කොරෝනා නව ප්‍රභේදයත් ලංකාවට ඇවිත් තිබෙන බවත් ඊට මුහුණ දීමට සැලැස්මක් නැති ආණ්ඩුව ජීවිත අවදානමකට ලක්කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (13) ලුණුගම්වෙහෙර සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී පැවසීය.
විපක්ෂ නායක සත්කාරය ජංගම සේවය 31 වැඩසටහන අද ලුණුගම්වෙහෙර දී පැවැති අතර ඊට සමගාමීව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව රුක් රෝපණ වැඩසටහනෙහි පළමු පැළය රෝපණය කිරීමද අද පැවැත්විණි.ඒ අනුව ඉදිරියේ දී සෑම සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයකදීම රුක් රෝපණය සිදුකිරීමට නියමිතය.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
“මම ඔබතුමන්ලාට කියන්න කැමතියි විපක්ෂයේ ඉන්න නමුත් දානපතියන්ගේ ආධාර උපකාර ලබාගෙන මුළු රටේම අපි වැඩ කොටසක් කරනවා .විශේෂයෙන්ම රට පුරාවටම පවත්වන ජංගම සේවා වලින් ඉස්මතු වෙන කරුණු කාරණා අපි ලිඛිතව ලබාගෙන ,ප්‍රශ්න මතු කරපු සියලු දෙනාගේම නිවෙස් වලට විපක්ෂ නායක කාර්යාලයෙන් දුරකතන ඇමැතුම කුත් ලබා දෙනවා . ඒ දුරකතන ඇමතුම හරහා වඩාත් විධිමත්ව තොරතුරු කරුණු කාරණා එක්රැස් කරගෙන අපි පුළුවන් ආකාරයෙන් සේවාවක් ඉෂ්ට කරනවා කියන එක ප්‍රකාශ කරන්නට කැමතියි .අපි මේ වන විට ලුණුගම්වෙහෙර කොට්ඨාසයේ බෙරලිහෙල කලාපය අවසන් කරලා තිබෙනවා ,වීරවෙල කලාපය අවසන් කරලා තිබෙනවා .අද දවසේ කලාප දෙකක් අවසන් කරයින් පස්සේ තව ජංගම සේවා දෙකක් පැවැත් වුවහොත් මුළු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ම අපි ආවරණය කරලා අවසන් වෙනවා . අද මේ ස්ථානයට කළුතර දිස්ත්‍රික්කයේ අපේ පක්ෂ ප්‍රධාන විධායක නිලධාරී තුමා සම්බන්ධ වෙලා සිටිනවා . කළුතර දිස්ත්‍රික්කයේත් අපි මේ වැඩසටහන මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා . ඒ වගේම තමයි බදුල්ල දිස්ත්‍රික්කයේ අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා අපිට පුළුවන් ආකාරයෙන් අපි ආධාර උපකාර කරනවා . තමුන්නාන්සේලා දකින්නැති මේ වන විට වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ බුත්තල කොටසේ ඒ වගේම තවත් ප්‍රදේශ ගණනාවක අපි අපේ ආධාර උපකාරක වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා . එය හරහා අපි දැවැන්ත සේවාවක් විපක්ෂයේ ඉඳගෙන කරන්නට බලාපොරොත්තු වෙනවා . මේ වැඩසටහන ඓතිහාසික වාර්තාගත වැඩසටහනක් , මන්ද කිසිම දවසක අපේ රටේ ප්රජාතන්ත්රවාදී නිදහස් ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ජංගම සේවාවක් සිදු වෙලා නෑ . සාමාන්‍යයෙන් විපක්ෂය සිදු කරන්නේ පවතින රජය විවේචනය කිරීම පමණයි . තියෙන රජයේ අඩුපාඩුකම් අපිත් විවේචනය කරනවා . පවතින රජය යම් කිසි හොඳ දෙයක් සිදු කළහොත් අපි එයට ප්‍රශංසා කරනවා. නමුත් ඒ විවේචන ප්‍රශංසා මැද්දේ අපිත් යම්කිසි වැඩ කොටසක් ඉටු කරනවා අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් . අන්න ඒ විශේෂ බලාපොරොත්තුව සමගි ජන බලවේගය කෙරෙහි තමුන්නාසේලාට තබාගන්න පුළුවන් . මම කැමැතියි මේ මොහොතේ මගේ අදහස් කිහිපයක් තමුන්නාන්සේලාට ඉදිරිපත් කරලා ඊළඟ ජංගම සේවා වැඩසටහනට සහභාගි වීමට මෙතනින් පිටත්ව යන්න . හිතවත් මිත්‍රවරුනි මේ සභාවේම අපි දැක්කා ගර්භනී මවක් නැගිටලා ඉතාම කනගාටුදායක ප්‍රකාශයක් කළා . මොකක්ද ඒ මව කියන්නේ ? එතුමිය කියනවා මේ ආණ්ඩුව යටතේ ගර්භනී මව්වරුන්ට පෝෂණ සලාකය ලැබිලා නැහැ කියලා .මේ ආණ්ඩුව යටතේ ගර්භනී මව්වරුන්ට ත්‍රිපෝෂ ආධාරය ලැබිලා නෑ . මේ ආණ්ඩුව යටතේ කුඩා දරුවන්ට සෞඛ්‍ය සායන වලදී ලබා දෙන ත්‍රිපෝෂ ශක්තිය ලැබිලා නෑ . දැන් රජය පත්වුනේ මුළු රටම සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත් කරනවා කියලා. ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුනේ “සෞභාග්‍යයේ ඉදිරි දැක්ම” කියලා . දැන් සෞභාග්‍යයේ ඉදිරි දැක්මෙන් කවදාවත් අපිට කිව්වේ නෑ , මේ රටේ ගර්භනී අම්මලාට කිව්වේ නෑ ,මේ රටේ දූ දරුවන්ට කිව්වේ නෑ “දුවේ පුතේ ඔබලාගේ ත්‍රිපෝෂ මල්ල අපි අහිමි කරනවා ” ,” ගර්භනී අම්මේ ,ගර්භනී අම්මට ලබා දෙන පෝෂණ සලාකය අපි නැති කරනවා, ගර්භනී අම්මට ලබාදෙන ත්‍රිපෝෂ සලාකය අපි නැති කරනවා ” මේ එකක් වත් සෞභාග්‍යෙය් ඉදිරි දැක්මේ සඳහන් වෙලා තිබුණේ නෑ . දැන් මොකක්ද මේ රජය කරන්නේ ? මේ රජය මේ රටේ ජනතාවගේ වටිනා සම්පත් , වටිනා මුදල් තමන්ගෙ ජීවිතය සුර සැප කිරීම සඳහා උපයෝගී කරගන්නවා මිස මේ රටේ මව් පරපුර සුරකින්න ටත් මේ රටේ දරු පරපුර සුරකින්න ටත් මේ රජය කිසිම කර්තව්‍යයක් ක්‍රියාත්මක කරන්නේ නෑ . මිත්‍රවරුනේ විශේෂයෙන්ම ඔබතුමන්ලාට කියන්න කැමතියි මේ රටේ ගර්භනී ගර්භණී මව්වරු වෙනුවෙන් ,මේ රටේ දරු පරපුර වෙනුවෙන් සමගි ජන බලවේගයේ අපි සටන් වදිනවා මේ රජය විසින් කප්පාදු කරපු ත්‍රිපෝෂ සලාක ටික ගර්භනී සලාක ටික නැවතත් වරක් අපේ ජනතාවට ලබා දෙන්න . ඒ වගේම තමුන්නාන්සේලාට කියන්නට ඕන මේ මොහොත වන විට කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේදයක් නිර්මාණය වෙලා තිබෙනවා . ඇත්ත වශයෙන්ම ලෝකයේ සොයාගෙන තිබෙනවා භයානක අලුත් ප්‍රභේද තුනක් . එංගලන්ත ප්‍රභේදය ,දකුණු අප්‍රිකානු ප්‍රභේදය සහ බ්‍රසීලයේ ප්‍රභේදය . ඊයේ දවසේ අපිට ආරංචි වුණා අලුත් ප්‍රභේදයක් හඳුනාගෙන තියෙනවා අපේ රටේ රෝගීන් ගණනාවකගෙන්. කොළඹ ,අවිස්සාවෙල්ල ප්‍රදේශය ,බියගම ප්‍රදේශය ,ඒ වගේම උතුරුකර ප්‍රදේශවල මේ අලුත් ප්‍රභේදය සොයාගෙන තිබෙනවා . දකුණු අප්‍රිකාවෙ කරපු පරීක්ෂණ වලින් හෙලි වෙලා තිබෙනවා නිර්මාණය කරපු එක එන්නතක් මේ අලුත් ප්‍රභේද මර්දනය කරන්නට සාර්ථක එන්නතක් නොවන බව . ඒ එන්නත තමයි තමයි Oxford AstraZeneca කියන එන්නත . දකුණු අප්‍රිකාව Oxford AstraZeneca කියන එන්නත ඇනවුම් කිරීම නතර කරලා තිබෙනවා . ඇයි ? සොයා ගත්ත අලුත් ප්‍රභේදයට එන්නත ඔරොත්තු දෙන්නැති නිසා. දැන් මේ Oxford AstraZeneca එන්නත ම තමයි අපේ රටටත් ඇනවුම් කරලා තිබෙන්නේ . ඉතින් එක බරපතළ ප්‍රශ්නයක් . දැන් කාලයක් ගත උනා ආණ්ඩුවට එන්නත් ටික ලබාගන්න . අර පිනට ලැබුණු එන්නත් ලක්ෂ හය ඇරුණුකොට ආණ්ඩුවට අමතක උනාද දන්නේ නෑ අපේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජීවත්වන බව .පළමුව එන්නත ගැන ආණ්ඩුවට සැලැස්මක් තිබුන් නෑ .මේ රජයට තිබුණා එන්නත් ඇනවුම් කරන කොට එන්නත්වල ප්‍රබලතාව හොයලා බලන්න . ඔබ අප සියළු දෙනාම දන්නවා pfizer biontech කියලා එන්නතක් නිර්මාණය වුණා. moderna කියලා එන්නතක් නිර්මාණ වුණා . රුසියාවේ නිර්මාණය වුණා sputnik කියලා එන්නතක් . චීනයේ නිර්මාණය කළා sinovac කියලා එන්නතක් .Johnson & Johnson එන්නත . මේ වගේ එන්නත් ගණනාවක්. එතකොට මේ රටේ රට පාලනය කරන සෞභාග්‍යයේ ඉදිරි දැක්මක් තියෙන මේ ආණ්ඩුව කරන්නට ඕනේ මොකක්ද ? අපේ රටට හැම ප්‍රභේදයකට ඔරොත්තු දෙන එන්නත් ඇනවුම් කිරීම . කොහොමද ඒක කරන්නේ? රජය කාර්යක්ෂමව විද්‍යානුකූලව පර්යේෂණ පවත්වලා අපේ රටේ වෛද්‍යවරුන් WHO එකට යවලා ඒවගේම centre for disease control කියන ඇමරිකානු ආයතනයට යවලා මේ සියලු කරුණු කාරණා සොයා බලන්නට තිබුණා . මෙහෙන් යවන්න අවශ්‍යත් නෑ නිලධාරීන් ,ඔය නවීන සන්නිවේදන ජාල හරහා සම්බන්ධ වෙන්න තිබුණා . ඒ මොකක්වත් කළේ නෑ . එන්නත පිළිබඳව කිසිම සැලැස්මක් තිබුණෙ නෑ . දැන් කණගාටුදායක කාරණාව තමයි අපේ රටට ගෙන්නන්න හදන එන්නත මේ අලුත් කෝවිඩ් ප්‍රභේදයට ඔරොත්තු දෙනවා ද නැද්ද කියන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ලොකු අවිනිශ්චිතභාවයක් තිබෙනවා . රටේ ලක්ෂ 220 ජනතාවට මේ වර්තමාන ආණ්ඩුව උත්තර බඳින්නට ඕන . පිළිතුරු දෙන්නට ඕන . දැන් මොකක්ද මේ රටේ එන්නත් වැඩසටහනට කරන්නේ ? මොකක්ද වැඩ පිළිවෙල ? ඔය ගෙන්නන Oxford AstraZeneca කියන එන්නත මේ රටේ දැන් නිර්මාණය වෙලා තියෙනවා කියන අලුත් ප්‍රභේද මර්දන කරන්නට ඒ එන්නතට පුලුවන්ද ? මේ ප්‍රශ්න දිහා මුළු රටම බලාගෙන ඉන්නවා .මුළු රටටම කිව්වේ වියත් ආණ්ඩුවක් ,ශක්තිමත් ආණ්ඩුවක් ,රට දිනවන ආණ්ඩුවක් ,ජනතාව රැක ගන්නා ආණ්ඩුවක් . හැබැයි මේ ආණ්ඩුවට බැරිවෙලා තිබෙනවා උගත්කම බුද්ධිමත්කම දර්ශනය උපයෝගී කරගෙන රටට අවශ්‍ය ඒ නියමිත එන්නත ඇනවුම් කරන්නට . කිසිම ඉදිරි සැලැස්මක් නැහැ .කිසිම ඉදිරියෙහි ඇතිවිය හැකි භයංකාර ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නෑ . ජනතාව ගැන හැඟීමක් නෑ . හැඟීම තියෙන්නේ තමන් ගැන පමණයි. තමන්ගේ පවුලේ සාමාජිකයින් ගැන පමණයි . තමන්ට සමීප ව සිටින ගජ මිතුරන් කල්ලිය ගැන පමණයි , මේ රජයට තියෙන එකම කැක්කුම . මේ රටේ සමස්ත ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාව අද අනාත වෙලා හමාරයි. මේ අනාථ වෙච්ච ජනතාවට සමගි ජන බලවේගයේ අපි බොහොම පැහැදිලි විසඳුමක් ලබා දෙනවා මේ රට දිනවන්න පුළුවන් එකම විකල්පය සමගි ජන බලවේගය . අපි සතුව උගත් වියත් දාර්ශනිකයින් ,විශේෂඥයින් ,කාර්යක්ශම කාර්යශූර හොඳ දක්ෂයෝ කණ්ඩායමක් සිටිනවා . ඒ හැමෝම රටක් ඉදිරියට ගෙන යන ගමනේ දක්ෂයො හැකියාව තියෙන පුද්ගලයෝ .ඉතින් ඒ සියලු දෙනා සමඟ අපි සූදානම් පොහොට්ටු රජයට කරන්න බැරි රාජ්‍ය පාලනය අතට අරගෙන සමගි ජන බලවේගයෙන් මුළු රටම සුවපත් කරන්නටත් ,ආරක්ෂා කරන්නටත් ,රටට සෞභාග්‍යය උදා කරන්නටත් අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා . අවසාන වශයෙන් තවත් එක් කාරණාවක් සඳහන් කර මගේ කතාව අවසාන කරන්නට බලාපොරොත්තු වෙනවා . මිත්‍රවරුනේ මේ රජය උපක්රමශීලීව කටයුතු කරනව යම් යම් ප්‍රබල ජන කොට්ඨාස තුළ යම්කිසි ව්‍යාජ හැඟීමක් නිර්මාණය කරන්නට . ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ feel good factor කියලා . ඒ කියන්නේ අපේ රටේ ජන කොට්ඨාස අතර බොරු මතයක් නිර්මාණය කරනවා දැන් ඔක්කොම හරි , ආර්ථිකය හොඳයි ,කොටස් වෙළඳපොල ඉහළට ම ගිහිල්ලා තිබෙනවා ,ආර්ථිකය ස්ථාවරයි , ඉතිහාසයේ මෑතකාලයේ වැඩිම කොටස් වෙළෙඳපොළ වැඩිවීම සිදු වුණා , අනාගත සෞභාග්‍යයයේ කොළ එළිය නිර්මාණය වෙලා තිබෙනවා , මෙයාකාරයෙන් වැරදි හැඟීමක් මේ රටේ විශේෂයෙන්ම ව්‍යාපාරික ජනකොටස් වල ඇතිකරන්නට මේ කොටස් වෙළඳපොළ දර්ශක පාවිච්චි කරගෙන යනවා. දැන් සතියකට දෙකකට පෙර කෘතිමව ඔය ප්‍රධාන පෙළේ ධනවතුන් දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා ,කොහෙන් ආවද මන්දන්නෑ ඒ මිල මුදල් ටික ,කෘතීමව කොටස් වෙලඳපොලට මුදල් පොම්ප කරලා ,කෘතිම ඉහල නැගීමක් කරන්නට කටයුතු කළා . පුදුම විදිහට කොටස් වෙළඳපොල ඉහළ නැග්ගා. හැබැයි මේ ගිය සතියෙ ඉහල නැගපු කොටස් වෙළෙඳපොළ එක පාරටම කඩා වැටුනා . ඕකට ඉංග්‍රීසියෙන් කියන්නේ pumping and dumping කියලා . pumping කියන්නේ මොකක්ද ? pumping කියන්නේ කොටස් වෙළඳපොළට මුදල් පොම්ප කරනවා . මුදල් පොම්ප කරනකොට කෘතිමව කොටස් වෙළඳපොළ මිල දර්ශක ඉහළ යනවා . ඉහළට ගියයින් පස්සේ ඒ කෘතිමව මුදල් පොම්ප කරලා ඒ කොටස් ඉහළට යෑම සඳහා මුදල් පොම්ප කරපු ඔය ආයතන දෙක තුන එකපාරටම එවා විකුණනවා ඒකට තමයි කියන්නේ dumping . pumping මුදල් පොම්ප කරනවා ඊට පස්සේ මිල ඉහල යනවා ,ඊට පස්සේ dumping ඒ කියන්නේ විකුණනවා . ඇයි විකුනන්නෙ ? තමන්ට පුද්ගලික ලාභයක් තියාගන්න . පුදුම මාදිලියේ ලාභ උපයලා තියෙනවා . හැබැයි අර උඩට ගත්ත කොටස් ටික එකපාරටම විකුණන කොට මොකද වෙන්නෙ ? පුංචි ආයෝජකයා කබලෙන් ලිපට ම වැටෙනවා . දැන් පුංචි ආයෝජකයා කබලෙන් ලිපට වැටිල තියෙන්නෙ . මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ insider trading කියලා .ඒ කියන්නේ ඇතුළතින් රහසිගත තොරතුරු ලබාගෙන උපක්රමශීලීව කෘතිමව කොටස් වෙළඳපොළට මුදල් පොම්ප කරලා මිල දර්ශක ඉහල දමලා එකපාරටම ඒව විකුණලා දානවා තමන්ට පුද්ගලික ලාභයක් තියාගෙන .ඉතින් දෙන්නෙක් තුන්දෙනෙක් මේ කොටස් වෙලදපොල ඉහළ යනකොට පෙන්නන්න හදන්නේ මොකක්ද ? රටේ ආර්ථිකය ශක්තිමත් ඇයි කොටස් වෙළඳපළ ඓතිහාසික විදිහට ඉහළ ගියා .නමුත් අවසානයේ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඉහළ ගිහිල්ලා විකුණනකොට ලාභය භුක්ති විඳින්න මේ රටේ සුපිරි ප්රකෝටිපතියන් දෙන්නෙක් තුන් දෙනෙක් පමණයි . පුංචි ආයෝජකයා බොහොම අමාරුවෙන් උපයා ගත්ත මුදල් අහිමි කරගන්නවා කොටස් වෙළඳපොලේ අර විකිණීම තුළ තිබෙන කඩාවැටීම නිසා . ගිය සතියේ සිදු වුණේ අන්න ඒ වගේ කඩාවැටීමක් . මම ඔබතුමාලට කියන්න කැමති මේ කොටස් වෙළඳපොල ඉහළ දමලා මේ අය ඇති කරන්නට හදනවා මහලොකු සුන්දර ආර්ථික චිත්‍රයක්. එහෙම සුන්දර ආර්ථික චිත්‍රයක් නැහැ . මෙරට ආර්ථිකය ගැන කතා කරනකොට ආලෝකයක් නැති අන්ධකාරයක්. නමුත් මේ අන්ධකාරයෙන් මේ රට ගොඩගන්නට සමගි ජන බලවේගයේ අපි සූදානම් . අපේ හැකියාව තිබෙනවා දක්ෂතාවය තිබෙනවා ඒ ධන කුවේරයන් මත යැපෙන ආණ්ඩුව වෙනස් කරලා මේ රටේ මෑත කාලයේ ප්‍රථම වතාවට බිහිවුණු පොදුජන ආණ්ඩුව බිහි කරන්නට අපි ඇප කැප වෙනවා කියලා ඔබ සියලු දෙනාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා .






















