හම්බන්තොට තෙල් පිරිපහදුව තුළින් විශාල ආදායමක් රටට හිමිවෙන බවත් සිංගප්පූරුවේ තෙල් බෙදා හැරීමේ මධ්‍යස්ථානය වැනි එකක් හම්බන්තොට ඉදිකිරීමට කටයුතු කරන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (22) දින ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. චීන සමාගමක් වන සයිනොපෙක් ආයතනය තමයි මෙහි ආයෙෝජන සමාගම. ඒ අනුව චීනය සමග ඇතිකරගත් එකඟතාවය මත ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් යටතේ මෙම තෙල් පිරිපහදුව ඉදි කෙරෙනවා. මෙහි තෙල් පිරිපහදු කෙරෙන්නේ අපනයනය කිරීමටයි. ඉන් යම් ප්‍රතිශතයක් මෙරට වෙළඳපළට නිකුත් කරනවා. උදාහරණයක් ලෙස සිංගප්පූරුව අද තෙල් අපනයනය කරන හබ් එකක්. එවැනි හබ් එකක් හම්බන්තොට ඉදිකිරීමටයි කටයුතු කරන්නේ. ඊට අමතරව රටේ ආර්ථිකයට හා පොදුවේ රටට ඉතා වැදගත් වන ගිවිසුම් 15කට ජනාධිපතිතුමන්ගේ චීන සංචාරයේදී දෙරට අතර අත්සන් කෙරුණා. යනුවෙන්ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















