Monday, August 31, 2026
HomeNEWSශෝක පණිවිඩය

ශෝක පණිවිඩය

ශෝක පණිවිඩය

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් වූ කලාශුරී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත් වුණෙමි.

1922 දෙසැම්බර් 03 වන දින ගාල්ලේ, උණවටුන ප්‍රදේශයේදී උපත ලැබූ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා මූලික අධ්‍යාපනය හැදෑරුවේ උණවටුන බොනවිස්ටා පාසලෙන් හා ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ය. පාසල් අධ්‍යාපනය හමාර කරමින් එවකට යුනිවසිටි ඔප් සිලෝන් යනුවෙන් හැඳින් වූ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ එතුමා 1945 වසරේදී සිංහල හා ඉංග්‍රිසී භාෂා පිළිබඳ උපාධි හිමි කරගත්තේය. මහින්ද විද්‍යාලයේ හා මොරටු මහ විද්‍යාලයේ කලක් ගුරුවරයෙකු ලෙස සේවය කළ එතුමා සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්ද විය.

1949 මාර්තු 08 වැනිදා මාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ එතුමා දිණමින, ඩේලිනිවුස්, සන්ඩේ ඔබ්සවර්, සිළුමිණ හා ජනතා පුවත්පත්වල කතෘ මණ්ඩලයේ සේවය කළේය. මිහිකත, දෙසතිය සගරා සඳහා ලිපි සැපයූ එතුමා ලේක්හවුස් ආයතනයේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකි.

1978-1982 වකවානුවේ නවයුගය පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස ද කටයුතු කළ ආරියදාස මහතා එම පුවත්පත පෙර අපරදිග දැනුමෙන් පෝෂණය කළේය. චරිත හමුව, දුක දිනා ජයගත් හපන්නු, අතීතයට ලියුමක් ඔහු ආරම්භ කළ විශේෂාංග ජනාදරයට පත්විය.

ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ජනසන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පෘථුල අත්දැකීම් මෙන්ම සුවිශේෂී විෂය දැනුමක් සමාජයට දායාද කළ කෘතහස්ථ හා ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනය ඇරඹීමට පුරෝගාමී වු එඩ්වින් ආරියදාස මහතා ජන විඥාපනය ලෙස සන්නිවේදන විෂය හැඳින්වු 1960 දශකයේ එම විෂය ඉගැන්වූ මෙරට ප්‍රථම ආචාර්යවරයාය.

කැලණිය, කොළඹ, ජයවර්ධනපුර හා විවෘත විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය පාඨමාලා ආරම්භ කිරීමේ පුරෝගාමියා වුයේ ද ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාය. එම විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා සැකසීමට එතුමාගෙන් ලැබුණු දායකත්වය ඉමහත්ය.

සිය අභිමානවත් වෘත්තීය ජීවිතය තුළ ආරියදාස මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ බිහි කළ සිසුන් ප්‍රමාණය අති විශාලය. ඔහු ශ්‍රී ලංකාවේ සිටි සුවිශේෂී වූ මාධ්‍ය විෂයෙහි විද්වතෙකි. එසේම ගුරුවරයෙකි.

ජනමාධ්‍ය පමණක් නොව, විද්‍යාව හා පාරිසරික ක්‍ෂේත්‍රවලට ද වැදගත් දායකත්වයක් ලබා දුන් එතුමා ද්විභාෂා වියතෙකි.

එඩ්වින් ආරියදාස මහතා ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත්  ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කළේය. එතුමා ද්විභාෂාවෙනම් රචිත ලිපි ගණන දහස් ගණනකි.

මෙරට ප්‍රථම විදෙස් විත්ති විචාරකයා ලෙස ද ආරියදාස මහතා ඉතිහාසයට එක්වෙයි. කලාකීර්ති ඇතුළු ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබූ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි සංඛ්‍යාවකට හිමිකම් කීවේය.

ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විද්වතෙකු වූ එතුමා, 1985 වසරේ රචනා කළ “සිනමා ලිපි” කෘතිය සිංහල සිනමා ඉතිහාසය සහ විචාරය පිළිබඳ රචනා වු වැදගත්ම කෘතියකි. ආරියදාස මහතා අතින් මෙරට ජනමාධ්‍ය විෂය ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලියැවුණු ග්‍රන්ථ ගණනාවකි.

බටහිර රටවල ආභාෂයෙන් බිහිවු සන්නිවේදන විෂයට පාරිභාෂිත වදන් එක් කිරීමට ද එඩ්වින් ආරියදාස මහතා පුරෝගාමි විය.සිංහල භාෂාවට අන්තර්ජාලය(Internet), සමීප රූප (Closeup)මාධ්‍ය රූප (Graphics ) උස්තල මුද්‍රණය (Letter Press) සමතල මුද්‍රණය (Offset Press) සහ සජීවිකරණය (Animation) යන වචන එසේ නව අරුත් දෙමින් එතුමා නිර්මාණය කළ වදන්ය.

දශක හතක කාලයක් ජනමාධ්‍ය වෘත්තියේ නියැලීමට තරම් ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා නිරෝගිමත් වූ වා සේම එතරම් කාලයක් මෙරට ජනමාධ්‍ය හදාරන්නන්ට හා වෘත්තිකයන්ට එතුමාගේ සේවය ලබන්නට  වාසනාව උදාවිය.

පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය ජනමාධ්‍ය මෙහෙවර ආරම්භ කළ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා, රූපවාහිනිය සහ ගුවන් විදුලිය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද සිය දැනුම බෙදා දීමේ ජනතා මෙහෙවරහි නිරත වූයේය.

“ඇවිදින පුස්තකාලය” ලෙස ලොව දැනුම ශ්‍රි ලාංකේයන්ට යාවත්කාලීන කරන්නට උර දුන් කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ නික්ම යාම මුළු මහත් ශ්‍රී ලාංකේයන්ටම පිරිමැසිය නොහැකි පාඩුවකි. 

වසර 98 ක කාලයක් ආයු වළඳා, අභාවප්‍රාප්ත වූ කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාට නිවන් සුව අත්වේවා! යි  මම ප්‍රාර්ථනා කරමි.

සංවේගයට පත් එතුමාගේ පවුලේ සැමටත්, ඥාතී හිතමිත්‍රාදීන්ටත්, ප්‍රදේශවාසී සැමටත්, රටවැසියාටත් මාගේ බලවත් සංවේගය මෙයින් පුද කර සිටිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img