඒකෙන් දේශීය කුඩා පරිමාණ ව්‍යාපාර සම්පූර්ණ කඩා වැට්ටුවා. රාජ්‍ය අංශය අභාවයට යවලා පෞදගලික අංශයට මහාපරිමාණ ව්‍යාපාරවලට අවස්ථාව දුන්නා. එහෙම ධන කුවේරයන්ට මේ රටේ ජනතාවගේ රීරිමාංශයම හූරා කන්න අවස්ථාව හදලා දෙන්නයි ඒ ක්‍රමය රකින්නයි තමයි 1978 දි ජේ ආර්ගේ ඒකාධිපති ව්‍යවස්ථාව ආවේ. මේ විධායක ජනාධිපති ක්‍රමය පිළිලයක් ඒ නිසා ඒක අහෝසි වෙන්න ඕන කියලා අන්න ඒ නිසයි එදා ඉඳලා ජනතාවිමුක්ති පෙරමුණ ප්රමුඛ වාමාංශික ව්‍යාපාර සඨන් කළේ.
JR එදා කොහොමද පටන් ගත්තෙ?
නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ගෙනාවා
විපක්ෂනායිකාවගේ ප්‍රජා අයිතිය නැති කරා.1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවා. 1980 ජූලි වැඩ වර්ජනය මර්දනය කළා. කම්කරු නීති සංශෝධනය කරලා ධනකුවේරයන්ට කම්කරුවා හූරගෙන කන්න ඉඩ හැදුවා.1982 ජනමත විචාරණය හරහා ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතියක් වුණ ඡන්දය කල් දැම්මා. 1983 දී JVP ඇතුළු පක්ෂ 3ක් තහනම් කළා.1980 දශකය පුරාම හදිසි නීතිය තමයි ක්‍රියාත්මක වුණේ. ඊටපස්සෙ වගකීමෙන් ආරක්ෂා වීමේ පනත ගෙනල්ලා පොලීසියයි හමුදාවයි අමු අමුවේ මිනිස්සුන්ව ඝාතනය කරන්න පටන් ගත්තා. මේ ඔක්කොම කළේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ඉස්සරහට දක්කන්න.
අද අපි මේ ඉන්නෙත් ඒ ඉතිහාසයම පුනරාවර්තනය වෙන වෙලාවක. එදා බරපතළ මර්දනයකට මුහුණ දෙමින් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සඨන් වැදුණු ජනතා විමුක්ති පෙරමුණ තමයි අද ආණ්ඩු බලයේ ඉන්නේ. හැබැයි අද ඔවුන් මහජනතාවට එරෙහිව අවි ඔසවමින් ඉන්නවා. IMF වැඩ පිළිවෙල ඉන්දියානු ඇමරිකානු උවමනාවන් වෙනුවෙන් තමයි ආණ්ඩුව අද පෙනී ඉන්නේ. දැන් ඔන්න 2027 අයවැය පාර්ලිමේන්තුවට දැම්මා. මේ අයවැයෙනුත් ජනතාවගේ බදුබර අඩු කරන්න කිසිම වැඩපිළිවෙළක් නැහැ. සොයලු බදු සහන දීලා තියෙන්නේ ගජමිතුරු ධනකුවේරයන්ට. ඒ නිසා තමයි අර ඩඩ්ලිලා හිනාවෙවී ගිහිල්ලා හිටියේ පාර්ලිමේන්තුවේ පාටියට. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තේ රටේ ප්රජාතන්ත්රවාදයට ලැදි ජනතාවගේ මතයට එරෙහිව ගිහිල්ලා. තමන්ට හිතවත් කෙනෙක් තනතුරේ තියාගන්න මුලු ව්යවස්තාවම වෙනස් කළා. කවුරු විරුද්ධ වුණත් අපිට ඕන දේ අපි කරනවා කියලා කෙරුම්කාරකමෙන් තමයි ආණ්ඩුව දැන් වැඩ කරමින් ඉන්නේ. මේගොල්ලො හිතාගෙන ඉන්නේ ලැබුණු ජන වරම දේව වරමක් කියලා. තව අවුරු සීයක් යනකල් ඒගොල්ලො ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන තමයි වැඩ කරන්නේ. PTA එක ඇතුලු මර්දන නීති අහෝසි කරනවා කියලා ඇවිත් දැන් ඊටත් වඩා භයානක මර්දන පනත් දෙකක් PSTA – POCA අරං ඇවිත් තියනවා. මුලින්ම ආණ්ඩුව උත්සහ කළේ තමන්ගේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මේ පනත් බලහත්කාරයෙන් සම්මත කරගන්න. හැබැයි එල්ල වුණ ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවට අඩියක් පස්සට ගන්න වුණා.
අපි දන්නවා පොලීසිය පහුගිය කාලේ නීතිය අතට අරං හැසිරුණු විදිහ. පොලීසියට වලහෙක් ඕන වුණාම කරන්නේ කැලේ ඉන්න හාවෙක් අල්ලගෙන ඌ වලහෙක් කියලා පිළිගන්නකං ඌට පහර දෙන එක. එහෙම තමයි මේ රටේ හමුදාව පොලීසිය වැඩ කරන්නේ. එහෙම පොලීසියකට හමුදාවකට අත්තනෝමතික බලයක් දෙන විදිහට තමයි ආණ්ඩුව මේ අලුත් PSTA සහ POCA පනත් හදලා තියෙන්නේ. ඉතිහාසය පුරාවට රාජ්‍ය මර්දනයෙන් බැට කාපු ව්‍යාපාරයක් තමයි අද මේ රාජ්‍ය මර්දන යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ලෑස්ති වෙන්නේ. ලිබරල් ප්රජාතන්ත්රවාදය පවා ලෝකෙ මිනිස්සු දිනාගත්තෙ දැවැන්ත අරගලයක් කරලා. අත්තනෝමතික බලයක් තිබුණු රාජාණ්ඩුවාදය අහෝසි කරලා තමයි බලය විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන ව්‍යුහයන් තුනකට බෙදුවේ. දැන් මේගොල්ලො අධිකරණය සතු බලයක් තමයි නැවත විධායකය අතට ගන්න යන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ශපථ කරපු ව්‍යාපාරයක් අද විධායකයේ අත්තනෝමතික බලය තවත් වැඩි කර දෙන්න නීති හදමින් ඉන්නවා.
මේ මොහොතේ ඛේදවාචකය තමයි ඉල්විරුවන් සමරන්නයි. ඉල් විරුවන්ව මර්ධනය කරපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා භයානක පනතක් ගේන්නයි හරියටම ඉල් මාසය, ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව තෝරාගෙන තියෙන එක. ඒ විතරක් නෙවෙයි මහ බැංකු අධිපති කියනවා ගන්න තීරණ රටට හොඳ යි. ජනතාවට නරකයි කියලා, අද ජනතාවගේ ආර්ථිකය තියෙන්නේ කොතනද? රටේ දරුවන්ගෙන් බහුතරයකට මන්දපෝෂණය හැදිලා. වතුකරයේ ගැහුණු දරුවන්ගෙන් 50%කට වඩා අයිඩින් ඌනතාවයෙන් පෙළෙනවා. රෝහල්වල ඖෂධ නැතුව ලෙඩ්ඩු මැරෙනවා. ජනතාවගේ ආර්ථික හැකියාව බින්දුවටම වැටිලා. හම්බකරන වැටුපෙන් දෛනික අවශ්‍යතා ටිකවත් පිරිමසා ගන්න විදිහක් නැහැ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කිව්වට මිනිස්සුන්ගේ ජීවිත එක දශමයකින්වත් ලස්සන වෙලා නැහැ. ධනකුවේරයෝ ටිකක් නම් තව ටිකක් පොහොසත් වෙලා තියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ආර්ථිකය ගෙනත් තියෙන්නේ ඉතාම බරපතළ තැනකට
එක්සත් ජනපදය, ඉන්දියාව බරපතළ විදිහට රටේ දිශානතියට මැදිහත් වෙනව. මේ අර්බුදය කුමන හෝ මොහොතක බලකරමින් සිටින්නේ නැවතත් මහජන නැගිටීමකට. ඒක දන්න නිසයි ආණ්ඩුව මර්දන යාන්ත්‍රනය මුහත් කරමින් ඉන්නේ. නමුත් ඒ ප්රජාතන්ත්රවිරෝධී වැඩ හමුවේ නිහඬව බලාගෙන ඉන්න අපි සූදානම් නැහැ. ඒ මහජන නැගිටීම සමාජවාදී ජයග්‍රහණයකින් කෙළවර කරගන්න අපි සමත් විය යුතුයි. ඉල් විරුවන්ට දිය හැකි සැබෑ ගෞරවය තමයි ඒක. “

























