Wednesday, July 29, 2026
HomeNEWSශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස්

ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරපු ආණ්ඩුකාරතුමා කිසිම විදියකට උත්සාහ දැරුවේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩකටයුතු සම්බන්ධයෙන් අතපෙවීමට. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වයට හා ස්වාධීනත්වයට සම්පූර්ණ සැලකිල්ල දැක්වූවා.

හැබැයි අද අවාසනාවකට මෙන්, වර්තමාන රජයේ උත්සාහ දරනවා ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමට. දේශපාලන හස්තයක් මාර්ගයෙන් අධිකරණයේ කටයුතු හැසිරවීමට සැලසුම් සහගත විධිමත් උත්සාහයක් ගන්නා බව තමයි අද අපි ඇස් පනාපිට දකින්නේ.

අපි කියනවා නම්, විධායකය උත්සාහ දරනවා කියලා අධිකරණය ආක්‍රමණය කිරීමට. ඒක තමයි ඇත්ත කතාව. ඒක කිසිසේත් අතිශයෝක්තියක් නෙවෙයි.

පෙර අපර දිග සියලුම නීති පද්ධති ඉතිහාසයේ ආරම්භයේ සිට ගරු කරපු එක මූලධර්මයක් තියෙනවා. ඒ තමයි තමන්ගේම නඩුව තමන්ට අහන්න බැරිය කියන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ විනිශ්චයකාරවරයෙකුට යම්කිසි බැඳීමක් තියෙනවා නම්, එවන් අවස්ථාවකදී සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නැහැ ඒ විනිශ්චයකාරතුමාට සෘජුව මේ සම්බන්ධ නඩුවක් ඇසීමට.

ඒක අවිවාදිතයි. ශිෂ්ටාචාරයේ සභ්‍යත්වයේ ආරම්භයේ සිට අද දක්වා, ග්‍රීක යුගය, රෝම යුගය, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ නීති දාර්ශනිකයන් හැමදෙනෙක්ම අවිවාදයෙන් පිළිගත්ත ප්‍රතිපත්තියක් තමයි ඒක. තමන්ගේ නඩුව තමන්ට අහන්න බැහැ කියන සත්‍යය.

රජයේ උත්සාහය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට වැඩිපුර අවුරුදු දෙකක් දෙන්න. එතකොට ඒක ලොකු වාසියක්, ලොකු වරප්‍රසාදයක්. දැන් ඒකේ නිත්‍යානුකූලභාවය ගැන අවසාන නිගමනයකට එළඹීමේ වගකීම කිසිසේත් ඒ විනිශ්චයකාරවරුන්ටම පැවරීමට පුළුවන්කමක් නැහැ. ඒගොල්ලෝ ඒකෙන් කෙලින්ම වාසියක් ලබාගන්නා පුද්ගලයෝ.

එහෙනම් මේක බාරදෙන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා ඉහළ උසාවියකට. එහෙම ඉහළ උසාවියක් අද අපේ රටේ තිබෙනවා. ඒ උසාවිය තමයි ජනතා අධිකරණය. මේ ප්‍රශ්නයේ අපේ ස්ථාවරය ඉතාමත් පැහැදිලියි මේ සම්බන්ධයෙන්. අපේ ස්ථාවරය තමයි මේ පිළිබඳ අවසාන තීරණ ගැනීමේ වගකීම ශ්‍රී ලංකා ජනතාවට පවරන්න ඕනේ, සෘජුව.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් පමණක් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජනමත විචාරණයක් අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි. අපි ඒකෙදි ඉතාමත් එඩිතරව, පැහැදිලිව ප්‍රකාශ කිරීමට හේතුවක් තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන කුළුණක් දුර්වල කිරීම නෙවෙයි, සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට. ඒ කුළුණ තමයි අධිකරණයේ ස්වාධීනත්වය.

ඒක ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යූහයේ කැපී පෙනෙන ලක්ෂණයක්, කේන්ද්‍රීය ලක්ෂණයක් වෙනවා. ඒක කිසිම ආකාරයකින් සංශෝධනය කිරීමට, දියාරු කිරීමට උත්සාහ දරනවා නම්, ඒක පාර්ලිමේන්තුව හරහා පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගකීම කෙලින්ම අපේ රටේ ජනතාවට බාර දෙන්න ඕනේ. එසේ බාරදීම සඳහා යන්ත්‍රණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලිව පිළිඅරන් තියෙනවා. ඒ යන්ත්‍රණය තමයි ජනමත විචාරණය.

මොකද අපේ රටේ පරමාධිපත්‍යය තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවෙයි. පරමාධිපත්‍යය සතුවන්නේ වෙන කාටවත් නෙවෙයි, ශ්‍රී ලංකා ජනතාවට, අපේ පුරවැසියන්ට.

දැන් හෙට ඉතාමත් වැදගත් දෙයක් සිදුවෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සම්පූර්ණ සහභාගීත්වයෙන්, ඒ කියන්නේ සියලුම සාමාජිකයන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන් හෙට රැස්වෙනවා විශේෂ සාකච්ඡාවකට. අද වන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉන්නවා රට පුරාම සාමාජිකයන් විසිහය දහසක් (26,000). ඒ කියන්නේ අපේ රටේ සම්පූර්ණ නීතිඥ ප්‍රජාව නිල වශයෙන් නියෝජනය කරන සංවිධානය තමයි නීතිඥ සංගමය.

එතකොට නීතිඥ සංගමයේ හෙට රැස්වීමක් කැඳවලා තියෙනවා රජයේ මේ යෝජනාව, මේ වැඩපිළිවෙල සාකච්ඡාවට භාජනය කිරීම සම්බන්ධයෙන්. දැන් ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය තව අවුරුදු දෙකක් දීර්ඝ කිරීමට. ඒක අද පුවත්පත්වල පවා ප්‍රකාශ වෙලා තියෙනවා.

දැන් මේ තීරණය ගන්න අය කාත් එක්කද සාකච්ඡා කළේ? මේ රටේ නීතිඥ සංගමය එක්ක කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ. නීතිඥ සංගමයේ සභාපතිවරයා හා නිලධාරී මණ්ඩලය ලිපි තුනක් යවලා තියෙනවා. ලිපි දෙකක් අධිකරණ ඇමතිවරයාට, එක ලිපියක් ගරු ජනාධිපතිතුමාට. කිසිම පැහැදිලි ප්‍රතිචාරයක් මේ දක්වා නැහැ.

මේක සුළුපටු නොවැදගත් දෙයක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ අනාගතයට සෘජුව බලපාන දෙයක්. මෙතරම් වැදගත් කාරණයක් සම්බන්ධයෙන් කිසිම සංවාදයක්, සාකච්ඡාවක්, කොහෙත්ම අපේ සමාජයේ නැහැ. සම්පූර්ණයෙන්ම රහසිගතව, හැංගි හොරා කරන්න බලාපොරොත්තු වෙන වැරදි වැඩක්.

වෙන රටවල් වල මෙහෙම යෝජනාවක් ඉදිරිපත් වුණාම අවුරුදු එකහමාරක් දෙකක් අඛණ්ඩව සාකච්ඡා කළා. විශ්වවිද්‍යාලවල, නීතිඥ ප්‍රජාවේ, විනිශ්චයකාරවරුන්ගේ අදහස් උදහස් විමසා සිටියා. ඒ සියල්ලක්ම ගැඹුරින් අධ්‍යයනය කරලා තමයි අවසාන තීරණය ගත්තේ. එහෙම කිසිම සාකච්ඡාවක් නැහැ. කිසිම විනිවිදභාවයක්, විවෘතභාවයක් නැහැ. ඒ විදියට මේ විදිය සංශෝධන කිරීමට කිසිසේත් පුළුවන්කමක් නැහැ.

කැබිනට් මණ්ඩලය තීරණයක් ගන්න ඉස්සෙල්ලා සාකච්ඡා කරන්න ඕනේ. තීරණය අරන් ඊට පස්සේ නීතිඥ සංගමය හමුවීමේ ප්‍රයෝජනය මොකක්ද? ඇයි මේක මේ විදියට හැංගි හොරා කරන්නේ? කාටත් තියෙන පැහැදිලි හේතුවක් තියෙනවා. රජය අවංකව කටයුතු කරන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. මෙය කිරීම සඳහා ඉදිරිපත් කරන හේතුව ව්‍යාජ හේතුවක්. කවුරුත් පිළිගන්නේ නැහැ. ආණ්ඩුවත් හොඳහැටි දන්නවා ඒක නෙවෙයි කියලා ඇත්ත හේතුව.

මොකක්ද ඔවුන් ඉදිරිපත් කරන හේතුව? ඉදිරිපත් කරන හේතුව තමයි නඩු ගොඩගැහිලා තියෙනවා, මේ නඩු විසඳලා ඉවර කිරීම සඳහා මේ පියවර අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය අවුරුදු දෙකක් දීර්ඝ කිරීම අවශ්‍යයි කියලා ගොඩගැහිලා තියෙන නඩු ඉක්මනට විසඳීම සඳහා. මෙය සම්පූර්ණ අසත්‍යයක්!

ගැටලුවයි යෝජිත ප්‍රතිකර්මයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කළා. ඒ කියන්නේ අලුතෙන් විනිශ්චයකාරවරුන් 6 ක් පත්කිරීමට ඉඩකඩ සැලසුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා. අභියාචනා අධිකරණයේ ඉස්සෙල්ලා හිටියේ විනිශ්චයකාරවරුන් 12 යි. ඒක 20 දක්වා 8 කින් වැඩි කළා. මේ ඔක්කොම කළා.

හැබැයි ඒවා කරලා ඊට පස්සේ මොකක්ද වුණේ? පුරප්පාඩු පුරවන්නේ නැහැ. මාස ගාණක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4 යි, අභියාචනා අධිකරණයේ පුරප්පාඩු 4 යි. එතකොට විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරලා මොකක්ද ප්‍රයෝජනය පුරප්පාඩු පුරවන්නේ නැතිනම්? එතකොට මේ ගොඩගැහිලා තියෙන නඩු ඉක්මනට විසඳීම නෙවෙයි මේකේ පරමාර්ථය.

දැන් මේ සම්බන්ධයෙන් මේකට පක්ෂව කතා කරන්නේ? දැන් ඊයේ දවස තුළ කඩුවෙල, ගාල්ල, ගම්පහ, මහනුවර නීතිඥ සංගම් – ඒ ඒ ප්‍රදේශවල නීතිඥයන් එකහෙළා ප්‍රකාශ කරලා තියෙනවා මේක අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා, මේක සුභදායී වැඩපිළිවෙලක් නෙවෙයි කියලා, මේකෙන් කිසිම හොඳක් වෙන්නේ නැහැ, නඩු විසඳීම ඉක්මන් වෙන්නේ නැහැ කියලා බොහෝම පැහැදිලිව ඒ අය ප්‍රකාශ කරලා තියෙනවා.

ඒ වගේම මේ රටේ මහේස්ත්‍රාත්වරුන් හා දිසා අධිකරණවල විනිශ්චයකාරවරුන් මේ සඳහා එකහෙළා දැඩි විරෝධය ප්‍රකාශ කරලා තියෙනවා. ජනාධිපති නීතිඥවරුන් ඊයේ රැස්වෙලා හේතු සහිතව මේකට විරුද්ධ වන්නේ මොකද කියලා ප්‍රකාශ කළා. රජයට කෙලින්ම සම්බන්ධ අය පවා ඒ මතයේ සිටියා.

එතකොට මේ කරන්නේ යම්කිසි පටු දේශපාලන අරමුණක් ඉෂ්ට කරගැනීම සඳහා දියත් කරලා තියෙන වැඩපිළිවෙලක්. අපි මෙතෙක් දුරට ගරු කරලා, අපේ රටේ සංස්කෘතියේ අන්තර්ගත කොටසක් වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම මේකෙන් සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇද වැටෙනවා.

ඒ නිසා අපි බොහෝම පැහැදිලිව කියනවා, ජනමත විචාරණයකින් තොරව මෙය කරන්න බැහැ! ඒක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් විරුද්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ, 83 වන වගන්තියෙන් සුරක්ෂිත වන ලක්ෂණ – ඒවාට අත තියන්න නම් ජනතාවගේ සෘජු කැමැත්ත ලබාගත යුතුයි. ඒ කැමැත්ත ලබාගැනීමට තියෙන උපක්‍රමය තමයි ජනමත විචාරණය.

එහෙනම් ඇයි බය වෙන්නේ? ජනතාව කැමති නම් කරමු! ජනතාව තමයි අවසාන අධිකරණය. මේ ප්‍රශ්නය ජනතාවට ඉදිරිපත් කරමු. මොකක්ද ජනතාවගේ කැමැත්ත, ජනතාවගේ අදහස මොකක්ද බලමු. අන්න ඒ අනුව මේ ප්‍රශ්නය නිරාකරණය කරමු. ඒ සඳහා අපි රජයට බලකරනවා ජනමත විචාරණයක් පවත්වන්න කියලා!

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා

රාජ්‍ය සේවකයින්ගේ වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව තුළ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මුල් කාලයේ තිබුණේ රාජ්‍ය සේවකයන්ගේ සේවා කාලය වයස අවුරුදු 60යි.

මට අවස්ථාව ලැබුණා 2001 – 2004 ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා හැටියට කටයුතු කරන්න. ඒ අවස්ථාවේදී වාර්ෂිකව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මේසය උඩ ලිපිගොනු ගොඩගැහෙනවා වයස අවුරුදු 55 ඉඳලා 60 දක්වා කෙසේද සේවා කාලය දීර්ඝ කරන්නේ කියන ලිපිගොනු.

කොහොම නමුත් දැන් මේ ප්‍රශ්නය ඇතිවෙන්න කාරණා කිහිපයක් තිබෙනවා. එකක් 1971 අප්‍රේල් කැරැල්ලෙන් පස්සේ, ඒ වගේම 1987, 1988, 1989 ඇතිවුණු තරුණ කැරළි කිහිපයක් නිසා කොමිෂන් සභාවක් පත් කරනවා තරුණ අසහන කොමිෂන් සභාව හැටියට. එහි උප සභාපතිවරයා හැටියට කටයුතු කරන්නේ මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා.

මම කියනවා වර්තමාන ආණ්ඩුවට ඒ වාර්තාව අරගෙන කියවා බැලුවොත් හොඳයි. ඒ කමිටුවේ හිටියා ජයතිලක මැතිතුමා මගේ කල්පනාවේ හැටියට. ඒ වාර්තාවේ සඳහන් වෙනවා තරුණ අසහනය ඇතිවීමට ප්‍රධාන හේතුවක් තමයි විරැකියාව කියලා. ඒ නිසා තමයි පසුකාලීනව මේ 60 වයස් සීමාව 55 දක්වා අඩු කිරීම සිදුකළේ.

2001දී මට අවස්ථාව ලැබුණාම මම කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා මේ සීමාව 60 දක්වා නැවත දීර්ඝ කරන්න කියලා. මට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපතිතුමිය, අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කැබිනට් මණ්ඩලයේ විශාල වාද විවාදයක් ඇතිවුණා මේක කරන්න එපා කියලා. මොකද මෙය තරුණ අසහනයට තුඩු දෙන කාරණයක් නිසා. කෙසේ හෝ ඒ අවස්ථාවේ මේක 57 දක්වා දීර්ඝ කිරීම සිදුකරලා, 58, 59, 60 දක්වා දීර්ඝ කිරීම ආපහු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරුවා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුළ.

ආයෙමත් අර ලේකම්වරයාගේ මේසය උඩ ගොඩගැහෙන කඩදාසි කොළ ප්‍රමාණය වැඩි නිසා පසුකාලීනව නැවත චක්‍රලේඛනයක් නිකුත් කලා වයස 60 දක්වා දීර්ඝ කරමින්. වෛද්‍ය වෘත්තියේ විශේෂඥ වෛද්‍යවරුන්ට 63 දක්වාත්, විශේෂ ඉංජිනේරුවන්ට 62 දක්වාත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කරලා තිබෙන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ වයස් සීමාව වයස අවුරුදු 65 දක්වාත්, රාජ්‍ය යාන්ත්‍රණයේ සේවකයන්ගේ සේවාවන් ඇතුළු මේ සේවා මණ්ඩලවල කරුණු කාරණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සටහන් වී තිබෙනවා.

71 අප්‍රේල් කැරැල්ල අපි මතක තබා ගත යුතුයි, 1987, 1988 කැරැලි අපි මතක තබා ගත යුතුයි. දැන් මේ සියල්ල දිහා බලලා, 1977 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපතිවරයා වූවාට පසුව, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ අපේ අතේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකළා. දැන් මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වැදගත් වගන්තියක් ඇතුළත් කළා. ඒ තමයි ජනමත විචාරණයේ 85, 86, 87 කියන වගන්ති. මේක ඇතුළත් කළේ 1975 සිට 1977 දක්වා පාලනය දීර්ඝ කර ගැනීම ජනතාවගේ අවසරයකින් තොරව සිදුකළායැයි කියන මතය උඩ.

බණ්ඩාරනායක මැතිනියට වෙනම ප්‍රශ්නයක් තිබුණා 1971 සිට 1972 දක්වා රටේ ඇතිවූ කැරැල්ලක් නිසා රටේ සංවර්ධන ක්‍රියාවලිය බාධා වුණු නිසා, එතුමිය දීර්ඝ කර ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවී තිබුණු නිසා ජනමත විචාරණ කාරණා, එතුමිය එසේ දීර්ඝ කර ගත් නිසා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මින් ඉදිරියට පාර්ලිමේන්තුව හෝ වෙන කාරණයක් සම්බන්ධයෙන් දීර්ඝ කිරීම සිදුකරනවා නම්, වෙනත් දෙයක් කරනවා නම් ජනතා අධිකරණයෙන් ඇසිය යුතුයි කියන එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණ වගන්ති 85, 86, 87 වගන්තිවල සඳහන් වී තිබෙන්නේ.

දැන් මේ 85, 86, 87 වගන්තිවල සඳහන් වී තිබෙන කාරණයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටන්ගන්නා තැන සඳහන් කරලා තිබෙනවා වැදගත් කාරණයක්. “මහජන පරමාධිපත්‍යය තුළ පිහිටා ඇත්තේය”. එහෙම නැතුව කියන්නේ නැහැ “පාර්ලිමේන්තුව තුළ පිහිටා ඇත්තේය” කියලා. එහෙම නැතුව කියන්නේ නැහැ “අධිකරණය තුළ පිහිටා ඇත්තේය” කියලා. එහෙනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වී තිබෙන්නේම මහජන පරමාධිපත්‍යය තුළ පිහිටා ඇත්තේය කියලා. එතකොට රටේ ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් තිබේ නම්, ජනාධිපතිවරයාට ඒ වගන්තිය යටතේ ජනමත විචාරණයක් කැඳවීමේ අයිතිය ලබා දී තිබෙනවා. ඒ කියන්නේ සුප්‍රීම් මහජනතාවට මේ අධිකරණයේ යම් යම් කාරණා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී, අපේ මහාචාර්ය පීරිස් මැතිතුමා කීවා වගේ, උදාහරණයක් හැටියට තමන්ගේ නඩුව තමන් ඇසීම වෙනුවට ජනතා අධිකරණයෙන් ප්‍රශ්න කිරීමට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සටහන් කොට තිබෙන්නේ. දැන් එයින් පිට යම් කාරණයක් සිදු වුණොත්, ඒක ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යයට කරන බරපතල ඛේදවාචකයක්. ඒක කෙසේ කොහේ නවතීද කියලා අපිට හිතාගන්න අමාරුයි.

මේ තත්ත්වය 1975 සිට 1977 දක්වා වසර දෙකක් දීර්ඝ කරගත්තාම ඇති වූ ඉතිහාසයත්, 1971 අප්‍රේල් කැරැල්ල නිසා සිදු වූ සිද්ධියත්, 1987, 1988, 1989 කාලයේ ඇති වූ කැරලිකාරී තත්ත්වයත් සලකා බලලා තමයි, මහාචාර්ය පීරිස් මැතිතුමා හිටපු කොමිෂන් සභා වාර්තාවේ ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් සඳහන් කරලා තිබෙන්නේ. මං හිතනවා රජයට වැදගත් වෙයි එය අරගෙන කියවා බැලුවොත්. වර්තමාන රජයේ සිටින ළමයි, ඒ ළමයින්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා විවිධ ස්ථානවලදී. ඒ අය එම වාර්තාව නැවත කියවා බලාගත්තොත් වර්තමාන ආණ්ඩුවට ඉතා වැදගත් කියලා මට මතක් කරන්න පුළුවන්.

මෙය ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යයට සිදුවන බරපතල ඛේදවාචකයක් ලෙසයි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කල්පනා කරන්නේ. අපි යෝජනා කරන්නේත් මේක කිරීමට අවශ්‍ය නම් ජනමත විචාරණය නැමැති වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1978 දී ඇතුළත් කළේම මහජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහායි. එහෙනම් මේ විෂය රජයට කිසිසේත් කරන්න බැහැ. කළ නොහැකි දේවල් ආණ්ඩුව කරනවා, ඒවා කරාම ආපහු reverse කරගන්න වෙනවා.

හැබැයි කළ නොහැකි දේවල් කළොත් එහි ප්‍රතිඵල ඉතා භයානකයි, ඉතා නරකයි, ඉතා අහිතකරයි. විශේෂයෙන් තරුණ පරම්පරාව කෙසේ මේ පිළිබඳව ක්‍රියා කරයිද? දැන් යම් හේතුවක් උඩ එදා මේවා වෙනස් කළේ අපේ ආර්ථිකයේ හැකිලීමත් එක්ක, අපේ ආර්ථිකය ශක්තිමත් ආර්ථිකයක් නොවන නිසා. අපේ ආර්ථිකය විශාල දියුණු ආර්ථිකයක් නම් වයස් සීමාව නොසලකා හැර මේ රටේ ක්‍රියා කිරීමේ ක්‍රියාදාමයකට යන්න පුළුවන්. හැකිළුණු ආර්ථිකයක්, සෘණ ආර්ථිකයක්, කඩා වැටුණු රටක්, මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක් සිදුකළොත්, ඒක මුළු මහත් රටට ඉතාමත් අහිතකර ක්‍රියාවලියක් බව අපි ප්‍රකාශ කරන්න කැමතියි.

ඒ නිසා අපි වර්තමාන රජයට යෝජනා කරන්නේම මේ ප්‍රශ්නය ජනතා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රජය ක්‍රියා කළ යුතුයි. වෙන මාවතක් නොමැති බව සිහියේ තබා ගත යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ පා.ම දයාසිරි ජයසේකර මහතා

පළවෙනි කාරණය තමයි, අපි දන්නවා සාමාන්‍යයෙන් යම් පනත් කෙටුම්පතක් ගේනකොට පාර්ලිමේන්තුවට, ඒකට හේතුවන කරුණු  ගන්නාවූ ක්‍රමයක් තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සාකච්ඡා කරලා, අපේ උපදේශක කාරක සභාවල සාකච්ඡා කරලා, ඊළඟට ඒ සම්බන්ධයෙන් තිබෙන ඉදිරිපත් කිරීම් කිසියම් සංවිධානවලින්, නැත්නම් දේශපාලන පක්ෂවලින්, නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශක, මේ තිබෙන කරුණු මත තමයි සාමාන්‍යයෙන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සාමාන්‍යයෙන් රටේ පාර්ලිමේන්තුවට ගේන්නේ.

දැන් මූලික කාරණය තමයි, මේ සම්බන්ධව, මේ පනත් කෙටුම්පත ගෙන ඒම සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතා කළාද? පාර්ලිමේන්තුවේ පක්ෂ 12 ක් තියෙනවා? ඒ කිසිම දේශපාලන පක්ෂයක් සමඟ, පොදු සාකච්ඡාවක්, මේ සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් කළ යුතුයි කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරලා නැහැ.

දෙවනුව, මේකට අදාළ වන විනිසුරුවරුන් සමඟ, විනිසුරුවන්ගේ සංගම් සමඟ, ආණ්ඩුව හෝ අධිකරණ ඇමතිවරයා සමඟ කිසිම සාකච්ඡාවක් මේ වනතුරු සිද්ධ කරලා නැහැ.

ඊළඟට අනෙක් කාරණය තමයි, ජාතික ජන බලවේගයේ ඉන්නවා නායකත්ව මණ්ඩලයක්. ඒකේ තියෙනවා විධායක සභාවක්. ජාතික ජන බලවේගය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ සමඟ තව විවිධ කණ්ඩායම් ගණනාවක් එකතු වෙලා තමයි මේ ජාතික ජන බලවේගය කියන පක්ෂය, සංධානය ගොඩනැගුවේ.

ඊයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මැතිතුමා බොහොම පැහැදිලිව කිව්වා, කිසිම විදියකට ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ හෝ, විධායක කමිටුවේ හෝ, ඒ කිසිම දේක මේ සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් කරලා නැහැයි කියලා.

එතකොට මේක තමයි අපිට මූලිකවම තියෙන කාරණය. එහෙනම් කාටද මේක උවමනා වුණේ? කවුද මේකේ නිර්මාණකරුවෝ? කාටද උවමනා කරලා තියෙන්නේ මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කරන්න, සහ මොකක්ද ඒකේ යටි අරමුණ? නැත්නම් ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

මේ 1978 ව්‍යවස්ථාව පිළිබඳ දැඩිම විවේචනය එල්ල කරපු කණ්ඩායමක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් මේ ජනාධිපතිධුරය අහෝසි කරන්න, ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න 20 වෙනි සංශෝධනය ගෙනාවා විජිත හේරත් මහත්මයා පාර්ලිමේන්තුවට. ඉතාම කඩිමුඩියේ පහුගිය කාලයේ අපිට මතකයි.

දැන් ඊට පස්සේ තමයි මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න, බලය බෙදීමේ ක්‍රියාවලිය ඇතුළත් කරන්න, අධිකරණයේ ස්වාධීනතාවය ස්ථාපිත කරන්න, මේ පිළිබඳව අවශ්‍ය කරන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු සඳහන් වෙන්නේ. ඒකට තමයි ජනතාව ඡන්දය දුන්නේ.

ඒ නිසා දැන් මෙවැනි කාරණයක් පිළිබඳව කිසිදු සඳහනක් නැති කාරණයක් පිළිබඳව කතා කරමින් තමයි අද ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඒ නිසා අපි අහන්න කැමතියි, මොකක්ද ජනතාවගෙන් ලැබුණු මැනේඩේට් එක? ජනතාවගේ බලය, නැත්නම් ජනතාවගේ මැතිවරණයෙන් ලබා දුන්න බලය මොකක්ද මේ සම්බන්ධව ක්‍රියා කරන්න?

දැන් එතකොට මොකක්ද කළ යුත්තේ? මං ළඟ තිබෙනවා මේ අධිකරණ සේවා සංගමයේ ලිඛිතව ලිපියක් අරිනවා හර්ෂණ නානායක්කාර මැතිතුමාට ඔවුන්ගේ ලෙටර් හෙඩ් එකක. ඒකේ බොහොම පැහැදිලිව තිබෙනවා, මොකක්ද කරන්න ඕනේ? මේ නඩු ප්‍රමාදයට අවශ්‍ය කරන වැඩපිළිවෙළ කොහොමද සංශෝධනය කරන්න ඕනේ කියලා තිබෙනවා ඒකේ. ඒකෙන් ඔවුන් කියන්නේ වෙන එකක් නෙමෙයි, මේ අය තමයි මේ නඩු ප්‍රමාදය පිළිබඳව හරියටම ඇත්ත තොරතුරු ටික දන්න පිරිස. ජීවමානව දන්නේ ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ මොකක්ද කියන්නේ? ඒගොල්ලෝ කියනවා, ඒක කරන්න උවමනා නම් කරන්න තියෙන්නේ පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කරන එක.

දෙක, ඒකට අවශ්‍ය කරන සේවකයින්ගේ ප්‍රමාණය, 40% යි ඉන්නේ කියලා කියනවා. ඒ කියන්නේ ක්ලාක්ලා, ඊළඟට මුදලිවරුන්, ඒ අවශ්‍ය කරන විශේෂයෙන් භාෂා පරිවර්තකයින්, මේ අය නැහැ. ඉතින් මේක නිසා නඩු කල් යනවා. ඒ නිසා ඔවුන් ඉල්ලනවා, කරුණාකරලා අපි නඩු ටික ක්ලියර් (clear) කරලා දෙන්නම්, කරුණාකරලා අපේ විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කරන්න, අලුත් අධිකරණ ඇති කරන්න – මහේස්ත්‍රාත් අධිකරණ, අලුත් දිසා අධිකරණ ඇති කරන්න. ඇති කරලා මේ ප්‍රමාදය වලක්වන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. මේ කවුද ඉල්ලන්නේ? මේ ඉල්ලන්නේ පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් සියලුදෙනාගේ ඉල්ලීමක් විදියට. කරුණු ගණනාවක් ඔවුන් පෙන්වලා දීලා තියෙනවා.

එතකොට ඒක පැත්තකින් තියෙලා, අද ගත්තාම ඔබතුමාලා දන්නවා විනිශ්චයකාරවරුන් 50 ක් ගන්න තමයි මේ සම්මුඛ පරීක්ෂණය තිබ්බේ, ගත්තේ 23 යි. තවත් මදි. එතකොට මේක තමයි දැන් ඇතිවෙලා තිබෙන තත්ත්වය. එතකොට මම කියන්න කැමතියි, මෙහෙම ගිහිල්ලා මොකක්ද අපි මේ රටට දෙන්න හදන පණිවිඩය?

ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලන්නේ වෙන එකක් නෙමෙයි, මේකට විරුද්ධව අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අපි ගන්නවා. හේතුව වෙන හේතුවක් හින්දා නෙමෙයි, හොරු අල්ලන වැඩේ කරන්න. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ රටේ හොරු අල්ලන ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට පාවිච්චි කරන්න හදන්න එපා අධිකරණයේ තියෙන ස්වාධීනත්වය. හරියට නඩු ටික ගොනු කරන්න, විනිශ්චයකාරතුමන්ලාට ස්වාධීනව තීන්දු ගන්න ඉඩදෙන්න. මොකද හේතුව අද වෙනකොට විනිශ්චයකාරතුමන්ලාගෙන්ම ප්‍රශ්න කරනවා ‘මේවාට ඇප දුන්නේ කොහොමද? මේවා කොහොමද මෙච්චර ඉක්මනින් මේවා නඩු ඇහුවේ?’ සමහර අපිට තියෙන ආරංචි අනුව කියනවා ‘හරි, මම පල්ලෙහයින් වරදකාරයා නොකරත් මම උඩින් වරදකාරයා කරනවා.’ එහෙම කියලා කියනවා හැමදෙනාම. හරි, අපි ඒක බලාගන්නම්, උඩින් අපි ඒක කරගන්නම්.

එතකොට මෙහෙම බලපෑමක් කරන්න පුළුවන්ද අධිකරණයට? මෙන්න මේකයි අපිට තියෙන ප්‍රශ්නය. ඒ නිසා අපි බොහොම පැහැදිලිව අහන්න කැමතියි, මොකද මේ රටේ මතක තියාගන්න මේ අද ආසියාවෙත් පටන් ගත්ත අර්බුද තුනක් පටන් ගත්තේ, විශේෂයෙන් නේපාලයේ. අර්බුදය පටන් ගත්තේ මේ වගේම විනිශ්චයකාරතුමන්ලාගේ දුන්න තීන්දුවක් අනුගමනය කරන්නේ නැතුව ඒකට සිද්ධ වුණ හානියට විශාල පිරිසක් එළියට බැහැලා නේපාලය විශාල අර්බුදයකට ගියා.

ඊළඟට ඔබ දන්නවා බංග්ලාදේශයේ, ඉතාම වේගයෙන් දියුණු වුණ රටක්. ඒකේ කෝටා සිස්ටම් (quota system) එක ගැන අධිකරණයෙන් දුන්න, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න තීන්දුවට එරෙහිව ඔවුන් පිළිගන්නේ නැතුව ඔවුන් පාරට බැහැලා, ශිෂ්‍යයෝ ලක්ෂ ගාණක් මුළු රටම විනාශමුඛයට පත්වුණා විතරක් නෙමෙයි, විනිශ්චයකාරවරයෙක් එල්ලලා මරලා දැම්මා. ගහලා ගහලා ගහලා එල්ලා මරලා දැම්මා, මතක තියාගන්න.

තුන්වෙනි කාරණය තමයි, ඊළඟට මේ මෑතකදී සිද්ධ වුණ කාරණය, ඔබ දන්නවා කරපත්තූ ජනතා පාටිය කියන පක්ෂය ගොඩනැඟෙන්නේ ඉන්දියාවේ, අග්‍රවිනිශ්චයකාරතුමා කිව්ව කාරණයක් සම්බන්ධව – ඒ කියන්නේ රැකියා විරහිත උපාධිධාරීන් සහ ඒ වගේම අනෙකුත් අය නැත්නම් මේ රැකියා සොයාගෙන යන අය කරපොත්තන් වගේ කියලා – ඒකට විශාල විරෝධයක් ආවා. අවසානයේ දැන් මොකක්ද වුණේ? අධ්‍යාපන ඇමතිට ඉල්ලා අස්වෙන්න වුණා.

මේක තමයි මතක තියාගන්න ජනතා බලයේ ප්‍රමාණය. හිතන්න එපා මේ යට කරලා, තද කරලා, මිනිස්සුන්ව හිර කරලා මේක තල්ලු කරන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. මොකද හේතුව, මේකට විරුද්ධව මේක තමයි මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. එක පැත්තකින්, විශේෂයෙන්ම මම කියන්න කැමතියි, ප්‍රජාතන්ත්‍රවාදය රැඳිලා තියෙන්නේ අපේ නීතියේ ආධිපත්‍ය මත. නීතියේ ආධිපත්‍ය රැඳෙන්නේ බලතල බෙදීම මත. ඒ වගේම අද විධායකය, ව්‍යවස්ථාදායකය දෙකම විධායකයට යට වෙලා තියෙන්නේ. මොකද හේතුව, අද ජනාධිපති එව්වාම සීල් එකක් වගේ 159 ක් අපේ ඉන්නවා, 159 න් අපි අපේ වැඩේ කරගන්නවා, කලබල වෙන්න එපා. හරි? දැන් මේකද මේ ප්‍රජාතන්ත්‍රවාදය?

එතකොට විධායකය, ව්‍යවස්ථාදායකය යට කරගෙන ඉන්නවා. විධායකය, ව්‍යවස්ථාදායකය කියන්නේ දෙකක් නෙමෙයි දැන් එකක්. එතකොට සම්බරතාවය තියලා ආරක්ෂා වෙන්න තිබිච්ච එකම එක කුළුණයි තිබුණේ, අධිකරණය. දැන් මොකද කරන්නේ? දැන් අධිකරණයත් තමන්ගේ කන්ට්‍රෝල් (control) එකට ගත්තාම, පාලනයට ගත්තාම, ඊට පස්සේ රටක් යන තැන කරුණාකරලා ඔබතුමාලා මතක තියාගන්න. මේක ගැන සමහර කතා කරන මාධ්‍යවේදීන්ටත් මම කරුණාකරලා කියනවා, ගෞරවයෙන්… මේවා කිව්වා වගේ නෙමෙයි අවසානයේ මේ විනාශයට ඔබතුමාලා සියලුදෙනාම මුහුණ දෙන්න වෙයි. මොකද හේතුව, මේක අපිට නෙමෙයි, අර මාටින් නිමොලර් කිව්ව කතාවක් ඔබතුමාලාට මතක ඇති ජර්මනියේ: ‘මම එක පුද්ගලයෙක් අල්ලගෙන යනකොට ඔහු කතෝලික කියලා හිටියා, තව පුද්ගලයෙක් අල්ලන් යනකොට එයා ක්‍රිස්තියානි කියලා හිටියා, තව එක්කෙනෙක් අරන් යනකොට එයා සමාජවාදී කියලා හිටියා, තව එක්කෙනෙක් අල්ලන් ගියාම එයා වෘත්තීය සමිතියෙ එක්කෙනෙක් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා හිටියා. අන්තිමට මගේ ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරනකොට තමයි දැනගත්තේ මටත් ඒක ඇවිල්ලා තියෙනවා’ කියලා. ඒ නිසා මිනිස්සු නිකන් ඉන්නේ නැහැ, මතක තියාගන්න.

ඒ නිසා හෙට අපි නීතිඥ ප්‍රජාව විදියට සියලුදෙනාම එකතු වෙනවා. ඒ නීතිඥ ප්‍රජාව විදියට අපිට තීන්දු තීරණ ගන්නාවූ එකක් ගන්න සිද්ධ වෙයි. මං හිතන්නේ අපි දන්නේ නැහැ මොකක්ද ඒකේ ඉදිරි කරුණු ටික කියලා. ඒකේ ඉදිරියේදී අපි කතා කරලා ඔබට දැනුවත් කරන්නම්. විශේෂයෙන් මේකට අතිවිශාල විරෝධයක් විනිශ්චයකාරතුමන්ලා ඇතුළෙම තියෙනවා. ඒ වගේ එකක් තමයි මේ පැහැදිලිව මේ අධිකරණ සේවා සංගමයෙන් විනිශ්චයකාරතුමන්ලා 65 ක් ‘විවිධ තර්ජන තියෙද්දී දෙන්න එපා’ කියලා කියනකොට, ඇවිල්ලා ඔවුන් මේකට සහයෝගය දීලා මේ අවශ්‍ය කරන කටයුතු ටික කරේ. ඒක එතනින්ම තියෙනවා. දෙවනුව, අද නීතිඥවරුන් විශාල සංඛ්‍යාවක් මේකට විරුද්ධව විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

ඒ නිසා මම කියන්න කැමතියි, මේ සියල්ල ක්‍රියාත්මක කරන්න හදන්නේ රටක් විදියට අපේ ප්‍රජාතන්ත්‍රවාදයත් වලදාලා, අපේ රට ඒකාධිපති ක්‍රමයකට ගෙනියන්න, නැත්නම් වන් පාටි රූල් (one-party rule), තනි පක්ෂයක පාලනයක් ගෙනියන වැඩපිළිවෙළට මේ හදන්නේ. ඒ කියන්නේ තමන්ට විරුද්ධව ඉන්න ප්‍රබල විරුද්ධවාදීන් සියලුදෙනාම එක්කෝ හිරගත කරන්න, නැත්නම් මතක තියාගන්න, ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙනවා ඔවුන්ට අවුරුදු කීපයක දඬුවම් ලබාදුන්නයින් පස්සේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මෙතෙන්ටයි මේක තල්ලු වෙන්නේ.

ඒ නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ, අපි මේ හොරු අල්ලනවාට විරුද්ධව හෝ, ඒවාට බයේ හෝ එහෙම කිසිම ගැටලුවක් නැහැ. අල්ලලා හිරේ දාන්න! හැබැයි ක්‍රමවේදයක් තියෙනවා මේ රටේ යුක්තිය, සාධාරණත්වය ඉෂ්ට කරන අධිකරණ පද්ධතියක්. ඒ අධිකරණ පද්ධතිය ඉතුරු කරන්න ඒකට බලපෑම් කරන්නේ නැතුව. මේ එන පුද්ගලයා හිරභාරයට ගත්තාම ඔහුට ඇප දෙන්න බැරි තැනකට තල්ලු කරන්න අධිකරණ විනිශ්චයකාරවරුන්ට තර්ජනය කරලා, නැත්නම් බය කරලා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න එපා කියන එක විතරයි අපි කියන්නේ. මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මේ රටේ අහිංසක මිනිස්සුන්ටත් කියනවා, ඔබටත්… මොකද හේතුව හෙට අනිද්දා වෙනකොට ඔබ ඇතුළෙද ඉන්නේ, එළියෙද ඉන්නේ කියන එකත් තීරණය වෙන්නේ මේ විනිශ්චයකාරතුමන්ලාගේ තියෙන ස්වාධීනත්වය ආරක්ෂා කරගත්තොත් පමණයි. ඒ නිසා ඒ අයව ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක්. ඒ නිසා ඒ සඳහා අපි සියලුදෙනාම මැදිහත් වෙනවා කියලා මම ඉල්ලීමක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තූතියි!”

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු අමාත්‍ය සුරේන් රාඝවන් සහ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ද අදහස් දැක්වූ අතර නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යුනූස් මහතාද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...

ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව සාධාරණ සහතික වී මිලක් ලබා දී තිබෙනවා- ඇමති ලාල්කාන්ත

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහාසභා රැස්වීමක් අද (29) කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි...

පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට සැලසුම්-ජනපති

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img