හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මඟ දමාගොස් තිබියදී පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් අද (01) සොයා ගත්තේය.
පොලීසිය පැවසුවේ එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බවය.
පිටකොටුව වේල්ල වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට තිබූ සැක සහිත ගමන් මල්ලක් පිළිබඳ වෙළෙඳසැල් හිමියකු අද වේල්ලවීදිය පොලීසියට තොරතුරක් ලබාදී තිබේ.
“එක හමාරට විතර දැක්කේ. ඊට පස්සේ තැඹිලි විකුණන එක්කෙනා උදේ ඉදලම දැකලා පාර්සලයක් තියෙනවා කියලා. පොලීසියෙන් ආවට පස්සේ මාත් ඇරලා බැලුවේ මොනවා ද තියෙන්නේ කියලා. “
ඒ අනුව පොලීසිය කළ සෝදිසියේදී එම කාන්තා මළ සිරුර සොයා ගැනුණි.
එම සිරුරේ හිස කඳින් වෙන්කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිරුර බහා තිබූ ගමන් මල්ල පුද්ගලයෙකු රැගෙන විත් මෙම ස්ථානයේ දමා යන අයුරු සී.සී.ටීවී කැමරාවක සටහන් වී තිබුණි.
අද පස්වරුවේ පොලිස් නිල සුනඛයෙකු ද යොදාගනිමින් එහි පරීක්ෂා කිරීම් සිදුකළේය.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (02) සිදුකිරීමට නියමිතය.






















