Monday, August 17, 2026
HomeNEWS"සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය...

“සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් ස්ථිරසාරව සකස් කර දී තිබෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

“සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් ස්ථිරසාරව සකස් කර දී තිබෙනවා”
– කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) ජනගත කිරීමෙන් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කර දී ඇති බවත් එමගින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව  සන්ධිස්ථානයක් නිර්මාණය වන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

ඊයේ (15) කොළඹ ෂැංග්‍රි – ලා හෝටල් පරිශ්‍රයේදී පැවැති ඉහත සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීමේ උළෙල අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

” රාමායනය තුළ වාල්මිකී ‘රාවණා’ හිමි කර දෙන්නේ අපටයි. එම ඉතිහාස කතාව ප්‍රබන්ධයක් හෝ සත්‍යයක් වුවත් රාවණා සමග  දඩුමොණරයකුත් එයට සම්බන්ධ වෙනවා. ‘දඬුමොණරයකින් අහසින් ගිය’ ඉතිහාස කතාවකට උරුමකම් කියන ජාතියක් ‘වාහන එකලස් කිරීමේ සහ වාහන අමතර උපාංග නිපදවීමේ කර්මාන්තයන්ට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP)’ ජනගත කරන්නේ අද වැනි දිනකයි.

 ‘ නිපුණතාවෙන් යුත් ශ්‍රම බලකායක්’

වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත තනිව බැඳුණු ඒවා නොවෙයි. ඒවා රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, ලෝහ හා ලෝහ නොවන නිෂ්පාදන කර්මාන්ත හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කර්මාන්ත සමග බැඳෙනවා. මේ හැම කර්මාන්ත ක්ෂේත්‍රයක්ම සංවර්ධනය වීමට නම් රටක වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයන් පළමු කොට සංවර්ධනය විය යුතුයි. ඒ වගේම ඉංජිනේරු හා තාක්ෂණික අංශයේ උපාධි ලබා විශ්වවිද්‍යාලවලින් පිටතට එන තරුණ දරුවන්ට රැකියා වෙළෙඳපොළ තුළින් ඔවුනට හිමි භූමිකාව නිර්මාණය වන්නේත් මෙම වාහන නිපදවීම හා බැඳුණු කර්මාන්තයන් ප්‍රබල වුවහොත් පමණයි. මෙම කර්මාන්තයන් දුබල වන තරමට මෙම විශ්වවිද්‍යාලවලින් දැනුම ලබා එන දරුවන් විදේශ රැකියා සොයා ගෙන යාම වැඩි වෙනවා. නිපුණතාවයෙන් යුක්ත ශ්‍රම බලකායක් නිර්මාණය වන්නේත් මෙවැනි කර්මාන්තය ප්‍රබලව ප්‍රසාරණය වන තරමටයි. මම විශ්වාස කරනවා, ‘මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය හෙවත් Standard Operating Procedures (SOP) අද දින ජනගත කිරීමට ලැබීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ එක්තරා ආකාරයක හැරවීමක්, සන්ධිස්ථානයක් නිර්මාණය වෙනවා” කියා.

  ‘ නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක්’

මෙම නව හැරවුමත් සමග වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනටමත් යෙදී සිටින සමාගම් මෙන්ම නව සමාගම් රාශියක් ඔවුන්ගේ ආයෝජනයන් විශ්වාසයෙන් යුතුව එම ක්ෂේත්‍රයට එකතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. රටක වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම හෝ වාහන අමතර උපාංග නිෂ්පාදනය යන කර්මාන්තයන්හි ආයෝජනයක් කිරීමට නම් නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් ස්ථාවරව තිබිය යුතුයි. රජයක් හැටියට ඒ නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුව නිසි ලෙස සකස් කොට දී නැති නම් එවැනි කර්මාන්ත ක්ෂේත්‍රයකට අවදානම අරගෙන ආයෝජනය කිරීමට කිසිවකු පෙළඹෙන්නේ නැහැ. අපි අද එළිදක්වනු ලබන මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් ඒ නිශ්චිත පදනම මේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන අය වෙනුවෙන් ස්ථිරසාරව සකස් කර දී තිබෙනවා.

 ‘SOP’ පාර්ලිමේන්තුවටත් යයි

අප දිරි ගැන්වීමට මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අපට යෝජනා කළේ ‘මේ සම්මත මෙහෙයුම් පටිපාටිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට පමණක් සීමා නොකොට පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර එහි අනුමැතිය ද ලබා ගැනීම වැදගත්’ කියායි. මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය සකස් කිරීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරී මහතුන්ගේ පමණක් නොවෙයි ප්‍රවාහන, මුදල් ඇතුළු අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන් ද අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති පිරිස්වල ද දැනටමත් වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිපදවීමේ කර්මාන්තයන්හි නියැලී සිටින පිරිස්වල ද දායකත්වය ලැබුණා. එලෙසම අප කාගේත් දායකත්වයෙන් සැකසුණු මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයට ඉතා ප්‍රබල අනාගතයක් හදන්න පුළුවන් වේවි, කියන විශ්වාසය කර්මාන්ත විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස මට තිබෙනවා.

අද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් මේ රට බලගන්වන්නේ, දේශීය ව්‍යවසායකයා, කර්මාන්තකරුවා බලගන්වන දිසාවටයි. අද ඇතැම් ආනයන සීමා කර ඇත්තේ රුපියල අවප්‍රමාණය වීම නතර කිරීමට පමණක් නොවෙයි, එමඟින් ඇති වන නිෂ්පාදන අවකාශය දේශීය ව්‍යවසායකයාට හා කර්මාන්තකරුවාට ලබාදීම සඳහායි. අද අපි ආස්වාදයෙන් යුතුව දකිනවා, දේශීය ව්‍යවසායකයා හා කර්මාන්තකරුවා ඉතා වේගයෙන් ඒ අවකාශය අත්පත් කර ගනිමින් සිටින බව. අපි බලාපොරොත්තු වෙනවා, මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් මෙම ක්ෂේත්‍රයේ ද ව්‍යවසායකත්වය බලගැන්වෙයි, කියා.

 ‘වාහන අපනයනයට පාර කපමු!’

වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදන කර්මාන්ත සවිබල ගන්වමින් දේශීය අගය එකතු කිරීම වසරින් වසර වැඩි කරමින් පිටරටට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය හැකිතාක් අවම කර ගනිමු! මෙරට නිපදවූ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන අපනයනය කෙරෙන දිනය නුදුරු දිනයක් වේවා! දේශීය කර්මාන්තකරුවන් සවිබල ගැන්වෙන අනාගතයක් වෙනුවෙන් අපි සියලු දෙනාම කැපවෙමු!”

මෙම ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures) ජනගත කිරීම සිදූ කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මෙහෙයවීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකසන ලද මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් මෙරට තුළ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි ආයෝජකයන්ට නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් යටතේ සිය ආයෝජනයන් සිදු කිරීමේ ඉඩකඩ නිර්මාණය වී තිබේ.

වාහන ආනයනය සඳහා මෙරටින් වසරකට පිටරටට ඇදී යන රුපියල් බිලියන 1820ක විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කර ගැනීම මෙම සම්මත මෙහෙයුම් පටිපාටියේ දීර්ඝකාලීන අරමුණ වේ. මෙම ජනගත කිරීම සංකේතවත් කරමින් ‘සම්මත මෙහෙයුම් පටිපාටි සංග්‍රහය’ ග්‍රන්ථය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය. ඉන්පසු සංකේතාත්මකව එම ග්‍රන්ථ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, ප්‍රවාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  දිලුම් අමුණුගම යන මහත්වරුන්ට ද පිළිගැන්විණි. උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබූ මෙම උළෙලට පැමිණි සම්භාවනීය පිරිස පිළිගැනීම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා සිදු කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ශ්‍රී ලංකා මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති අසේල ලිහිණිකඩුව , ශ්‍රී ලංකාවේ වාහන උපාංග නිෂ්පාදන කර්මාන්ත සංගමයේ සභාපති දිමන්ත ජයවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img