පසුගිය රජය සමයේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ එම ධූරයෙන් ඉවත් කිරීමට දේශපාලන බලපෑම් තිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (19) පැවසීය.
ඔහු ඊයේ දෙවන දිනට සාක්ෂි ලබාදුනි.
ඔහු පැවසුවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තමන්ව ලිඛිතව දැනුවත් කර තිබු බවය.
බ්‍රිගේඩියර් සලේ එම ධුරයෙන් ඉවත් කළ පසු මැලේසියාවේ DEFENCE STRATEGY COUNCILLOR ලෙස කටයුතු කිරීමට දිවයිනෙන් පිටත්ව ගිය බවත් ඔහුව ඉවත් කිරීමට දේශපාලන බලපෑම් තිබු බවත් ඒ මහතා අනාවරණ කළේය.
සලේ මහතා, හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා ළඟින්ම වැඩකළ අයෙකු වු බැවින් ඔහුගේ පක්ෂපාතිභාවය පිළිබඳ ගැටලුවක් මතු කරමින් ඔහු ඉවත්කරන ලෙස දේශපාලනික බලපෑම් පැමිණි බව කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
එවිට දේශපාලන බලපෑම් කළේ කවුදැයි ජනාධිපති කොමිසම විමසා සිටියේය.
නම සඳහන් කළ නොහැකි පාර්ශ්වයක් තමන්ට ඒ සඳහා උපදෙස් දුන් බව කී කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පසුව ජනාධිපති කොමිසම අදාළ නම ලිඛිතව ඉදිරිපත් කළේය.






















