දේශපාලන විරෝධයක් මුල් කරගනිමින් වෛද්‍යවරයක් විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය දැඩිව හෙළාදැක තිබේ.
එම සංගම් පෙන්වා දෙන්නේ අදාළ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය පූර්වාදර්ශයක්වීම මෙරට සමාජයට හානිකර විය හැකි බවය.
සංචාරක සහ මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීමට ගිය විට ආදළ වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්විය.
මෙලෙස ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ පෝෂණවේදී, මහාචාර්ය වෛද්‍ය රනිල් ජයවර්ධන මහතාය.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා චැනලින් අංකය අනුව අවස්ථාව එනතුරු සිටින බව දැනගත් මෙම වෛද්‍යවරයා රෝගී දේශපාලනඥයින්ට ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරන බැවින් වෙන්කිරීමේ ගාස්තුව නැවත ලබාගෙන පිටව යන ලෙස හෙදියක් මාර්ගයෙන් දැන්වූ බව අමාත්‍යවරයාගේ පාර්ශ්වය පවසයි.
කෙසේවෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම වෛද්‍යවරයාගෙන් මීට පෙර අවස්ථා දෙකකදී ප්‍රතිකාර ලබාගෙන ඇතැයි සඳහන්ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසන්නේ රෝගියකුට වෙනස්කොට සැලකීම හේතුවෙන් මහාචාර්ය වෛද්‍ය රනිල් ජයවර්ධන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,
“මේ හැසිරීම පිළිබඳ කනගාටු වනවා. ඔහු භයානක වැරදි කිහිපයක් කරලා තිබෙනවා. වෛද්‍ය ආචාරධර්ම කඩ කරලා. මගේ ළඟටත් රෝගීන් එනවා. මට කියන්න පුළුවන්ද ඔයාගේ ප්‍රශ්න කියන්න එපා.. ඔයා 69 ලක්ෂයේ කෙනෙක් කියලා. කොළඹ විශ්වවිද්‍යාලය විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. වෛද්‍ය ශිෂ්‍යයින් පුහුණු නොකළ යුතුයි. රටට ආදරේ නම් නොමිලේ ප්‍රතිකාර කරන්න ඕනේ. ව්‍යාජ රංගනයක යෙදෙන්න එපා. අරගලයට සැබෑ පාර්ශ්වකරුවෙක් වන්න.”
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා,
“අපි ළඟට එන සෑම පුද්ගලයෙකුටම අපි ප්‍රතිකර්ම කළ යුතුයි. ත්‍රස්තවාදීන්ට පවා අපි ප්‍රතිකාර කළ යුතුයි. මේ සිදුවීම පූර්වාදර්ශයක් කළ යුතුයි. ප්‍රශ්නයට විසඳුම ඔතන නෙමෙයි තියෙන්නේ. වෛද්‍යවරුන් වගකීමෙන් කටයුතු කළ යුතුයි.”
චෝදනාවට ලක්ව සිටින මහාචාර්ය වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා සම්බන්ධ කරගැනීමට අප අවස්ථා කිහිපයකදී උත්සහ කළත් ඔහු කෙටි පණිවිඩයකින් දැනුම් දී තිබුණේ තමාට මේ මොහොතේ ප්‍රතිචාර දැක්විය නොහැකි බවය.
කෙසේවෙතත් ලංකා හොස්පිටල් කෝපරේෂන් පී.එල්.සී සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රෝගියෙකු හමුවීම ප්‍රතික්ෂේප කිරීම වෛද්‍යවරයාගේ තීරණයක් බවය.
එසේම මෙම සිද්ධිය පාදක කරගනිමින් කිසිදු වෛද්‍යවරයෙකුගේ සේවය අත්හිටුවා නොමැති බවද එම රෝහල තහවුරු කර තිබේ.






















