හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පළමුවරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කර තිබූ නිවේදනයකට අදාළව කරුණු දක්වන්නැයි කොමිසම කළ දැනුම්දීමකට අනුවය.
මේ අතර හිටපු ජනාධිපතිවරයාට එළැඹෙන ඔක්තෝබර් 05 වැනිදාත්, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔක්තෝබර් 06 වැනිදාත් සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා සැප්තැම්බර් 20 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.
එමගින් ජනාධිපති කොමිසමේ අධිකාරිමය බලයට අපහාසයක් සිදුවන බවත්, සාක්ෂි ලබාදෙමින් සිටි තම සේවාදායකයා වන හේමසිරි ප්‍රනාන්දු මහතා තැතිගැන්මකට ලක්ව ඇති බවත් ඒ මහතාගේ නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා කොමිසමට පැමිණිලි කළේය.
ඒ අනුව නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු දක්වන ලෙස කොමිසම හිටපු ජනාධිපතිවරයාට නියෝග කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
එහිදී ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ කවරෙකු හෝ අසත්‍ය ප්‍රකාශ සිදුකරන්නේ නම් ඊට එරෙහිව කතා කිරීමට ඕනෑම අයකුට අයිතියක් ඇති බවය.
එසේම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සාක්ෂි සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනය සහ තම සේවාදායකයාගේ පාර්ශ්වයෙන් නිකුත් කළ නිවේදනය අතර සමානත්වයක් ඇති බව ඔහු පෙන්වාදුන්නේය.
එහිදි කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් කතෝලික ජනතාව නොමඟ යාම වැළැක්වීම සදහා කොළඹ අගරදගුරු පදවිය අදාළ නිවේදනය නිකුත් කළ බවය.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් කතෝලික ජනතාව නොමඟ යා හැකි නිසා කළ ප්‍රකාශයත්, හිටපු ආරක්ෂක ලේකම්ගේ අසත්‍ය ප්‍රකාශ තුළින් තම සේවාදායකයාගේ පාක්ෂිකයින් නොමඟ යා හැකි නිසා කළ මෙම ප්‍රකාශයත් යන ප්‍රකාශ දෙකම සමාන බව එවිට හිටපු ජනපතිගේ නීතිඥවරයා කියා සිටියේය.
මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි විමසීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අනෙකුත් වගඋත්තරකරුවන්ට නිසි ක්‍රමවේදයක් සලසා ඇති පසුබිමක එය අනුගමනය නොකර තම මතය ජනතාවට ගෙන යාම තුළ අදාළ නිවේදනය මගින් කොමිසමේ අධිකාරිමය බලය පහතට හෙළා ඇති බවය.
එබැවින් මෙම නිවේදනය නිකුත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා කැඳවා නිදහසට කරුණු විමසීමට තමන් එකඟ බවත් ඇය කියා සිටියාය.
මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙන්ම හිටපු ජනාධිපතිවරයාට එරෙහිවත් නෛතික පියවර ගතයුතු බව කියා සිටි අතර ඒ සම්බන්ධ තීරණය හෙට (23) දැනුම් දෙන බව කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර පාස්කු ප්‍රහාරය සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝබර් 05 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දුන් අතර ඔක්තෝබර් 06 වනදා පෙනී සිටින ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
ඒ අතර, පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් සාක්ෂි විමසීම කොමිසම අද පස්වරුවේ ආරම්භ කළේය.
හිටපු පොලිස්පතිගෙන් සාක්ෂි විමසීමට පෙර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් කොමිසම ඊයේ පස්වරුවේත් සාක්ෂි විමසුවේය.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදිනට පෙර පැවැත්වීමට නියමිතව තිබූ අවසන් බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම අප්‍රේල් 16 අඟහරුවාදා දින ඔබේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේද යන්නය.
“නැහැ, අවුරුදු සමය නිසා ආරක්ෂක මාණ්ඩලික ප්රධානිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු බොහෝ පාර්ශ්ව නිවාඩු ඉල්ලුම් කර තිබුණා. ඒ නිසා එම රැස්වීම පැවැත්වුණේ නෑ. අනික අඟහරුවාදා බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි කියලා නියමයක් තිබුණේ නැහැ. සමහර වෙලාවට ඒ රැස්වීම විනාඩි 5න් අවසන් වෙනවා. සමහර වෙලාවට පැවැත්වූවේම නැහැ, “යැයි හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබාදුන්නේය.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය, “ඔබතුමා පිළිවෙළක් ඇතුව වැඩකළේ නැහැ කියලා මම යෝජනා කළොත් එය පිළිගන්නවාද” යනුවෙන් විමසුවාය.
“මං ඒක ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍ය බුද්ධි සේවය නිසිලෙස බුද්ධි තොරතුරු ඉදිරිපත් කළේ නැහැ. පාස්කු ප්‍රහාරයට පෙර පැවති අවසන් බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමෙදිවත් නිලන්ත ඒ වෙද්දි ලැබී තිබුණ තොරතුර ගැන කතා කළේ නැහැ. සහරාන් සම්බන්ධයෙන් විමර්ශන භාර වෙලා තිබුණේ ඔහුට. ඉතින් ඔහුයි ඒ ගැන අපිට කියන්න ඕනෙ. මා දන්නා පරිදි සහරාන් සම්බන්ධයෙන් වූ විමර්ශන ජනාධිපතිවරයා නිලන්තට ලිඛිතව භාර දී තිබුණා,” යැයි එවිට හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.
මෙහිදි ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයා, “ඔබ කොහොමද කියන්නේ ජනාධිපතිවරයා විසින් නිලන්ත ජයවර්ධන මහත්මයාට ඒ කටයුතු භාර දී තිබුණා කියලා. එක ඔප්පු කරන්න පුළුවන් ද ?”යනුවෙන් විමසීය.
“ඔව් ස්වාමීනි, මට ඒක ඔප්පු කරන්න පුළුවන්. මට මේ සිද්ධිය කිව්වේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්මයා. මොකද මම ඒ කාලේ ආරක්ෂක ලේකම් නොවෙයි. 2018 අවුරුද්දේ පැවති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමකදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කියා තිබුණා,’ පූජිත් ඔයා මේ එන්. ටී. ජේ සහරාන් ගැන මීට පස්සේ සොයන්න එපා. ඒ ගැන සම්පූර්ණ විමර්ශන නිලන්තට භාර දෙන්න ‘ කියලා. එතනින් එහාට නිලන්ත ජයවර්ධන තමයි සහරාන් සම්බන්ධයෙන් සියලු විමර්ශන කළේ ස්වාමීනි. ” යැයි හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.






















