ශ්‍රී ලංකාව ගැඹුරු දේශපාලන හා ආර්ථික අර්බුදයක පැටලී ඇති අවස්ථාවේ මෙරට තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ද හින්දු පුවත්පත වාර්තාවක් පළ කර තිබේ.
කෙසේවෙතත් මේ තොරතුර සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමෙන් අනතුරුව එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඉන්දියාවේ ද හින්දු පුවත්පත මෙම වාර්තාව පළ කර තිබුණේ ඉකුත් 13 වැනිදාය.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති අවස්ථාවේ, මෙරට තුළ ප්‍රහාර ක්‍රියාත්මක කිරීම සඳහා තහනම් සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් LTTE සංවිධානයේ පැරණි සාමාජිකයින් යළි එක්ව සිටින බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බවය.
රට තුළ උග්රවන ප්රචණ්ඩ විරෝධතා මධ්‍යයේ අවස්ථා දෙකකදී හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, බහුජාතික සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරමින් සිටි බව එහි සඳහන්ය.
මැයි 18 වැනිදාට යෙදී ඇති මුල්ලිවායිකාල් සංවත්සරය සැමරීමට සුදානම් වන ඇතැම් කණ්ඩායම් ”දෙමළ ජන සංහාර සැමරුම් දිනය” ලෙස ප්‍රකාශ කර ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කරන බවට “ද හින්දු” වාර්තා කරයි.
ඉන්දීය බුද්ධි අංශ තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු LTTE සාමාජික පිරිසක් තමිල්ණාඩුවට ඇතුළු වී ඇති බව පැවසේ.
තමිල්නාඩුවේ වෙරළබඩ දිස්ත්‍රික්කවලින් ලබාගත් තොරතුරු හමුවේ රාජ්‍ය බුද්ධි අංශ සහ ප්‍රාදේශීය පොලීසියේ විශේෂ කණ්ඩායම් ප්‍රාන්තයේ කිලෝමීටර් 1,000කට වැඩි වෙරළ තීරයේ සෝදිසියෙන් සිටින බවද අදාළ වාර්තාවේ සඳහන්ය.
මුහුදු යන ධීවරයින්ටද අවදානම් තත්ත්වය පිළිබඳ දැනුවත් කර ඇති අතර ගැඹුරු මුහුදේ සහ ජාත්‍යන්තර මුහුදු සිමාවේ කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් හෝ පුද්ගලයින් සිටීදැයි සොයා බලන ලෙස උපදෙස් ලබාදී ඇති බව හින්දු පුවත්පත වාර්තා කරයි.
මේ අතර, හින්දු පුවත්පතේ මෙම වාර්තාව සම්බන්ධයෙන් මෙරට මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු ද ට්විටර් සටහන් තබා තිබුණි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සබඳතා වැඩිදියුණු වෙමින් පවතින අවස්ථාවේ එය කැළඹීමට පත්කරන මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය කුමක්ද යන්නය.
එමෙන්ම ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යයන් රාසමානික්කම් මන්ත්‍රීවරයාද ප්‍රශ්න කරන්නේ මුල්ලිවයික්කාල්හි සැමරුම් වැළැක්වීම සඳහා මෙවැනි තත්ත්වයක් ගැන වාර්තා කරන්නේද යන්නය.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මන්ත්‍රීවරයාද ප්‍රශ්න කරන්නේ මෙය සත්‍ය ප්‍රවෘත්තියක් ද නැතිනම් අවධානය වෙනතකට යොමුකර මෙරට තුළ පනවා ඇති හදිසි නීති තත්ත්වය සාධාරණීකරණයට හෝ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට කළ දෙයක්ද යන්නය.
පාස්කු ප්‍රහාරයේදී රෝ සංවිධානය ඒ බව දැනුම් දුන්නේ ශ්‍රී ලංකා බුද්ධි අංශයට මිස මාධ්‍යයට නොවන බවත් මෙවර මේ තොරතුර මාධ්‍ය වෙත ලබාදී ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.
එහි දැක්වෙන්නේ හින්දු පුවත්පතේ පළවු වාර්තාවෙන් පසු මෙරට බුද්ධි අංශ , ඉන්දීය බුද්ධි අංශවලින් කරුණු විමසූ බවයි.
එහිදී එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බවත් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේ නම් ඒවා පිළිබඳව මෙරටට දැනුම් දීමට කටයුතු කරන බවත් ඉන්දීය බුද්ධි අංශ දැනුම් දුන් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම මෙම තොරතුර සහ ජාතික ආරක්ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් සිදුකර අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර ආරක්ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.






















