ශාඛ්‍ය ජනපද ව්‍යාපෘතියේ ගොඩනැගිලි ද භාවිතා කරමින් එහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පිරිවෙන් මධ්‍යස්ථානයක් ඇතුළත් බෞද්ධ සංචාරක කලාපයක් ඉදිකිරීමට පියවර ගන්නා බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ අද (27) එම භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ය.
පිළියන්දල, කහපොළ ප්‍රදේශයේ ආරම්භ කළ ශාඛ්‍ය ජනපදයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරකර ඇති බව මාධ්‍ය ඔස්සේ අද වාර්තා විය.
මේ වනවිට එම භූමිය මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ තිප්පොළක් බවට පත්ව තිබේ.
රෙජිඩේල් වත්තේ අක්කර 78 ක් භූමියක රුපියල් කෝටි 50ක වියදමින් ශාඛ්‍ය ජනපදය ඉදිකිරීම 2017 වසරේදී ආරම්භ කරන ලදි.
එහි සැලසුම වී තිබුණේ 2019 වසරේ වෙසක් උළෙල හා සමගාමීව එම ජනපදය විවෘත කිරීමටය.
නමුත් මේ වන විටත් එහි ඇත්තේ ප්‍රාකාරය සහ ගොඩනැගිල්ලක් පමණක් බව දක්නට ලැබේ.
දැනට ඉදිකර ඇති ගොඩනැගිල්ල සුද්ධෝදන රජුගේ රාජමාළිගයේ අනුරුව බව ද පැවසිනි.
ඉන්දියාවේ දඹදිව ඇති සියලු ආගමික ස්ථානවල අනුරූ, භාෂා 10කින් ධර්ම ප්‍රචාරය කිරීමේ පහසුකම් සහිත සන්නිවේදන මධ්‍යස්ථාන, එකවර දහසකට භාවනා කිරීමේ පහසුකම් ආදිය සහිතව මෙය ඉදිකිරීමට සැලසුම්කර තිබු බව සඳහන් විය.
ශාක්‍ය ජනපදය ඉදිකෙරෙන රෙජිඩේල්වත්ත අක්කර 78ක භූමියේ මුල් හිමිකරු කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වූ සමරකෝන් මුදලි නමැති ධනවතෙකි.
ඔහු සිය අවසන් කැමැත්ත මගින් මෙම ඉඩම ද ඇතුළුව තමන් සතු දේපල විශාල ප්‍රමාණයක් මහාභාරකරුට පවරා ඇති අතර ඒ ඒ ඉඩම් අනාගතයේදී යෙදවිය යුතු කාර්යයන් පිළිබඳව ද ඔහු මහාභාරකරුට ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.
රෙජිඬේල් වත්ත ආගමික කටයුත්තක් වෙනුවෙන් භාවිතාකළ යුතු බව ඔහුගේ අවසන් කැමැත්ත වී තිබුණි.






















