කිසිදු සැලසුම් සහගත වැඩ පිළිවෙලක් නොමැතිව රසායනික පොහොර තහනම තුලින් ආණ්ඩුවේ අරමුණ මිනිසුන් ජීවත් කරවීම නොව ,මිනිසුන් නොමරා මැරීම බව ඉතා පැහැදිලිය. ආණ්ඩුව විසින් ඉතා කඩිමුඩියේ හිතුවක්කාරී ලෙස ගනු ලැබූ මේ තීන්දුව හේතුවෙන් රට තුල ආහාර හිගයක් ඇතිවීම සහ එය බිහිසුනු සාගතයක් දක්වා වර්ධනය වීම නොවැළැක්විය හැක. කාබනික පොහොර භාවිතය වර්ධනය කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් අප තුල නැත. එහෙත් ඉතා හදිසියේ අදූරදර්ශි ලෙස ගනු ලැබූ මෙම රසායනික පොහොර තහනම මෙරට සමස්ත ජන ජීවිත වලට එල්ල කරන මරු පහරෙහි තරම ආණ්ඩුවට වැඩි කලක් යන්නට පෙර අත්විදීමට සිදුවනු ඇත.
ආණ්ඩුව රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොර ආනයනය කරන බව පවසයි. එය බරපතල අනතුරකට අතවැනීමකි. මේ හරහා අපේ රට ලෝකයේ ප්‍රධානම “කසල කන්දක්” බවට පත් කිරීමට ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තිබේද යන්න බරපතල ගැටළුවක් තිබේ. මෙම කසල පොහොර ආනයනය හේතුවෙන් රට තුලට විවිධ දිලිර අහිතකර බැක්ටීරියා ව්‍යාප්ත විමට ඉඩ තිබේ. මෙවැනි ආනයනයන් වන සත්ත්ව හා වෘක්ෂලතා පනතට ද පටහැනිය.
ආණ්ඩුවේ මෙම අත්තනෝමතික තිරණය වන කාබනික පොහොර භාවිතයට අවශ්‍ය ප්‍රමාණයේ සැපයුමක්ද නැත. අනෙක් අතට මෙරට දිගු කාලයක් තිස්සේ භාවිතා කරන බීජ රසායනික පොහොර වලට හුරු වූ ඒවාය. ප්‍රායෝගිකත්වය බැහැර කරමින් අවිද්‍යාත්මකව ගනු ලබන තීන්දු හේතුවෙන් ඇති වන්නේ බර පතල ව්‍යවසනයක් පමණි.
මෙි වන විටත් පොහොර තහනමේ අහිතකර ප්‍රතිඵල දක්නට ලැබේ. මේ හේතුවෙන් වී ගොවීන් අන්ත අසරණව සිටී. තමන්ට ලැබිය යුතු පොහොර ඉල්ලා ගොවි ජනතාව කෘෂි කර්ම මධ්‍යස්ථාන ඉදිරිපිට පෝලින් ගැසී හූල්ලමින් සිටී. මීට අමතරව අල ගොවීන්ද සෙසු වැවිලි බෝග වගා කරන ගොවීන්ද ආණ්ඩුවේ හිතුවක්කාරී තීන්දුව නිසා කබලින් ලිපට වැටී සිටී.
වෙළද පොලේ කලු කඩ මිලට අලෙවි වන රසායනික පොහොර ලබාගැනීමට තිබෙන තරගය නිසා නව කොරෝනා පොකුරක් මතුවිමට ඉඩ තිබේ. සියල්ලට පෙර ජනතාව ජිවත් විය යුතුය. ඒ සදහා ආහාර වැදගත්ම සාධකය වේ. කොරෝනා ව්‍යවසනය හේතුවෙන් ලෝකයම විශාලාවක් වී තිබේ. රෝ බිය, මරණ බිය, සමග මෙරට ආණ්ඩුව සාගත බියද කැදවමින් තුන් බියම ජනතාවට කැදවා ඇත.
“සෑම විප්ලවයකට මුල බඩගින්න සහ නිදහස යනුවෙන්” ඇරිස්ටෝටල් පවසා ඇති අතර ආණ්ඩුවේ හිතුවක්කාරී ක්‍රියාදාමය තුලින් සිදුවනේ ජනතාව ඒ වෙත තල්ලු වීමයි. ආණ්ඩුව සිය පටු අරමුණු පසෙකලා ජනතාව ජිවත් කිරිමට පියවර ගත යුතු අතර මෙවැනි අතාර්කික අමනෝඥ තිරණ හකුලා ගැනීමට වහා පියවර ගත යුතු බව අවධාරණය කරමු .
සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක






















