ජනපතිගේ හාඅගමැතිගේ උපදෙසින් තොටලඟ නිවාස 750 ක් ඉදිකිරීම ඇරඹේ.
කොළඹ නගරයේ අවිධිමත් ජනාවාස ගැටළුව විසදීමේ තවත් පියවරක් වශයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් එම අවිධිමත් ජනාවාසවල ජීවත්වන නිවැසියන්ට,විධිමත් නිවාස ලබාදීම සඳහා තොටලඟ මුවදොර නව නිවාස 750 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හෙට (05) දින ආරම්භ කිරීමට නියමිතයි.
තොටලඟ කැළණි පාලම සහ තොටලඟ මුවදොර උයන නිවාස සංකීර්ණය අසල පිහිටි අක්කර 02 ක භූමියක් මෙම නිවාස ඉදිකිරීමට තෝරාගෙන තිබේ. මහල් 15 කින් සමන්විත වන මෙම නිවාස ව්‍යාපෘතියේ වර්ග අඩි 550නිවාස 750 ක් ඉදිවේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරේ.
අඩු පහසුකම් යටතේ අවිධිමත් ජීවීත ගත කරන මෙම නිවැසියන්ට ඉන් බැහැරව යහපත් ඵලදායී ජීවීත ගත කිරීමට අවස්ථාව උදාකරලීමේ අරමුණින් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරේ.
මෙම ව්‍යාපෘතියට අදාළව නිවාස ඉදිකිරීම ඇරඹුණේ දැනට නිවාස 1,000 ක ඉදිකිරීම් අරඹා තිබෙන ස්ටේඩියම්ගම නිවාස ව්‍යාපෘතියෙනි. මෙම සමස්ත මහල් නිවාස ඉදිකිරීම ව්‍යාපෘති 09 කින් සමන්විත වන අතර එයට රාජගිරිය ඔබේසේකරපුර නිවාස 300, නාවල කොලඹගේ මාවත නිවාස 300, මාළිගාවත්ත ඇපල්වත්ත නිවාස 700 ක් ද ඇතුළත් වන අතර එම නිවාස ව්‍යාපෘතීන්හි ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර ඇත. එමෙන් ම මාදම්පිටිය නිවාස 750 තවමත් භූමිය පරීක්ෂා කරමින් පවතින අතර මට්ටක්කුලිය නිවාස ව්‍යාපෘති 03 ක් ද මෙයට ඇතුළත් වේ.
ඉදිකෙරෙන නිවාස ප්‍රමාණය 5,500 ක් වන අතර, දැනට වැඩ ආරම්භ කර ඇති සියළු නිවාස ව්‍යාපෘති වසර 03කින් සාදා නිම කිරීමට අපේක්ෂා කෙරේ. මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් සහ ආයෝජන බැංකුවේ ණය ආධාර මත ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 04 ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත.
නාගරික අඩුපහසුකම් ජනාවාසවල ජීවත්වන පවුල්වල ජීවන තත්වය ඉහළ නැංවීම, සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත්වීම, යහපත් ජීවීතයක් ගත කිරීමට අවශ්‍ය වාතාවරණය සැකසීම ඇතුළු කරුණු රැසක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ද සහිතව මෙම තොටලඟ මුවදොර නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
අවිධිමත් ජනාවාසවල පදිංචිකරුවන් සඳහා වන මෙම නිවාස ව්‍යාපෘතිය හවුල්කාර ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමට හවුල්කාර සාමාගම් 02 ක් ද ඇතුළත් වෙයි.
එම හවුල්කරුවන් දෙදෙනා වනුයේ සිවිල් ඉංජිනේරු කොන්ත්‍රාත් කෝපරේෂන් සහ චයිනා රේල්වේ 25 බියුරෝ ගෲප් කෝපරේෂන් ලිමිඩට් යන කොන්ත්රාත්කාර ඉදිකිරීම් සමාගම් දෙකයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම නිවාස සංකීර්ණයේ නිවාස සැලසුම, නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් සහ මඟපෙන්වීම මත, කොන්ත්රතාත්කාර සමාගම් විසින් සකස් කරනු ලබයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් ද නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ නගරයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය (SCURP) මඟින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.






















