කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට එරෙහිව ලබාදීමට නිර්දේශ කර තිබූ දඬුවම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව රැස්වී සාකච්ජා කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ එම ක්‍රීඩකයින් මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට කර ඇති දායකත්වය, සහ නිර්දේශ කර ඇති දඬුවම් එක් එක් ක්‍රීඩකයාට බලපාන ආකාරය ද සැලකිල්ලට ගෙන එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පහත සඳහන් දඬුවම්දීමට තීරණය කළ බවය.
- එක් ක්‍රීඩකයෙක් ට රුපියල් මිලියන 10 බැගින් දඩයක්
- සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වසරක් තහනමක් සහ දේශීය තරඟ සඳහා 6 මසක තහනමක්
- එම වසරක තහනම නිමවීමෙන් අනතුරුව ක්‍රීඩකයින් තිදෙනාටම තවත් වසරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා ක්‍රීඩාකිරීම තහනම් කෙරෙන අතර එම තහනම වසර දෙකක් අත්හිටුවනු ලබයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිර්දේශ කළ මානසික වෛද්‍යවරයෙක් වෙත එම ක්‍රීඩකයින් යොමු කිරීම
පසුගිය එංගලන්ත සංචාරය අතරතුර “ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව චෝදනා එල්ල වුණි.
ඔවුන් තිදෙනා “ඩරම්” නගරයේ වීථියක සැරිසරන ආකාරය එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
මේ අතර කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට ක්‍රිකට් තහනමක් සහ දඩ නියම කිරීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (29) නිර්දේශකර තිබුණි.
ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඊයේ එම පරීක්ෂණ කමිටුව ඉදිරියට කැඳවීය.
එහිදී නිරෝෂන් දික්වැල්ලට එරෙහිව මාස 18ක ක්‍රිකට් තහනමක් ද ගුණතිලක සහ මෙන්ඩිස් ට එරෙහිව මාස 24ක ක්‍රිකට් තහනමක් ද පනවන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා විය.
ඔවුන්ට එරෙහිව එක අයෙක්ට ඩොලර් 25,000ක දඩයක්ද නියම කළ යුතු බව නිර්දේශවල සඳහන් වී තිබුණි.
චෝදනා එල්ල වූ එම ක්‍රීඩකයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය ජූලි 7 වන දා පත්කෙරිණි.
පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ,
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක
නීතිඥ පණ්ඩුල කීර්තිනන්ද
නීතිඥ අසේල රැකව
නීතිඥ උචිත වික්‍රමසිංහ
විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්. ද සොයිසා






















