ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද දිනයේ පක්ෂ නායකවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සියලු පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බවය.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළේ ලබන සඳුදා දිනයේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර මේ පිළිබඳ සියලු පක්ෂවල නායකයින් සමග අවසන් එකගතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවය.
මේ අතර ඊයේ දිනයේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
එම පක්ෂය යළි රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතය.
මේ අතර මෙරට අමෙරිකානු තනාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අතර පැවැති හමුවේ දී ද 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඊයේ පස්වරුවේ පැවැති මෙම හමුවේදී ශ්‍රි ලාංකික ජනතාවගේ දේශපාලන අවශ්‍යතාවලට විසඳුම් ලබාදෙන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට සහාය දීමේ වැදගත්කම අමෙරිකානු තනාපතිනිය විසින් අවධාරණය කර ඇති බවය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේ ආර්ථික අර්බුධයට විසදුම් සෙවීම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පවරා ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිකර දේශපාලන ස්ථාවරත්වයක් ස්ථාපිත කිරිමේ වගකීම පාර්ලිමේන්තුව භාරගත යුතු බවය.
අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම් ඒ තුළ සිදුකළ යුතු ප්‍රමුඛ කාර්යභාර්යයන් මනාව හඳුනාගත යුතු බවය.
කෙසේවුවද රජය යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන ව්‍යවස්ථා සංශෝධනය ජනතාව රැවටීමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා ප්‍රකාශ කළේය.






















