වෛද්‍ය සාෆි ව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට වුණු දේ
වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වු කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් අත්අඩංගුවට ගැනීම තමන් ස්ථාන මාරු කිරීමට මූලික වශයෙන් හේතු වු බව කුරුණෑගල දිසා භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (10) සාක්ෂිදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට සාෆි ෂියාබ්දින්ට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සමග දේශපාලනික සම්බන්ධතාවයක් පැවති බවත් තව්හිද් ජමාත් සංවිධානයකින් මුදල් ගලා ආ බවටද තොරතුරු ලැබි තිබු බවත් ය.
එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු කියා සිටියේ, නැගෙනහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද ඉස්ලාම් අන්තවාදින් බලවත්ව සිට ඇති අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු සැකකරුවන් 226 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගත් බවය.
එහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, ඔබ යටතේ තිබු කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැකුණුගොල්ල ග්‍රාමය සහරාන් හෂීම්ගේ බිරිඳගේ ගම බව ඔබ යටතේ සිටි බුද්ධි අංශ විසින් වාර්තා කර තිබුණේ ද යන්නය.
එයට පිළිතුරු දෙමින් කිත්සිරි ජයලත් මහතා කියා සිටියේ, බුද්ධි අංශ විසින් එවැනි කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොතිබු බවත් තමන් සහරාන් හෂීම් පිළිබඳ දැනගත්තේ ද අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව බවත් ය.
එහිදි කොමිසම යළි ප්‍රශ්න කළේ, කැකුණුගොල්ල ප්‍රදේශය ආශ්‍රීතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ මෙහෙයුම් පිළිබඳ පාස්කු ප්‍රහාරයට පෙර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔබ දැනුවත් නොවුණේ ද යන්නය.
එයටද සාක්ෂිකරු පිළිතුරු දුන්නේ, “නැහැ ස්වාමිනි එම කිසිදු විමර්ශනයක් පිළිබඳ මා දැන සිටියේ නැහැ,” යනුවෙනි.
එහිදි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිදුකළ විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් සාක්ෂිකරු මෙලෙස අදහස් පළ කළේය.
“අප්‍ර්ල් 21 ප්‍රහාරයෙන් පස්සේ ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු සැකකරුවන් හය දෙනකු අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු ප්‍රසිද්ධ වුණා. එයින් දෙදෙනෙකු කඩිනමින් අත්තඩංගුවට ගැනිමට මා ඇතුළු නිලධාරින්ට පුළුවන් වුණා. ඉතා වැදගත් බුද්ධි තොරතුරු 45 කට ආසන්න සංඛ්‍යාවක් මට ඒ වෙද්දි ලැබිලා තිබුණා. ඒ අතර එක්තරා සුවිශේෂී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මම ක්‍රියා කළා. කොහොමවුනත් එම සැකකරු අත්අඩංගුවට ගත්ත ගමන් මට සමාජ මාධ්‍ය ඔස්සේ වගේම වෙනත් මාර්ගවලිනුත් විවිධ බලපැම් එල්ල වුණා. එම බලපැම් හමුවේ මාව පුත්තලමට මාරු කලා,” යැයි කොමිසම හමුවේ සාක්ෂිදෙමින් කිත්සිරි ජයලත් මහතා කියා සිටියේය.
එහිදි කොමිසම විමසා සිටියේ අදාළ සුවිශේෂී සැකකරු කවුරුන්ද යන්නය.
“සාෆි ෂිහාබ්දීන්. කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරපු පුද්ගලයා,” යැයි සාක්ෂිකරු එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අනාවරණය කළේය.
එහිදි ජනාධිපති කොමිසම යළිත් ප්‍රශ්න කළේ අදාළ වෙද්‍යවරයාට කිසියම් දේශපාලන සබඳතාවයක් පැවතියේ ද යන්නය.
“ඔව් ස්වාමිනි, එම වෛද්‍යවරයාට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග සම්බන්ධතා පැවති බවට මාහට තොරතුරු අනාවරණය වෙලා තිබුණා. ඒ වගේම තවුහිත් ජමාත් සංවිධානයකින් මෙම සැකකරුට මුදල් ගලාගෙන ආපූ බවටත් බුද්ධි තොරතුරු තිබුණා. ඒ නිසයි මම උපදෙස් ලබා දුන්නේ පරික්ෂණ මෙහෙයවලා මොහුට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. කොහොම නමුත් සැකකරු අත්අඩංගුවට ගත්තට පස්සේ මාව ස්ථාන මාරු කළා,” යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කරුණු පැහැදිලි කළේය.






















