ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හෙළිකර ඒ හරහා මාර්ග ඉදිකිරීමක් හෝ ජලාශයක් ඉදිකිරීමක් සිදුනොකරන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.
මෑතකදී සිංහරාජ රක්ෂිත වනාන්තර හෙළිකර එම කලාපය හරහා මාර්ගයක් හා ජලාශයක් ඉදිකිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය මෙම ප්‍රතිඥාව ලබාදුන්නාය.
මෙම පෙත්සම අද (08) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදෙමින් කියා සිටියේ සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හරහා මංමාවත් ඉදිකිරීමක් නොකරන බවය.
ඊට අමතරව දැනට පවතින මාර්ග පුළුල් කිරීම ද නොකරන බවත් රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.
එමෙන්ම ගිං ගඟ ජල යෝජනා ක්‍රමය යටතේ සංරක්ෂිත කලාපය තුළ ජලාශයක් ඉදිරි නොකරන බවටත් රජයේ නීතිඥවරිය ප්‍රතිඥාවක් ලබාදුන් බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.
ඒ අනුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් ප්‍රතිඥාව සටහන් කරගත් අභියාචනාධිකරණය පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම සැප්තැම්බර් මස 08 වනදා සිදුකිරීමට නියම කළේය.
පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හරහා මාර්ගයක් හා විශාල ජලාශයක් ඉදිකිරීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බවය.
එවැනි ක්‍රියාවක් සිදුකළහොත් ඒ තුළින් සංරක්ෂිත වනාන්තර කලාපයට මෙන්ම ජෛව පරිසර පද්ධතියට ද විශාල හානියක් සිදුවිය හැකි බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.






















