Sunday, August 9, 2026
HomeNEWSවිපක්ෂයේ සිටින විට නිදහස වෙනුවෙන් කෑගැසූ ජවිපෙ අද තනිකරම යන්නේ ඒකාධිපති ගමනක්-...

විපක්ෂයේ සිටින විට නිදහස වෙනුවෙන් කෑගැසූ ජවිපෙ අද තනිකරම යන්නේ ඒකාධිපති ගමනක්- සුජීව සේනසිංහ

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘රටේ ජනතාව බලාපොරොත්තු නොවුණ ආකාරයේ සිදුවීම් ගණනාවක් සිදුවෙමින් පවතිනවා. කෙසේ නමුත් මේ වනවිට ආණ්ඩුවට රටේ තිබෙන බන්ධනාගාර පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උත්ගත වී තිබෙනවා. රජය භාරයේ සිටින රැඳවියන් පාලනය කර ගැනීමට නොහැකි ආණ්ඩුව රටක් පාලනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවෙනවා. රටේ බන්ධනාගාර තුළ ඇතිවන නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා සාමාන්‍ය ජනතාවත් මේ වනවිට බියට පත්වී සිටිනවා. මේ වනවිට බන්ධනාගාරවල 45,000 කට අධික රැඳවියන් ප්‍රමාණයක් සිටිනවා. නමුත් එම ප්‍රමාණය රට තුළ තිබෙන බන්ධනාගාර වලට දරා ගැනීමට නොහැකියි. ඒ වගේම නිසි ලෙස පරීක්ෂණ අවසන් නොකිරීම නිසා 15,000 කට අධික සංඛ්‍යාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ වගේම ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනම නොසන්සුන්තාවයන් ඇති වී තිබෙනවා. මෙම බන්ධනාගාරවලට විශාල හානියක් මේ වනවිට සිදුවී තිබෙනවා. ඇතිවූ නොසන්සුන්තාවලින් මේ වනවිට රැඳවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ වගේම තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වෙනවා. කෙසේ නමුත් මෙම තත්ත්වයන් ආණ්ඩුවේ නොහැකියාව නිසා ඇති වෙනවාද එසේ නැතිනම් ආණ්ඩුව විසින් මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් බන්ධනාගාර තුළ ඇති කරනවාද යන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම රට තුළ හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කර ගැනීමට ආණ්ඩුව මෙවැනි උත්සායක නිරත වෙනවාදැයි සැකයක්ද මතුවෙනවා.

ඒ වගේම බන්ධනාගාරවල සිටින ජේලර්වරුන් සහ නිලධාරීන්ට සුළු වැටුපකට ජිවිතය බිලි දෙන්න සිදුවෙලා තිබෙනවා. යහපාලන රජය සමයේදී ජේලර්වරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් ඔවුන්ගේ වැටුප් වැඩි නොකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් මගේ වැටුප් වැඩි නොකරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා. ජිවන වියදම ඉහළ ගොස් තිබෙන අවස්ථාවක ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගෙන ගෙවුණ වසර දෙක තුළ බිලියන 100 කට අධික මුදල් සොරකම් සිදුවී තිබෙනවා. පෙළ පොත් මුද්‍රණයේදී සිදුවූ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් තවම විමර්ශනයක් නැහැ. ඒ වගේම බහලුම් 323 ක් හොර රහසේ වරායෙන් පිටත් කිරීම හරහා සිදුවුණ පාඩුව තවම ගණනය කරලා නැහැ , ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම හරහා රටට බිලියන 10 ක පාඩුවක් සිදුවී තිබෙනවා. මේ වනවිට පුණර්ජනනීය ආයතන 390 කට ආණ්ඩුවට මුදල් ගෙවීම් සිදුකරලා නැහැ. ඒ වගේම NDB ආයතනය බිලියන 13 ක පාඩුවක් ලබා තිබෙනවා. ඒ වගේම මහාභාණ්ඩාගාරයේ මුදල් වංචාවක් සිදුවී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ විශාල මුදල් වංචාවක් සිදුවී තිබෙනවා. මේ කාරණා හේතුවෙන් රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමරිසි ප්‍රනාන්දුට මරණ දඩුවම හිමිවෙනවා. නමුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට මුදල් වියදම් කළ පුද්ගලයාට කිසිදු දඩුවමක් ලබා දෙන්නේ නැහැ. එම පුද්ගලයා ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුවේ සිටි නිසා ඔහුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙවැනි නඩු විසදෙන්නේ කෙසේදැයි කියන ප්‍රශ්නය මතුවෙනවා.

ඒ වගේම ආණ්ඩුව මේ වනවිට ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කරන්න කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ආණ්ඩුවට හිතවත් පුද්ගලයන් ඉහළ අධිකරණවල විනිසුරු ධුරයේ තබාගන්න කටයුතු කරනු ලබනවා. ව්‍යවස්ථාදායක සභාව හරහා ඉහළ අධිකරණවල විනිසුරුවරුන් තෝරා පත් කරගන්නේ නැතිව වෙනම ක්‍රමවේදයකට ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. කෙසේ නමුත් අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට අධිකරණයේ ස්වාධීනත්වය සඳහා සටන් කළා. බලය ලැබුණාට පසු ඔහු දැන් ඒකාධිපතිවරයෙකු ලෙස කටයුතු කරනු ලබනවා. ඒ වගේම අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කරන ලෙස රටේ තිබෙන සියලුම සංගම් සහ ජාත්‍යන්තර සංගම් විරෝධය පළ කර තිබෙනවා. නීතියේ ආධිපත්‍යයට ගරු කරන රටවල් ආණ්ඩුව අධිකරණය සම්බන්ධයෙන් ගැනීමට නියමිත තිරණය සම්බන්ධයෙන් දැඩි විරෝධිය පළ කර තිබෙනවා. මීට පෙර මෙවැනි ප්‍රකාශ විදේශීය රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන නිකුත් කරලා නැහැ. ඒ වගේම ආගමික නායකයන්ද මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා. ඒ වගේම අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබෙන නඩු ප්‍රමාණය අවම වී ඇති බව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළා. ඉහළ අධිකරණ සම්බන්ධයෙන් ජනතා විශ්වාසයත් මේ වනවිට පලුදු වී තිබෙනවා.

ඒ වගේම අධිකරණ විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කරන ලෙස අධිකරණ විනිසුරුවරු ප්‍රකාශ කරලා නැහැ. ඒ වගේම තමන්ගේ කාලයට පසුව පැමිණෙන විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කරන ලෙස වර්තමාන අගවිනිසුරුවරයා රජයෙන් ඉල්ලිමක් කරාවි යැයි සමගි ජනබලවේගය විශ්වාස කරනවා. කෙසේ නමුත් ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කරන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මෙය ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ දැඩි අවශ්‍යතාවය නිසයි සිදුකරන්නේ. මේ හරහා රටට විශාල බලපෑමක් සිදුවෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවට ජනවරම ලබාදුන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නයි. නමුත් එය අමතක කර වර්තමාන ආණ්ඩුව කටයුතු කරනවා. ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ කිසිදු දෙයක් මේ වනවිට ඉටු කරලා නැහැ. රටේ සැප විසින්නේ ආණ්ඩුවේ සිටින 159 දෙනාට සහ පැලවත්තේ පිරිසට පමණයි. රටේ සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා. රට ණය ප්‍රමාණය ට්‍රිලියින 32 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණයට ක්‍රමයෙන් අඩු වී යනවා. මේ කාරණා නිසා ජනතාවට විශාල අර්බුද ගණනාවකට ඉදිරියේදී මුහුණ දෙන්න සිදුවේවි.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි පළමුවරට එළියට

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හමුවේ මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ දර්ශනයකට පෙනී නොසිටි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ පටයක් එරට රාජ්‍ය අනුග්‍රහය...

2026- LPL ශූරයෝ ගෝල් ගැලන්ට්

2026 වර්ෂයේ ලංකා පිුමියර් ලීග්(LPL) ක්‍රිකට් තරගාවලිය ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරාජය කරමින් ගෝල් ගැලන්ට් කණ්ඩායම ඊයේ රාත්‍රී(08) සමත් විය. මෙම තරඟය පැවැත්වුණේ...

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට විශේෂ පුහුණුවක්ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව, ඉන්දීය රජයේ...

ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න- ඒකාබද්ධ විපක්ෂය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img