යාපනයේ සිද්ධිය – විශ්වවිද්‍යාල සිසුන් මාරාන්තික උපවාසය
යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකයක් ඉවත් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම සරසවියේ සිසුන් 5 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
ස්මාරකය ඉවත් කිරීමත් සමග ඊයේ රාත්‍රියේ විශ්වවිද්‍යාලය අසල දැඩි නොසන්සුන්තාවක් හටගත්තේය.
සිද්ධියට ප්‍රතිචාර දක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ මෙය විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ තීරණයක් බවය.
යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ එහි සිසුන් විසින් මෙම ස්මාරකය ඉදිකර තිබෙන්නේ 2018 වසරේ දීය.
එය ඔවුන් හඳුන්වන්නේ, යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සිහිකිරීම සඳහා ඉදි කළ මුල්ලිවයිකාල් සැමරුම් ස්මාරකය ලෙසය.
විශ්වවිද්‍යාල බලධාරීන් එම ස්මාරකය ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේදීය.
ඒ සමග විශ්වවිද්‍යාල සිසුන්, ප්‍රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතයින් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව පොලීසිය සඳහන් කළේය.
තත්ත්වය පාලනය කිරීමට කෝපායි පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබුණි.
විරෝධය අතරතුර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.
ඒ අනවසරයෙන් විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම සහ කලහකාරීව හැසිරීම යන චෝදනා යටතේය.
සිසුන් දෙදෙනා අද පස්වරුවේ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50 දහස බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුඳා හැරුණි.






















