කජිමාවත්තේ ගින්නට හසුවූ පවුල්වලට පහසුකම් සලසා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලට රජය මැදිහත් වනවා – සභානායක අමාත්‍ය දිනේශ් ගුණවර්ධන
කොළඹ මාදම්පිටිය ග්‍රාම සේවා වසමේ කජිමාවත්තේ ඇති වු ගින්නෙන් හානියට පත්වූ පවුල්වලට අවශ්‍ය පහසුකම් සලසා ස්ථිර නිවාස ලබා දීමේ වැඩපිළිවෙලට රජය මැදිහත්වන බව සභානායක අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙමින් මේබව පැවසීය.
මෙම කජිමාවත්තේ මහජනතාවට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව ඇතුළු පහසුකම් සලසා දීමට රජය කැපවන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ මෙම නිවාස වැඩපිළිවෙල සදහා ස්ථිරසාර විසදුමක් ලබා දීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ මෙම විපතට පත් ජනතාවට ලෑලිවලින් නිවාස ඉදිකරගන්නා ලෙස දැනුම් දී ඇති බව වාර්තාවන බැවින් මේ පිළිබද අවධානය යොමු කිරීම වැදගත් බව මෙහිදී විපක්ෂනායක වරයා පවසා සිටියේය.






















