Thursday, July 30, 2026
HomeNEWSසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි ගොඩ ආ නොහැකි වළක් කපාගෙන - වත්තල...

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි ගොඩ ආ නොහැකි වළක් කපාගෙන – වත්තල මහෙස්ත්‍රාත්

කොවිඩ්-19 අසාදිත මෘත දේහ අදාහනයට හෝ භූමදානය කිරීමට ගන්නා තීරණය “දේශපාලනික තීන්දුවක්” නොවිය යුතු බව වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (23) අවධාරණය කළේය.

ඔහු පවසන්නේ වගකිවයුත්තන් විටින් විට විවිධ තීරණ ගැනීම හේතුවෙන් අධිකරණය ද අපහසුතාවට පත්වී ඇති බවය.

මහෙස්ත්‍රාත් මේ පිළිබඳ ව අවධාරණය කළේ මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මහර බන්ධනාගාරය තුළ පසුගිය දා ඇතිවූ ගැටුමින් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විණි.                  

ඉන් අට දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ විය.

බන්ධනාගාර ගැටුම පිළිබඳ නීති කෘත්‍ය කැඳවූ පසුගිය 16 වැනිදා එම අට දෙනාගෙන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේ කොවිඩ් අසාදිත එම මෘත ශරීර ආදාහනය කරන ලෙසය.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් කොවිඩ් ආසාදිත සෙසු මළ සිරුරු හතරේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කළාය.

එහිදී රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියේ එම මෘත දේහ අදාහනය කිරීමට අකමැත්තක් නැති බවට ඔවුන්ගේ සමීප ඥාතීන් ප්‍රකාශ කර ඇති බැවින් සිරුරු අදාහනය කිරීමට අවසර ලබාදෙන ලෙසය.

නමුත් අගතියටපත් පාර්ශ්වවල නීතිඥයින් ඒ පිළිබඳව සිය බලවත් විරෝධය පළ කරමින් චෝදනා කළේ විමර්ශකයින් මියගිය රැඳවියන්ගේ ඥාතින් නොමඟ යවමින් අදාහනය කිරීමට කැමැත්ත ලබාගෙන ඇති බවය.

අජීවි ශරීර තුළ කොවිඩ් වෛරසය ක්‍රියාකාරී නොවන බව ලොව විශේෂඥයින් රැසක් පවසා ඇති තත්ත්වයක ඇතැම් පිරිස් සෞඛ්‍ය ආරක්ෂක මාර්ග උපදේශවලට වසන් වී මෘත ශරීර අදාහනය කිරීමට උත්සාහ දරන බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

එමගින්, ලෝකයේම අවධානය දිනාගත් අපරාධයකට යුක්තිය ඉටුවීම වැලැක්වීමට ඇතැමුන් උත්සාහ දරන බව ද ඔහු කියා සිටියේය.
 
අගතියට පත්වූවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ මුල් අවස්ථාවේ මෙම මියගිය රැඳවියන් කොවිඩ් ආසාදිත බවට අධිකරණයට කරුණු දැක්වූවද සිදුවීමෙන් මසකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුණත් මෘත ශරිර වල තවමත් වෛරසය සක්‍රීයව පවතී ද යන්න පිළිබඳ විමර්ශන නිලධාරින් අධිකරණයට වැඩිදුර කරුණු දක්වා නැති බවය.

නීතිඥ චූල අධිකාරි මහතා පෙන්වා දුන්නේ වර්තමානයේදී කොවිඩ් ආසාදිත ඇතැම් මළ සිරුරු භූමදානයට අවසර ලැබෙන තුරු ශීතකරණවල රඳවා ඇති පසුබිමක මෙම මෘත ශරීර භූමදානය නොකරන්නේ මන්ද යන්නය.

අපරාධමය සිදුවීමකට සම්බන්ධ මෙම සිරුරු කෙදිනක හෝ නීතිමය කටයුතු සඳහා යළි ගොඩගැනීමටද අවැසි විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

එම තර්කවලට රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පිළිතුරු දෙමින් පැවසුවේ, “ස්වාමිනි මහර බන්ධනාගාරයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් බහුවිධ විශේෂඥ කමිටුවක් පත්කරන්න යෝජනා කළෙත් නීතිපති දෙපාර්තමේන්තුව. මෙම සිදුවීමෙන් අගතියට පත්වුණු පාර්ශ්ව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න අපි බැඳී ඉන්නවා. නමුත් මෙම මෘත ශරීර සම්බන්ධයෙන් විවිධ මැති ඇමතිවරු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න අපි බැඳිලා නැහැ. නමුත් කොවිඩ් අසාදිත මෘත ශරීර ආදාහනය කළ යුතුයි කියලා මෙරට අධිකරණය ගත්තු මුල් ස්ථාවරය මේ වන තෙක් වෙනස් වෙලා නැහැ. මෙම මෘත ශරීර පිළිබඳ මුලික වාර්තාවේ තියෙනවා ජීවිතක්ෂයට පත්වු 11 දෙනාගෙන් 08 දෙනෙකුගේ පී.සී.ආර් පරික්ෂණ පොසිටිව් කියලා. ඒකයි මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා නිකුත් වූ මෘත ශරීර ආදාහනය කරන්න කියලා ඉල්ලන්නේ. මින් එහාට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඒමට නියමිතව ඇති සිරුරු කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙලා නැහැ. ඒ නිසා ඒවා භූමදානයට අපි විරුද්ධ නැහැ,” යනුවෙනි.

දෙපාර්ශ්වයේ කරුණු සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ලේඛන පිරික්සූ මහෙස්‌ත්‍රාත්වරයා පසුව කරුණු පැහැදිලි කිරීමක් කළේය, “මා වෙත ඉදිරිපත් කර ඇති ලේඛනවල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධිකරණ ඇමතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා නිකුත් කළ ලේඛනයක් තියෙනවා. එහි සඳහන් වෙනවා කොවිඩ් ආසාදිතව මියගිය ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු භූමදානය කළ හැකිද යන්න පිළිබඳ අගමැතිවරයා සහ විශේෂඥ කමිටුවක් අතර මේ වනවිටත් සාකච්ඡා පවතින බව. එතෙක් මළ සිරුරු ශිතකරණවල බහා තබාගෙන ඉන්නවා කියලා. ඉන් කියවෙන්නේ ඉස්ලාම් මෘත ශරීර භූමදානය කිරීමට යම් හැකියාවක් පවතිනවා යැයි මතයක් ඇති බව. මේ ගැටලුව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල වගකිවයුතු පාර්ශ්ව විවිධ ස්ථාවරදැරීම නිසා අධිකරණය විදියට අපි ලබාදුන්න නියෝග ගැන අපිටම ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒක නිසා කොවිඩ් ආසාදිත මෘත ශරීර කිසිදු කරුණක් නිසා භූමදානය කරන්නේ නැහැ කියලා නිශ්චිත නියෝගයක් තියෙනවානම් වහාම අධිකරණයට දන්වන්න.”

ඉන් මිනිත්තු 15 කට පමණ පසු රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළාය.

එහි සඳහන්ව තිබුනේ කොවිඩ් නිසා මියයන්නන්ගේ සිරුරු සම්බන්ධයෙන් මේ වන විටත් අනුගමනය කරන්නේ 2020 අප්‍රේල් මස 11 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ විධිවිධාන බවය.

ඒ අනුව කොවිඩ් අසාදිත මෘත ශරීර ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබුණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම නව වාර්තාව අධ්‍යයනය කළ මහෙස්‌ත්‍රාත්වරයා පැවසුවේ, “කොවිඩ්-19 අසාදනයෙන් මියයන්නන්ගේ මෘත ශරීර භූමිදානය කරනවාද, ආදාහනය කරනවාද යන්න පිළිබඳ තීරණය ගැනීම දේශපාලනීක තීන්දුවක් නොවිය යුතුයි. එය සෞඛ්‍ය අංශ විසින් ගතයුතු තීන්දුවක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර ඉදිරිපත් කළ වාර්තාව සහ මේ වාර්තාවේ කරුණු පරස්පරයි. ඔහුට හිතේ එකක් තියාගෙන තව එකක් පිටතට කියන්න බැහැ. මම හිතන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි ගොඩ එන්න නොහැකි වළක් කපාගෙන තියෙනවා. මේ ගැටලුව නිසා අධිකරණය ඇතුළු මුළු සිස්ටම් එකම අපහසුතාවයට පත්වෙලා තියෙනවා. මෙම සිදුවීමේදි බරපතළ ගැටලුවක් මතුවෙලා තියෙනවා මෘත ශරීර අදාහනය කළහොත් අපරාධයක සාක්ෂි වසන් වෙයිද කියලා. ඒක නිසා මට මේ අවස්ථාවේදි මෙම මෘත ශරීර අදාහනය කරනවාද, භූමදානය කරනවාද කියලා තීන්දුවක් දෙන්න බැහැ. දැන් මේ වන විට සාකච්ඡාවට බඳුන්වෙලා තියෙන කොවිඩ්-19 අසාදනය වීමෙන් මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ මළසිරුරු ආදාහනය කරනවාද. භූමදානය කරනවාද කියලා බලධාරින් ගන්න නීශ්චිත තීරණයක් කඩිනමින් අධිකරණයට දැනුම් දෙන්න. අධිකරණයටත් කාලය අවශ්‍යයි මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න,” යනුවෙනි.

ඊට අදාළ තීන්දුව දෙසැම්බර් මස 30 වන දින ප්‍රකාශ කරන බව ඉන්පසුව මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...

ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව සාධාරණ සහතික වී මිලක් ලබා දී තිබෙනවා- ඇමති ලාල්කාන්ත

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img