මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 5000ට ළංවෙයි
ඊයේ (26) දිනයට මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 541 කි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්යාව 4,941 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් පුද්ගලයින් 1,041ක් දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර ඉතිරි පුද්ගලයින් 3,900 දෙනා කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වේ.
ඊයේ දිනය තුළ හඳුනාගැනුණු මෙම ආසාදිතයින් අතර නිරෝධායන මධ්යස්ථානවල සිටින පුද්ගලයින් 42ක් සහ මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 499 දෙනෙකු සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්යාව 8,413 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 3,933 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව රෝගීන් 4,464 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටියි.
ඊයේ දිනයේ හඳුනාගැණුනු රෝගීන් 541 දෙනා මෙරට දිනකදී වැඩිම රෝගීන් සංඛ්යාවක් වාර්තා වූ තෙවන අවස්ථාව ලෙස සැලකෙයි.
පසුගිය දින 05ක කාලය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් රෝගීන් 2,436 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙරටින් වැඩිම රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ, පසුගිය 23 දිනයි.
එදින රෝගීන් 866 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔක්තෝබර් 06 වන දින රෝගීන් 739 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ අතර අද (27) දිනය තුළ ත්රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්යස්ථානවලින් පුද්ගලයින් 88 දෙනෙක් නිවෙස් බලා පිටව යෑමට නියමිතය.
ඊයේ දිනය තුළ පමණක් මෙරට පීසීආර් පරීක්ෂණ 7,682ක් සිදුකර ඇති අතර ඒ අනුව සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 458,518ක් දක්වා ඉහළ ගොස් තිබේ.






















