සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ඔහු ප්‍රකාශ කර තිබු අතර එම ප්‍රකාශය පිළිබඳ ව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.
අශෝක් අබේසිංහ මහතාව එම ස්ථානයට පැමිණියේ සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතාගේ වාහනයෙනි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, “මම එතුමා සමග පැමිණියා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ නායකයා හැටියට මම තරයේ විශ්වාස කරනවා මගේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්න ට ඕනේ, රැකගන්නට ඕනේ කියලා. ඒ නිසයි මගේ වාහනෙන් මම එතුමාව ගෙනාවේ.“ යනුවෙනි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, මුළු රටේම බලාපොරොත්තුව වුයේ පාස්කු ප්‍රහාරයට මුල් වු මහ මොළකරුවන්ව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම බවය.
“රටේ ජනතාව රාජ්‍ය පාලනයේ වෙනසක් කළා. ඒ වෙනස කළේ එක හේතුවක් තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට අරගෙන නීතියානූකූල ක්‍රමවේදය තුළ ඒ අයට දැඩි දඬුවම් පැමිණ වීම. අපේ මතයත් රටේ මතයත් එය එසේ සිදුවෙලා නෑ. ඒ නිසා ඒ පිළිබඳව 69 ලක්ෂයක් ඡන්දය දුන්න අය ජනාධිපතිවරණයේත් 68 ලක්ෂයක් මහ මැතිවරණයේ වර්තමාන රජයට ඒ වරම ලබාදුන් කණ්ඩායම් බලා සිටිනවා. අපිත් බලාගෙන ඉන්නවා. අපිටත් ඕනේ පාස්කු ප්‍රහාරයේ නින්දිත ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් පමුණුවන්න ඕනේ. එහිදී නීතිය ක්‍රියාත්මක කරමින් යුක්තිය, සාධාරණත්වය විශේෂයෙන් ප්‍රහාරයට ලක්ව මියගිය පවුල්වලට සාධාරණත්වයක් ඉටුවිය යුතුයි. මොන වන්දියක් ලබා දුන්නත් ජීවිත ආපහු ගේන්න බෑ.“






















