බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) දිනයේ අනිවාර්යයෙන්ම ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ හෙට උදෑසන 5.00 සිට බලපැවැත්වෙන පරිදි ය.
කෙසේවෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල්නිවාස සංකීර්ණ කිහිපයක් බාහිර සමාජයට පිවිසිය නොහැකි ආකාරයට හුදකලාවකට ලක් කිරීමට තීරණය කර ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කය තුළ දැනට හමුවන කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් මෙම ස්ථාන තුළින් හඳුනාගන්නා බව යුද හමුදාපතිවරයා පැවසීය.
ඉකුත් නොවැම්බර් 02 වනදා උදෑසන බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුණි.
මේ අතර කුරුණෑගල, කුලියාපිටිය, කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශවලටත් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට ඉවත් කෙරෙන බවද සඳහන් කළේය.
අද (08) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.






















